මහින්ද ළඟ තිබූ ෆයිල් රනිල් අතට

0
90

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වර්තමාන ආණ්ඩුවේ සිටින ඇමැති මණ්ඩලයේ හා විපක්ෂයේ සිටින හිටපු මැති ඇමැතිවරුන් සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් ලිපිගොනු රැසක් විමර්ශනය කිරීම සඳහා මූල්‍ය අපරාධ කොට්ඨාසයට හා දූෂණ මර්දන කමිටුව නම් වන කැබිනට් අනුකමිටුව වෙත ලබා දී ඇති බව අගමැති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

එම ලිපිගොනු අතර පසුගිය ජනාධිපතිවරණය සමයේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තමන්ගේ ඇමැති මණ්ඩලයේ දූෂිතයන් සිටි බවත් එම සිදුවීම්වලට අදාළ ලිපිගොනු තමන් සතුව තිබූ බවට පවසන ලද ලිපිගොනු ද ඇතැයි දැනගැනීමට ඇත. මෙම ලිපිගොනු පසුගිය කාලයේ  අගමැතිවරයා අතට පත්ව  තිබේ. මේ අනුව වත්මන් කැබිනට් මණ්ඩලයේ සිටින පසුගිය ආණ්ඩු සමයේ වගකීම් ඉසිලූ ශ්‍රීලනිප ඇමැතිවරු ගණනාවක් සම්බන්ධයෙන් ද විමර්ශන කටයුතු ආරම්භ වීමට නියමිතය.පසුගිය සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ද අගමැතිවරයා දූෂණ චෝදනා ඇති ඇමැතිවරුන් සම්බන්ධ විමර්ශන කටයුතු ආරම්භ කරන බව දැඩිව අවධාරණය කර තිබේ.

අගමැතිවරයා මෙහි දී තරමක ආවේගයෙන් කතා කර ඇත්තේ වත්මන් සම්මුතික ආණ්ඩුව බිඳ වැට්ටවීම සඳහා ඇතැම් ඇමැතිවරයකු හොර රහසේ කටයුතු කරන බවට ලැබී තිබෙන තොරතුරු අනුව බව ද පැවසේ. එසේම පසුගිය කාලයේ ආණ්ඩුව හා අගමැතිවරයා ඉලක්ක කර ගනිමින් මාධ්‍ය මඟින් ගෙන ගිය ඇතැම් පදනම් විරහිත ප්‍රචාර සම්බන්ධයෙන් ද අගමැතිවරයා දෝෂ දර්ශනයට ලක් කර තිබේ. මේ සම්බන්ධයෙන් නුදුරේම අගමැතිවරයා යම් පියවරක් ගැනීම සිදු වනු ඇති බව ද එම ආරංචි මාර්ග පවසයි.

කෙසේ නමුත් මහ බැංකු බැඳුම්කර සිදුවීම පාදක කර ගනිමින් ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බවට සිදු කෙරුණු ප්‍රකාශ මේ වන විටත් හකුළා ගැනීමට එම කණ්ඩායම තීරණය කර ඇති බවත් දැන ගැනීමට ඇත.

– සුභාෂ් ජයවර්ධන
www.sathhada.lk