ක්‍රීඩා මාධ්‍යවේදියකු මෙන් ම නාට්‍යකරුවකු ද වන නිශ්මං රණසිංහගේ යොවුන් නවකතාව ‘රේල් පීලි’ නොවැම්බර් 16වැනි දා වැලිකඩ බන්ධනාගාර පුහුණු පාසලේ දී දොරට වැඩීමට නියමිත ය. එය නිමිතිකොට ගනිමින් කළ සංවාදයකි මේ.
ඔබේ කුළුඳුල් සාහිත්‍ය නිර්මාණ කෘතිය යොවුන් නවකතාවක් වුණේ කොහොමද?
මං තවමත් තරුණයෙක් හැටියටයි හිතන්නෙ. තරුණ හෝ මහලු බව තීරණය වෙන්නෙ ඉපදිලා ගතවන දින ගණන අනුව නෙවෙයි. තමන් ලබන අද්දැකීම්, තරුණයකුට ඒවා දැනෙනහැටි වගේ කාරණා ඊට බලපානවා. තරුණයකු ලෙස සිතන කොට මට සාපේක්ෂව ගැටලු තියෙනවා. කොණ්ඩෙ ජෙල් කරනවා. බම්ප් එක තියෙනවා. කලිසම යට ඇඳුමත් පේනකල් තට්ටමට අඳිනවා. විලාසිතා ග්‍රහණය කර ගනිමින් අලුත් ලෝකයක් එක්ක යන්න හැදුවට හිතන හැටි වෙනස්වෙල නැද්ද කියල මට හිතෙනවා. මෙහෙම එහාට හිතාගෙන යද්දි මං දකින දේවල් තියෙනවා. අනෙක් කාරණය අද්දැකීම්. අවුරුදු ගණනක් තිස්සේ මං වනාතමුල්ල, දෙමටගොඩ වගේ ප්‍රදේශවල වතු ආශ්‍රිතව ජීවත්වන දරු – දැරියො සමඟ කටයුතු කළා. ඔවුන් ගැන මට දැනුණු හැටි, ඛේදවාචකයක් බඳු සිදුවීම්, අද්දැකීම් වගේ දේ ඔළුවේ තිබුණා. ඒක නිර්මාණශීලීව කියන්න මං ගත්ත වෑයම තමයි “රේල් පීලි” යොවුන් නවකතාව.
මේ කෘතිය මඟින් නාගරික උප සංස්කෘතිය ගැන, ඒ සංස්කෘතියට අයත් ජීවිත ගැන කතා කරනවා. මේ කතාවට විෂය වෙන පරිසරය අපට ආගන්තුක නොවන බව ඔබ එයින් කියාපානවා. මොන විදිහට ද ඔබ මේ චරිත ප්‍රතිනිර්මාණය කළේ?
පෙරවදනෙ මං මේක හරියටම කියනවා. කොළඹ 7 සහ කොළඹ 8 සීමා නිර්ණයට අනුව ඇති දුර අවමයි. හැබැයි ඒ ජීවිතවල භෞතික වෙනස්කම් අනුව බැලුවොත් මේ දුර අහසට පොළොව වගෙයි. ඉතා සීමිත දුර පරාසයක් තුළ හාත්පසින් වෙනස් පරිසර දෙකක් හැදෙනවා. මං මේ පරිසර දෙකම ඇසුරු කිරීමේ භාග්‍ය ලැබුවා. මං මේ දෙකේම යක්ෂයො වගේම දෙවියොත් දකිනවා. එක පරිසරයක දෙවියො සහ අනෙක් පරිසරයෙ යක්ෂයො කියලා වෙන් කරන්න බෑ. මේ දෙකොටසම ඔය පරිසර දෙකේම ඉන්නවා. එහෙම නොබැලුවොත් එක් කොටසකට වෙන්නෙ අසාධාරණයක්. පහළ මට්ටමෙත් දෙවියො ඉන්නවා. මිනිස්සුන්ගේ ආකල්ප, චින්තනය වගේ දේ එක්ක මිසක් භෞතික දේ එක්ක එය තීරණය වෙන්නෙ නෑ. ප්‍රශ්නය තියෙන්නෙ පහළ මට්ටමේ ඉන්න දෙවියන් බොහෝවිට මතුවෙන්නෙ නෑ. ඒ මිනිස්සු යම් රාමුවකට කොටුකර තිබෙනවා. ඒ රාමුවෙන් ඔවුන් ගලවාගැනීමට ක්‍රමයක් වගේම මාර්ගෝපදේශත් නෑ.
මේ කතාවෙදී ඔබ චලුකි, විදුහල්පතිතුමා වගේ චරිත ආදර්ශ හැටියට ගොඩනඟනවා. ඒ වගේම නාගරික සංස්කෘතිය තුළ ග්‍රාමීය මූල සහිත චරිත නොසැළී සිටින හැටිත් දක්වනවා. දේශපාලනික මානයකුත් මෙහි තිබෙනවා. මේ ගැන ඔබ කොහොමද තේරුම් කරන්නේ?
චලුකිලා ඉන්නත් පුළුවන් නොඉන්නත් පුළුවන්. විදුහල්පතිතුමා ඉන්නත් පුළුවන් නො ඉන්නත් පුළුවන්. මගේ සමාජ භාවිතාව තුළ මම මේ චරිත හමුවෙලා තියෙනවා විය හැකියි. ඒ වගේ චරිත මේ සමාජයට අවශ්‍යයි. මට හමුවුණ චලුකි ඇමැති කෙනෙක්ගේ දුවෙක් නොවෙන්න පුළුවන්. රස්තියාදු චරිතයක් වෙන්නත් පුළුවන්. එතකොට තාත්තාගේ හැඩතල අනුවම ඇය මැනීම නිවැරැදිත් නෑ.
ශ්‍රී ලංකාවේ දේශපාලනය ගැන කතා කරන කොටත් අපි සමහර දේශපාලනඥයො බුද්ධියෙන් හීනයි කියලා කතා කරනවා. ඔවුන්ට නිසි අධ්‍යාපනයක්, දැන-උගත්කමක් පවා නෑ. එතකොට මේ දේශපාලනඥයාට ඉවක් හැදෙනවා ඊළඟ පරපුරට තමන්ගේ මේ ‘ආදර්ශය’ හරියන්නෙ නෑ කියලා. ඊළඟ පියවරට යන්න නම් ජාත්‍යන්තර භාෂා දැනුමත්, තොරතුරු තාක්ෂණ දැනුම ඇතුළුව තවත් දේ තිබිය යුතු බව ඔහුට දැනෙනවා. ඒ දැනුම අත්කරගන්න බැරිවුණොත් ඊළඟ පරපුරත් එක්ක දේශපාලනය කරන්න බෑ.
මං දකින විදිහට මේ රටේ උගතුන් බිහි නොවීම එක ප්‍රශ්නයක්. දුප්පත්කම තවත් ප්‍රශ්නයක්. නූගත්කම සරලව විග්‍රහ කරගත යුතු නෑ කියලා මං හිතනවා. උගත්කම ලබාගන්න බැරිවුණොත් දුප්පත්කම පරාජය කරන්නත් අමාරු වෙනවා.
මේ කතාව කියන්න ඔබ භාෂාව භාවිත කරන ආකාරයට ඔබ තුළ සිටින නාට්‍යකරුවාත් බලපෑවා විය හැකි ද?
සිදුවීම් නිර්මාණය කරද්දී නාට්‍යකරුවා මතුවෙන්න ඇති. භාෂා භාවිතයේ දී අතිශයින් සංකීර්ණ හෝ විදග්ධ භාෂා ව්‍යවහාරය වෙනුවට මං සමාජ පරිසරයට උචිතවන පරිදි භාෂාව යොදාගත්තා. ඒ වගේම යෞවනයට සමීප භාෂා ශෛලියක් අනුගමනය කළා.
තරුණ නිර්මාණකරුවකු හැටියට කුළුඳුල් සාහිත්‍ය නිර්මාණ කෘතිය සමාජ ගත කිරීමේදී දුෂ්කරතා හමුවුණා ද?
මේ පොත ලියලා අවුරුදු 2ක් තිස්සේ මං උත්සාහ කරනවා කර්තෘ ප්‍රකාශනයක් හැටියට ඒක එළි දක්වන්න. මට එහෙම හීනයක් තිබුණා. සමහර හීන තියෙනවා, අපිට වැරැදුණත් ඒවා නැවත නැවත කරන්න හදන. මීට කලින් මං මංජු වන්නිආරච්චි ගැන ලියපු රන් කඳුළ පොත වුණත් විකිණුනේ නැත්තෙත් නෑ. පොත් ගිය සමහර තැන්වලින් මුදලුත් නෑ. පොතුත් නෑ. හැබැයි මං මේ කෘතිය කරන්න ඕන කියන හීනයේ හිටියා. ඔය අතරෙ තමයි ෆාස්ට් පබ්ලිෂිං අධිපති ප්‍රේම් දිසානායක මහත්තයා මට හමුවුණේ. පළමු හමුවේදීම මට විශාල ළෙන්ගතුකමක් දැක්වූ ඔහු, මං පොත ගැන කිව්වාම ‘හරි ඉතිං කරමු. දීලා යන්න’ කියලා මේ වැඩේ භාරගත්තා.
ඔබේ පොතේ දොරට වැඩුමත් වෙනස්. අපිට ඒ ගැනත් යමක් කියන්න.
නොවැම්බර් 16 වැනි දා, ලබන සඳුදා සවස 4.30ට වැලිකඩ බන්ධනාගාරයේ පුහුණු පාසලේ දී මේ පොත දොරට වැඩුම සිදුවෙනවා. මේ වැඩේට එතැන තෝරාගන්නත් හේතු ගොඩයි. මං අවුරුදු දෙකහමාරක්, තුනක් විතර ඒ රැඳවියොත් එක්ක නාට්‍යක් කළා. ඔවුන් රංගනය හදාරනවා තබා ඔවුන්ගෙන් 99%ක් විතර වේදිකා නාට්‍යයක් නරඹලාවත් නෑ.ඒත්, ඒ නාට්‍ය රංගනය විතරක් නෙවෙයි. වේදිකා පරිපාලනය, ආලෝකය වගේ හැම දෙයක්ම කරන තැනට ඔවුන් ගේන්න පුළුවන් වුණා. 2014 බලපත්‍ර නිදහස් කිරීම යටතේ ඔවුන් සමාජයට යද්දි, ඒ අයගෙන් සමහරු කිව්වෙ අවුරුදු 10ක් ඇතුළෙ සිටියාට හොඳටම පුනරුත්ථාපනය වුණේ නාට්‍ය ඇතුළෙදි කියලයි. ඒ සතුට මං පෞද්ගලිකව විඳිනවා.
දොරට වැඩුමේ උළෙලට සහභාගිවෙන්න කියන ආරාධනයත් සමඟ සහෘද ඔබගෙන් විශේෂයෙන් ඉල්ලීමක් කරනවා. ඔබ පාවිච්චි කළ, කියවන්න පුළුවන්, ඕනෑම විෂයයකට, ක්ෂේත්‍රයකට අයිති පොතක් එදාට අරගෙන එන්න කියලා. මේ රැඳවියන් වෙනුවෙන් ඔබ එදිනට ගෙන එන ඒ පොත් මගින් , මගේ පොතේ දොරට වැඩුම සමාජ සද්කාර්යයක් බවට පත් කර ගැනීමට හැකිවීම ගැන මං සතුටු වෙනවා.
www.lankaanews.com