මාධ්‍ය මර්ධනය ගැන උතුරේ සහ දකු⁣ණේ මාධ්‍ය සංවිධානවල ප්‍රතිචාර …

0
202

දෙමළ මාධ්‍යවේදීන් ඉලක්ක කරගනිමින් උතුරේ දියත් වු රාජ්‍ය මර්දනය හා ප්‍රචණ්ඩත්වය දකුනේ සිංහල මාධ්‍යවේදීන් වෙතටද දිගු වී ඇති බවට අනතුරු

අඟවන වන්නියේ මාධ්‍ය සංවිධානයක් තරිඳු උඩුවරගෙදර මාධ්‍යවේදියා අත් අඩංගුවට ගැනීම ම්ලේච්ඡ ක්‍රියාවක් ලෙස පසුගියදා තරයේ හෙලා දැක තිබුණි.

මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර අත් අඩංගුවට ගැනීම තවත් ආකාරයේ මර්දනයක් බව පෙන්වා දෙන ‘මුලතිව් මාධ්‍ය සමාජය’ අවධාරණය කරන්නේ පැවති ආණ්ඩු හැමෙකක්ම දිගින් දිගටම මාධ්‍ය මර්දනයේ යෙදීම නොකඩවාම සිදුකරමින් සිටින බවය.

දෙමළෙන්, සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් මුලතිව් මාධ්‍ය සමාජය ජුලි 30 වැනිදා නිකුත් කළ නිවේදනය මගින් සිහි ගන්වා ඇත්තේ යුද්ධය නිමාව දුටු කාල සීමාව වන විට අවම වශයෙන් සිය වෘත්තිය සගයන් 39 ක පිරිසක් අතුරුදහන් හෝ මරා දමා ඇති ආකාරයයි.

” ඒ අනුව ගත් කල, විශේෂයෙන්ම යුද්ධය හමාරවූ 2009 දක්වා වූ සටන් සමය තුල මර්දනය සහ රාජ්‍ය ප්‍රචණ්ඩත්වය හේතුකොටගෙන අපේ මාධ්‍යවේදීන් 39 දෙනකු එක්කෝ මරා දමන ලදී; නැතහොත් අතුරුදහන් කර දමන ලදී. අපි තවමත් ඔවුන් වෙනුවෙන් යුක්තිය ඉල්ලා සටන් වදිමින් සිටිමු. ”

යුද්ධය අවසන් වී තිබුනද, මේ පසුබිමේ දෙමළ මාධ්‍යවේදීන් ඉලක්ක කොටගත් මර්දනය හා ප්‍රචණ්ඩත්වය දැන් සිංහල මාධ්‍යවේදී සහෝදරයන් වෙතටද දිගු වී ඇති බව ‘මුලතිව් මාධ්‍ය සමාජයේ’ සභාපති ෂන්මුගම් තවසීලන්ගේ අත්සනින් නිකුත් කළ නිවේදනයේ සදහන්ව තිබුනේය.

” මෙය ‘අරගලය’ සමයේ තීව්‍ර කෙරුණු අතර ඉන් අනතුරුව උතුරු නැගෙනහිර දෙමළ මාධ්‍යවේදීන්ට සේම දකුණේ සිංහල සහෝදර මාධ්‍යවේදීන්ටද එරෙහිව අඛණ්ඩව දියත් වෙමින් පවතී. ”

පොලිසිය විසින් මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදරට පහර දීම සහ අත් අඩංගුවට ගැනීම එම මර්දනයේ තවත් එක ස්වරූපයක් බවයි මුලතිව් මාධ්‍ය සමාජය කරුණු දක්වා තිබේ.

තතු එසේ වුවද,උතුරේ මාධ්‍යවේදීන් හට විවිධ අවස්ථාව වලදි එල්ලවු ප්‍රහාරයන්,මර්දනීය තත්වයන් ගැන දකුණේ බහුතරයක් මාධ්‍ය සංවිධාන මුනිවත රැකිම සැබැවින්ම ලැජ්ජාවට කරුණකි.

මේ බහුතරයක් මාධ්‍ය සංවිධාන වලට උතුර සහ නැගෙනහිර මතක් වන්නේ ඔවුන්ගේ ව්‍යාපෘති වල ලියා ඇති සමුළු සම්න්ත්‍රණ ඒ එි නගර වලදි පැවැත්විමට අවැසි වු විට පමණි .මේ මාධ්‍ය ක්‍රියාකාරින් උතුරටත් නැගෙනහිරටත් බොහෝ විට යන්නේ ඒවා වෙනුවෙනි.