මනුෂ්‍ය පුත්‍රයා නැරඹූවෙමි

0
635

.

චම්ලි කූඤ්ඤයේ විසින් රචනා කරනු ලැබූ ” මනුෂ්‍ය පුත්‍රයා” ශාස්ත්‍රීය ග්‍රන්ථය කියවීමෙන් පසුව ශු; මතෙව්, ශු; මාර්ක් ශු; ලූක් සහ ශු; ජුවාම් යන ප්‍රධාන සුවිශේෂ රචකයන් හතර දෙනාගේ සුභාරංචි පොත් හතරෙන් ජේසුතුමා සහ එතුමාගේ දේවත්වය පිළිබඳවද පාරම්පරික නොවන කියවීමක් ලබා ගෙන තිබුණි.


එසේම ආචාර්ය ඇලෝයි පීරිස් පියතුමාගේ දේශනා සහ පොතපත කියවීම තුළින්ද කතෝලික සභාව ජේසුතුමාව සමාජයට හඳුන්වාදී ඇති ආකාරයට වඩා වෙනස් කෝණයකින් උන්වහන්සේව හඳුනා ගැනීමට සහ ජේසුතුමාගේ ඉගැන්වීම් අනුගමනය කරන්නට මම කිසියම් උත්සාහයක නිරත වෙමින් සිටින්නෙමි.

කැලණිය සරසවියේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය විජිත් රොහාන් ප්‍රනාන්දු විසින් රචනා කරන ලද පිටපතක් පදනම් කරගෙන එම සරසවියේම ජෙෂ්ඨ කතිකාචාර්ය ප්‍රියංකර රත්නායක විසින් අධ්‍යක්ෂණය කරන ලද ” මනුෂ්‍ය පුත්‍රයා”වේදිකා නාට්‍යය මා නරඹන්නේ ජේසුතුමා සහ ඔහුගේ සමාජ දූත මෙහෙවර පිළිබඳව විකල්පමය අදහසකින් යුතුවය.

මනුෂ්‍ය පුත්‍රයා නාට්‍යය තුළින් සංවාදයට ගනු ලබන අදහස මට අලුත් දෙයක් නොවේ. කෙසේවෙතත් නාට්‍ය අධ්‍යක්ෂකවරයාගේ හපන්කම නිසා වේදිකාව තුලින් විචිත්‍රවත් සහ ආකර්ෂණීය නාට්‍යයක් නැරඹීමට අවස්ථාව උදාවුණි.

අප බොහෝ දෙනෙකුට පාස්කු නාට්‍යයක් ජේසුතුමාගේ දුක්ප්‍රාප්තිය පිළිබඳව භක්තිය අභ්‍යාසයකි. කිතුනු බැතිමතුන්ව එයින් ඔබ්බට කැදවා ගෙන යාමට නම් නියත වශයෙන්ම ආශ්චර්යමත් නාට්‍යමය අත්දැකීමක් වේදිකාව මත නිර්මාණය කළ යුතුව ඇත. ඒ හපන්කම කිරීමට “මනුෂ්‍ය පුත්‍රයා” නාට්‍යයේ අධ්‍යක්ෂක ප්‍රියංකර රත්නායක සමත්වී ඇති අතර ඒ සඳහා විජිත් රොහාන් ප්‍රනාන්දුගේ පිටපත සුවිශාල දායකත්වයක් ලබා දෙයි.
මනුෂ්‍ය පුත්‍රයා නාට්‍යයේ මා වඩාත් ප්‍රිය කරන අංගය වන්නේ එහි ගීත/සංගීතයයි. පසුතල නිර්මාණය සහ අලෝකකරණයද ඉතා විශිෂ්ඨ තලයකට පැවති බව මගේ අදහසයි.
නාට්‍යයේ අධ්‍යක්ෂකවරයා ඉතාමත් පරිස්සමෙන් විශිෂ්ඨ ලෙස සංගීතය සහ ගීත නාට්‍යය තුළ ස්ථානගත කර ඇත.

කතන්දර කීමේ ආකෘතියක් නාට්‍ය ගලා යයි. එය නියමාකාරයෙන් කළමනාකරණය කර ගැනීමට අධ්‍යක්ෂකවරයාට හැකිවී තිබේදැයි මට යම් ගැටලුවක් ඇතිවන්නේ එය නාට්‍යයේ ගලායාමට සැලකිය යුතු ප්‍රමාණයකට බාධා කරන නිසාය.

එම බාධාව ප්‍රධාන වශයෙන් නාට්‍යය ආරම්භයේදි පැවතියේය. කෙසේ වෙතත් මෙවැනි පරීක්ෂණාත්මක පිටපතක් නාට්‍යයක් ලෙස ඉදිරිපත් පත් කිරීමේදී අධ්‍යක්ෂකවරයාට නියතවශයෙන්ම එවැනි අභියෝග වලට මුහුණු දීමට සිදුවේ.
මේ නාට්‍යයේ සෑම චරිතයක් සදහාම පන දෙනු ලබන්නේ කැලණිය සරසවියේ විද්‍යාර්ථයන්ය. ඔවුන් කිසිවෙකු වෘත්තීය රංගන ශිල්පීන් නොවේ. ඒ ආධුනික බව නාට්‍යය පුරාවට දැක ගත හැකිවූ අතර ඔවුන්ගේ කැපවීම සහ ඉදිරිපත් වීම අප අගය කළ යුතුය.

බයිබලයේ ඉගැන්වීම් පිළිබඳව පරීක්ෂණාත්මක කාර්යභාරයක නිරතව සිටින කැලණිය සරසවියේ ක්‍රිස්තියානි සංස්කෘතික අංශයේ සහ නාට්‍යකරණය තම මූලික අධ්‍යයන කර්තව්‍ය ලෙස තෝරාගෙන සිටින නාට්‍යය හා රංග කලා අංශයේ ආචාර්යවරුන් සහ සිසු සිසුවියන් කණ්ඩායමක් විසින් වේදිකාවට ගෙන ආ “මනුෂ්‍ය පුත්‍රයා” තමන්ගේ වෘත්තිමයභාවය සහ නිර්මාණශීලීත්වය වේදිකාව තුළ ඉතා හොදින් ප්‍රදර්ශනය කරන සංවාදයට ලක්විය යුතු නිර්මාණයකි.

අරුණ ශාන්ත නෝනිස්
අශානෝ
2024.03.25.