මහාවීදිය දෙව් මැදුරේ බිතු සිතුවම් කල ගොඩමාන්න ශූරීන්ගේ චරිතාපදානය එළිදැක්වේ

0
212

WhatsApp Image 2025 02 17 at 16.45.44 206267be

” මීපුර ශාන්ත මරියා දෙව්මැදුර, එහි බිතු සිතුවම් සහ කලාසූරී එන්.එස්. ගොඩමාන්න.” නමැති ග්‍රන්ථය දොරට වැඩුම පසුගිය 15 වැනි දින (15/02/2025 ) පෙරවරුවේදී මීගමුව, බෝලවලාන බී.සී.අයි. කැම්පස්
(B C I Campus)  ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

ඓතිහාසික මීගමු පුරවරයේ ඉපැරණි මහවීදිය දෙව් මැදුර හෙවත් ශාන්ත මරියා දේවස්ථානයේ පුරාණය එලෙසම එහි බිතු සිතුවම් හා පුංචි රෝමයේ මයිකල් ආන්ජලෝ ලෙස විරුදාවලී ලත් ” කලාසූරී එන්.එස්. ගොඩමාන්න ” හෙවත් නෝර්බට් ස්ටීවන් ගොඩමාන්න චරිතාපදානය ඇසුරින් මෙම ග්‍රන්ථය රචනා කර තිබේ.
මෙම ග්‍රන්ථය රචනා කර ඇත්තේ කලාශූරි එන්.එස්. ගොඩමාන්නයන්ගේ දරුවන් සයදෙනකුගෙන් යුත් පවුලේ පස් වැනි දරුවා වූ  විශ්‍රාමලත් බැංකු කළමනාකරුවෙකු වු නෙල්සන් ගොඩමාන්න මහතාගේ දයාබර බිරිඳ වන විශ්‍රාමලත් නියෝජ්‍ය කම්කරු කොමසාරිස්වරියක වු නීතිඥ  නාලනී හංසමාලා ජයතිලක මහත්මිය විසිනි.

මෙම ග්‍රන්ථය දොරට වැඩුම වෙනුවෙන් පැවති එම උත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස මීගමුව ශාන්ත මරියා දේවස්ථානයේ මීසම් පාලක සාගර හෙට්ටිආරච්චි, කඩවත ඇල්දෙනිය දේවස්ථානයේ මීසම් පාලක ගිහාන් පිරිස්, මීගමුව,බෝලවලාන බී.සී.අයි. කැම්පස් ආයතනයේ අධියුරු, එක්ස්.ප්‍රෙඩීටර්ස්  ජයකොඩි යන පියතුමන්ලා සහභාගි වූහ.

මෙම උත්සවයට සමගාමීව දේශන කිහිපයක්ද පැවැත්විය. ඒ අනුව එහිදී ප්‍රධාන දේශනය සිදු කළේ මීගමුව ශාන්ත මරියා දේවස්ථානයේ මීසම් පාලක සාගර හෙට්ටිආරච්චි පියතුමාය. එලෙසම ජේෂ්ඨ රංගන ශිල්පියෙකු වන රිචඩ් මාණමුදලි කලාකරුවාණන් විසින් ” එන්.එස්. ගොඩමාන්න සහ මීපුර කලාව” යන සිරස්තලය යටතේ දේශනයක් සිදු කළේය. මෙම උත්සවයේ වියත් දේශනය සිදු කළේ කැලණිය විශ්ව විද්‍යාලීය ලලිත කලාවේදී, ශාස්ත්‍රවේදී සහ පුරාවිද්‍යා පශ්චාත් උපාධිධාරී ග්‍රන්ථ කතුවරයෙකු වන  ලක්ෂ්මන් හෙන්රි සිල්වා මහතා විසිනි. ඒ මහතා  විසින් ගොඩමාන්න ශූරීන්ගේ චරිතාපදානය  තුළින් එළිදැක් වුන මෙම ග්‍රන්ථය  සහ කතෝලික දේවස්ථාන චිත්‍ර කලාව පිළිබඳව වියත් දේශනයක් පැවැත්විය.

තවද  විශ්‍රාමලත් කලා ගුරුවරයෙකු වූ ඩබ්.පී. වික්‍රමරත්න මහතා ”  එන්.එස්.ගොඩමාන්න පිළිබඳ මතක ආවර්ජනා ” යන සිරස්තලය යටතේ දේශනයක් පැවැත් වු අතර සංගීත අධ්‍යක්ෂකවරයෙක් වූ දිනේෂ් සුභසිංහ මහතාද ” වතිකානය සහ මීපුර වතිකානය ”  යන මාතෘකාව යටතේ කෙටි දෙසුමක් පැවැත්වීය.

වර්ෂ 1914 අගෝස්තු මස  25 වැන දින දකුණු පළාතේ බේරුවල ප්‍රදේශයේ උපත ලද ගොඩමාන්න මහතා  උපතින් බෞද්ධයෙකි.  යෝජත විවාහයක් අනුව මීගමු වැල්ලවීදියේ විසූ මැගිලින් මහත්මිය හා විවාහ වීමෙන් අනතුරුව ඔහු කතෝලික ධර්මය වැළඳගත් අතර මීගමු පුරවරය ඔහුගේ ස්ථිර වාසස්ථානය බවට ද පත් කර ගත්තේය.
1947 වසරේ එවකට මීගමුව ශාන්ත මරියා දේවස්ථානයේ මීසම් පාලක ලෙස පත් වූ ගරු සෙබස්තියන් ප්‍රනාන්දු පියතුමාගේ සංකල්පනාවකට අනුව එම පියතුමාගේ ආරාධනය මත  එම දේවස්ථානයේ පියස්සේ කවාකාර වියන්තලයේ ( සිවිලිමේ )  චිත්‍ර නිර්මාණය කිරීම සඳහා එන්.එස්.ගොඩමාන්න ශූරීන්ට ආරාධනා කරනු ලැබීය. ඒ අනුව පොළෝ මට්ටමේ සිට අඩි 72 ක් පමණ උසින් පිහිටි දෙව් මැදුරු ව්යන්තලයේ  චිත්‍ර ඇඳීම සඳහා ඉනිමන් තුනක් ආධාරයෙන් දෙව් මැදුරේ තැනූ අට්ටාලයකට නැග එහි ඇඳක් ලෙස තනා ගත් මැස්සක් මත උඩුකුරුව  අති දුෂ්කර ලෙස වැතිරී සිටිමින් ගොඩමාන්න ශූරීන් මේ සුවිශල් සහ ඓතිහාසික චිත්‍ර අති දුෂ්කර ඉරියව්වක සිට සිත්තම් කිරීම ඇත්තෙන්ම අභියෝගාත්මක කාර්යභාරයක් වූයේය. ඒ අනුව ඔහු විසින් සිත්තම් කළ ක්‍රිස්තු චරිතය මෙන්ම කන්‍ය මරියාවන් පිළිබඳ  චිත්‍ර අද වන විට ලොව පුරා ප්‍රකට චිත්‍ර බවට පත්වී තිබේ. මේ චිත්‍ර නිර්මාණයන් නිසාවෙන්ම  මීගමුව ශාන්ත මරියා දේවස්ථානයද  ඓතිහාසික කතෝලික දේවස්ථානයක් බවට  ප්‍රකට වී තිබේ.

මෙම ග්‍රන්ථය දොරට වැඩුමේ උත්සව සභාව මෙහෙයවනු ලැබුවේ ජේෂ්ඨ මාධ්‍යවේදියෙකු මෙන්ම කෘතහස්ත නිවේදකයෙකු වන සමන් අතාවුදහෙට්ටි මහතා විසිනි.

එලෙසම මෙම උත්සවය සඳහා තවත් ආරාධිත අමුත්තන් රැසක් ද,, මීගමු පුරවරයේ කලාකරුවන්, මාධ්‍යවේදීන්, සමාජ ක්‍රියාකාරිකයන් පිරිසක් ද ඇතුළු ගොඩමා් ශූරීන්ගේ පවුලේ සාමාජික සාමාජිකාවන් , ඥාතීන් සහ හිතවතුන් ඇතුළු විශාල පිරිසක් ද සහභාගි වූහ.

WhatsApp Image 2025 02 17 at 16.39.34 c2c8ac84 WhatsApp Image 2025 02 17 at 16.38.26 f60e2f3c WhatsApp Image 2025 02 17 at 16.43.50 96af4c7e WhatsApp Image 2025 02 17 at 16.41.52 d9b33508 WhatsApp Image 2025 02 17 at 16.44.54 2a5c5fa6 WhatsApp Image 2025 02 17 at 16.53.33 739566c3 WhatsApp Image 2025 02 17 at 16.52.48 cd232d16 WhatsApp Image 2025 02 17 at 16.51.11 bdd6a6ba

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here