මව්රට පුවතට කිර්තිගෙන් පිළිතුරක් !

0
39
Vector cartoon of a man blowing up a balloon of gossip

 

තුෂාර ගුණරත්න මයා,
ප්‍රධාන කර්තෘ, මව්රට පුවත්පත.
නො. 22, ජයරත්න මාවත,
කොළඹ 5

ප්‍රධාන කර්තෘ ගුණරත්න මහතා වෙත,

2024 සැප්. 29 දින මව්රට පුවත්පතේ ‘ගෝල්ෆේස් එකේ වාහන දාලා ගිය ලොක්කෝ මෙන්න‘ ප්‍රවෘත්තිය සම්බන්ධයෙනි.

‘ගෝල්ෆේස් එකේ වාහන දාලා ගිය ලොක්කෝ ලැයිස්තුව මෙන්න‘ ප්‍රවෘත්තිය ලියා, සංස්කරණය කර, මුද්‍රණය කර ඇත. එම පුවත www.mawratanews.lk වෙබ් අඩවියේ පළ කර ද, එය සමාජ මාධ්‍ය මගින් බෙදා හැරීම ද සිදු කර ඇත.

එහි ගෝල්ෆේස් හි වාහන දමා ගිය පුද්ගලයෙකු ලෙස රජිත් කීර්ති තෙන්නකෝන් අධ්‍යක්ෂ ජනරාල් – ප්‍රජා කටයුතු ලෙස මාගේ නම සඳහන්ව ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 (1) අනුව්‍යවස්ථාව යටතේ ගරු ජනාධිපතිතුමන් විසින 2022 අගෝස්තු මස 22 දින මම අධ්‍යක්ෂ ජනරාල් (ප්‍රජා කටයුතු) ධුරයට පත් කරන ලදී. එයින් මාස දෙකකට ආසන්න කාලයකට පසුව මා වෙත නිල වාහනයක් නිකුත් කරනු ලැබීය.
එය 2024 සැප්තෑම්බර් 22 දින (මැතිවරණයෙන් පසු දින), වාහනයට අනියුක්ත කර සිටි රියදුරු විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේ කාර්මික නිලධාරි ශිවන්ත වෙත, ජනාධිපති නිල නිවස ඉදිරිපිට පිහිටි ප්‍රවාහන අංශයේ ගොඩනැගිල්ල ඉදිරිපිට දී, රජයේ පිළිගත් ආයතනික විධිවිධාන යටතේ ලිඛිතව නැවත බාර දෙනු ලැබීය. එසේ බාරදීමෙන් පසුව එම වාහන ශ්‍රී ලංකා පදනම් ආයතනයේ රිය නැවතුම වෙත යොමු කරනු ලැබීය.

එසේ තිබිය ද, අද දින ඔබ කර්තෘ ධූරය දරන පුවත්පත මාගේ නම ද ඇතුලත් කර වාහන ගෝල්ෆේස් හි දමාගිය පුද්ගලයෙකු ලෙස ප්‍රසිද්ධ කර ඇත.

මෙය ඔබ විසින් මා හට අපකීර්තියක් සිදු කිරීම සඳහා සචේතනිකව ගොතා පළ කරන ප්‍රවෘත්තියකි. තව ද, එහි තොරතුරු මුලාශ්‍රයක් නොමැති අතර, මේ ප්‍රවෘත්තිය තහවුරු කර ගතව හැකිව තිබු මාගෙන් හෝ, එම රථයේ රියදුරු හෝ ජනාධිපති ප්‍රවාහන කොට්ඨාශය හෝ විමසීමකින් තොරව, හිතා මතා අපහාස කිරීමේ අරමුණින් ලියා පළ කර ඇත. එමගින්, ඔබ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය විසින් ප්‍රකාශයට පත් කර ඇති මාධ්‍ය ආචාර ධර්ම ද, කර්තෘ සංසදය මගින් පළ කළ ආචර ධර්ම ද උල්ලංඝනය කර ඇත.

එපමණක් ද, නොව ඔබ පුවත්පතේ පළ කර ඇති නම් ලැයිස්තුවේ සඳහන් පුද්ගලයින් ගණනාවක් ජනාධිපති කාර්යාලයේ කිසිදු වාහනයක් භාවිත කර හෝ නොමැත. මේ සියළු කරුණු දුරකතන ඇමතුමක් දී තහවුරු කර ගැනීමට හැකියාව තිබිය දී, එසේ නොකර පළ කර ඇත්තේ සචේතනික අපහාසයක් කිරීමේ දුෂ්ඨ අරමුණිනි.

තව ද, මෙම නම් ලැයිස්තුව ඔබ විසින් උපුටා ගෙන ඇත්තේ 2024 සැප්තෑම්බර් 19 හෝ ඒ ආසන්න දිනක වෙළඳපොලට නිකුත් කරනු ලැබූ ඔබගේ තවත් තරඟකාරී පුවත්පතක් වන ජනරංජන මහතා කර්තෘ ධූරය දරන අනින්දා පුවත්පත මගින් බව නිරීක්ෂණය කරමි. අනිද්දා පුවත්පත ඉතා නිවැරදිව වාර්තා කර තිබුණේ මෙම නම් ලැයිස්තුව ජනාධිපති කාර්ය මණ්ඩලයේ නිලධාරීන් බව ය. මෙම කරුණ මව්රට කර්තෘ, සංස්කාර, ප්‍රවෘත්ති ලේඛක සහ පුවත්පත් ප්‍රකාශක නොදැන සිටිය නොහැකිය. මෙයට පෙර අවස්ථාවක දී ද ඔබ පුවත්පත, මා විසින් ඛෙත්තාරම ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉදිකිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය මගින් පළ කර ලිපියක්, මෙලෙසම කරුණු විකෘති කර පළ කර තිබුණි. සචේතනික කරුණු විකෘති කිරීම ඔබ පුවත්පත මගින් දිගින් දිගටම සිදු කරනු ලබන ව්‍යවහාරයක් බව මම අත්දකිමි.

අනිද්දා පුවත්පතේ තෙවන පිටුවේ ජනාධිපති කාර්යාලයේ නිලධාරීන් ලෙස පළ කර ලේඛනය, මාගේ නම ද ඇතුලත් වන සේ ‘පිටපත් කර‘ ගෝල්ෆේස් පිටියේ වාහන අතහැර දමා ගිය පුද්ගලයින් ලෙස, ජනතාවගේ කෝපය ද, වෛරයට මතුවන ආකාරයට පළ කිරීම ඔබ ලැජ්ජා විය යුතු මාධ්‍ය භාවිතයකි. තව ද, විෂයගත ප්‍රවෘත්තියට ජනපති කාර්යාලයේ රැකියාවෙන් ඉවත්ව මෙයට කළකට පෙර වාහන බාරදුන් පුද්ගලයින් ගේ නම් ද, සිය තනතුර සඳහා (2024 සැප්තෑම්බර් වන විට) කිසිදු වාහනයක් ලබා නොගත් පුද්ගලයින් ද ඇතුලත් කර ඇත.

වඩාත්ම තුච්ච ක්‍රියාව වන්නේ, මේ වන විටත් ජනාධිපති කාර්යාලයේ සේවයේ නිරත ජනසභා ලේකම් කාර්යාලයේ නිලධාරීන්ගේ නම් ද, වාහන තැන තැන අතහැර දමා යන වගකීම් විරහිත පුද්ගලයින් ලෙස ලැයිස්තු ගත කිරීමය. ඔබගේ ක්‍රියාව නින්දිතය!
2024 සැප්. 29 දින මව්රට පුවත්පතේ ප්‍රධාන ප්‍රවෘත්තියට ‘ගෝල්ෆේස් එකේ වාහන දාලා ගිය ලොක්කෝ මෙන්න‘ ප්‍රවෘත්තිය වහා නිවැරදි කර ඔබගේ වෙබ් අඩවියේ ද, මව්රට ඊලඟ මුද්‍රිත කලාපයේ ද පළ කරන මෙන් ඉල්ලමි.

  1. රජිත් කීර්ති තෙන්නකෝන් වන මා වෙත ජනාධිපති කාර්යාලය මගින් ලබා දී තිබූ නිල රථය, විධිමත් ලෙස නැවත බාර දුන් බවත්, එය ඔබ ප්‍රවෘත්තියේ සඳහන් ආකාරයට කිසි ලෙසකින් හෝ ගෝල්ෆේස් එකේ දමා ගොස් නැති බව ද — එම වරද නිවැරදි කිරීමේ ඇතුලත් කරන මෙන් ඉල්ලමි.
  2. නිවැරදි කරන ප්‍රවෘත්තිය සමඟ මාගේ කරුණු පැහැදිලි කිරීම ද පළ කරන ලෙස ඉල්ලමි.
  3. එසේ නිවැරදි නොකරන්නේ නම්, පුවත්පත් මණ්ඩලයට, පුවත්පත් පැමිණි කොමිසමට පැමිණිලි කිරීමට සිදුවන බව දක්වමි.
    රාජ්‍ය සේවයට කැඳවනු ලබන නිලධාරීන් ද, ලංකා පුරවැසියන් ද, ඔබගේ අතේ රෝල් පුවත්පත් කලාවේ ගොදුර බවට පත් නොකරන මෙන් ද අවධාරණයෙන් ඉල්ලමි.

මෙයට,

රජිත් කීර්ති තෙන්නකෝන්