‘‘මම කාමච්චෝඩේ බිස්නස් පටන් ගත්තේ 1977 දී ‘‘

0
738
මොහොමඩ් යාසීන් මහතා
මොහොමඩ් යාසීන් මහතා
මොහොමඩ් යාසීන් මහතා

මීගමුවේ කාමච්චෝඩය නමින් හැඳින්වෙන ප්‍රෙද්ශයට අයත් පැරණි  ව්‍යාපාර, හා බැදී ඇති සංස්කෘතිමය අලංකාරය ඒ ප්‍රෙද්ශයට යන ඕනෑම කෙනෙකුගේ සිත් ගනී. මේ වන විට කඩ අඩුවී ඇතත් තවමත් බෝහෝ පැරණි ගොඩනැගිලි තුළ කරගෙන යන සම්ප්‍රදායික වෙළඳාම් තවමත් ඉතුරු වී පවතියි. සිත් ඇද ගන්නා බඩු භාන්ඩ, කඩල කඩ, බාල්දි කඩ, ගෝනි හා පරණ ද්‍රව්‍ය එකතු කරන වෙළෙන්දන්, මැටි වලං, පිත්තල බඩු දකින විට මේ ප්‍රෙද්ශයේ පැවති පැරණී ජීවන රටාවන් ගැන අපූරු‍වත්වයක් ද සිතට නැගේ.
අද සවස් වරුවේදි මේ කාමච්චෝඩයේ මාර්කට් වීදිය ලෙස හදුන්වන  කඩ වීදි පසුකළේ යම් විමසීමක් ද කරන අටියෙනි. එහිදී එක් වෙළඳසැලක් ලඟ මා නතර වූයේ එහි තිබූූ බඩු භාන්ඩ වෙත සිත ඇදී ගිය නිසාවෙන් වුවත් ඇත්තෙන්ම මීගමුව නගරයට එන ඕනෑම පාරිභෝගිකයෙකු යා යුතුම තැනක් බව ඇතුළට ගිය විට වැටහුණි.
ඉන් පසු සිදුවූ කතා බහ ද ඉතාම රසවත් වුවත්  ඔහු පිළිබඳ තොරතුරු බිඳක් මෙහි සඳහන් කරමි. මෙම ස්ථානය ‘කැන්ඩි ස්ටෝර්ස් ‘ ලෙස නම් කර තිබුණ අතර මෙම ව්‍යාපාරයේ පුරෝගාමියා වී ඇත්තේ මොහොමඩ් යාසීන් මහතායි. ඔහු සමඟ කළ කතාව පහත දක්වමි.
ප්‍ර – මේ කඩේ පටන් ගත්ත කාලය මතකද ?
පි-    1977 -78 විතර වාගේ  තමා පටන් ගත්තේ. මගේ වයස එතකොට අවුුරුදු 26ක් විතර.
ප්‍ර – එතකොඩ තනිකඩ ද විවාහ වෙලාද? –
පි- මගේ ගම මාවනැල්ල. බැදලා තමයි මෙහෙට ආවේ.
ප්‍ර- පටන් ගත්දී මොන බඩු ද දැම්මේ ?  –
පි- ඇලුමිනියම් වගේ දේවල් තමයි දැම්මේ. රැපියල් 200ක් , 300ක් අතේ තියාගෙන තමයි වෙළඳාම පටන් ගත්තේ. ඒ දවස් වල 200 ක් කියන්නේ දැන් දහදාහා,විසිදාහා වාගේ.
ප්‍ර- කොහොමද ඉතින් ව්‍යාපාරය දියුණු වුණේ ?
පි – ඉස්සරවෙලා අපි ඒ විදිහට කරෙගෙන ගියා. පස්සේ මගේ නෝනගේ රත්තරන් බඩු විකුණලා කඩේට දාන්ඩ කියලා එයා මට සල්ලි දුන්නා. පස්සේ කොළඹින් ණයට බඩු දුන්නා.එහෙම ගෙනත් ගෙනත් දියුණු වෙච්ච හරිය තමා මේ තියෙන්නේ.
ප්‍ර – ඒ කාලේ මේ කඩ  අයිති කාටද?
පි – ඒ දවස් වල මේ කඩේ ගත්තේ රැ.12500කට.මේක අයිතිය තිබුණේ මාතර අප්පුහාමි කියලා මුදලාලි කෙනෙකුට. ඒ කාලේ මාතර කට්ටිය තමයි මෙහේ හිටියේ. දැන් ‘මින්නාස්’ එක තියෙන තැන තිබුණේ ඉස්සර සොයිසා බේකරිය.
පි – මේ වෙළඳ සැලේ කොයි නමින්ද ප්‍රසිද්ධ ?
කාමච්චෝඩේ මාර්කට් වීදියේ ‘කැන්ඩිසටෝර්ස් කිව්වොත් කවුරුත් දන්නවා.
ප්‍ර -83 කලබල කාලේ මතකද?
පි – ඔව්. එතකොට මම මෙතන බිස්නස් කරනවා. කඩපේළියේ අනිත් ඕක්කොම බඩු ගෙවල් වලට ඇද්දා. මම ඇද්දේ නෑ.දෙය්යෝ දීපු දේ නේ. මගේ  දොර එතකොට ලෑලි දොරක් තිබුණේ. හෙලෙව්වා නම් කැඩෙනවා. ඒක කඩන්ඩ එන කෙනාටත් දුක හිතෙනවා. පස්සේ දරුවෝ ලොකු වුණාට පස්සේ තමයි යකඩ දොරවල් දැම්මේ.උඩටත් කඩයක් හැදුවා. ඒක හැදුවේ පුතා.

ප්‍ර – පවුලේ තොරතුරු කොහොමද?
පි – මට දුවලා 3යි එක පුතයි. අපි පදිංචි වෙලා ඉන්නේ  පෙරියමුල්ලේ.
ප්‍ර – කැන්ඩි ස්ටෝර්ස් එකේ් බඩුු භාන්ඩ ගැන මොනවද කියන්ඩ තියෙන්නේ
පි – ඇලුමිනිම් නම් ඊයම් රහිත ඇලුමිනියම් තමයි අපි විකුණන්නේ. මනුස්සයට හානියක් නැති තත්ත්වයෙන් හොද බඩු තමයි විකුණන්නේ. සිල්වර්,ඇලුමිනියම්,ප්ලාස්ටික්,ලී, තඹ ආදියෙන් හදපු ඒවා තමයි මෙතන තියෙන්නේ. ප්ලාස්ටික් බඩු තොග මිළටත් දෙනවා අපි. ගෙදරට ඕනා කරන ඔක්කොම බඩු තියෙනවා. මෙහේ විතරක් නෙමේ, කදාන,මීරිගම, හලාවත,කට්ටිය පවා එනවා මෙතෙන්ට.පොඩි ලාභයක් තියාගෙන අඩුු මුදලට තමා බඩු දෙන්නේ.සුළු ලාබෙට විකුණනවා අත්පිට මුදලට.
බ්ලෙන්ඩර් වල කොටස්, කුකර් වල කොටස්, මෙතන තියෙනවා.ගෑස් ලිප් වල, භූමිතෙල් ලිප් වල, පැට්‍රෝල් මැක්ස් ලයිට් , ආදියේ අමතර කොටස් තියෙනවා. චිමිනි වර්ග තියෙනවා.
කොත්තු ,රයිස් හදන්ඩ අවශ්‍ය උපකරණ ඔක්කොම තියෙනවා.

 

 

 

Kandy Stores
No 12,Market Street,negombo
TEL-0312224512

සටහන -කුමාරි ප්‍රනාන්දු