මාධ්‍ය නිවේදනය – පාර්ලිමේන්තු මහ මැතිවරණය 2015 අගෝස්තු 17 (MFFE)

0
129

General-Election-2015-300x2002015 අගෝස්තු 17 සවස 5.00 ට

මාධ්‍ය නිවේදනය – පාර්ලිමේන්තු මහ මැතිවරණය 2015 අගෝස්තු 17
නිදහස් සාධාරණ මැතිවරණ සඳහා ව්‍යාපාරය (MFFE)

“මෑත ඉතිහාසයේ පැවැත්වුණු මැතිවරණයන්ට සාපේක්ෂව ගත් කල ඉතා නිදහස් සහ සාධාරණ වාතාවරණයක් තුළ පාර්ලිමේන්තු ඡුන්ද විමසීම පැවැත්වුණු බව” ඡන්ද විමසීම පැවැත්වූ දිනය අවසානයේ දී නිවේදනයක් නිකුත් කරමින් දේශීය මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායමක් වන නිදහස් සාධාරණ මැතිවරණ සඳහා ව්‍යාපාරයේ (MFFE) කැඳවුම්කාරිනී මනෝරි කලූගම්පිටිය මහත්මිය ප‍්‍රකාශ කරයි.”

ජංගම නිරීක්ෂකයන් යොදා ගනිමින් අගෝස්තු 17 වන දින දිවයින පුරා සිදු කරන ලද නිරීක්ෂණයක් ඇසුරෙන් නිකුත් කරන ලද මෙම නිවේදනයෙහි මෙසේද සඳහන් වේ.
“අගෝස්තු 17 වන දින පෙරවරු 7.00 ට ඡුන්ද විමසීම නිසි පරිදි ආරම්භ වූ අතර, ඡුන්දය ප‍්‍රකාශ කිරීම සඳහා ඡුන්ද දායකයන් සහ ඡුන්ද දායිකාවන් බලවත් උද්යෝගයකින් යුතුව ඡන්ද පොළ වෙත ගමන් කරනු අපගේ නිරීක්ෂකයන් විසින් නිරීක්ෂණය කරන ලදී. දවල් 12.00 වන විටද එම උද්යෝගය ඒ අයුරින්ම පැවතුණු බව දක්නට ලැබිණි”.

“ඡන්ද විමසීම පැවැත්වුණු දිනය තුළ බරපතළ සිදුවීම් කිසිවක් වාර්තා වී නොමැත. වාර්තා වී ඇති සිදුවීම් සියල්ලම සුළු සිදුවීම් ගණයට වැටේ. නිදහස් සාධාරණ මැතිවරණ සඳහා ව්‍යාපාරය විසින් සිදු කරන ලද නිරීක්ෂණයක් අනුව මැතිවරණ නීති උල්ලංඝනයවීම් වැඩිම ප‍්‍රමාණයක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත‍්‍රික්කයෙනි. ඉන් පසු පිළිවෙළින් ගම්පහ, කුරුණෑගල, මහනුවර, මාතර සහ බදුල්ල යන දිස්ත‍්‍රික්ක වලින් සිදුවීම් වාර්තා වී ඇත.”
වාර්තා වී ඇති සිදුවීම් අතරින් වැඩිපුරම වාර්තා වී ඇත්තේ පෝස්ටර් සහ කටවුට් ප‍්‍රදර්ශනය කිරීම, අත් පත‍්‍රිකා සහ තුණ්ඩු බෙදීම, රථ පෙළපාළි යාමට උත්සාහ කිරීම් වැනි නීති විරෝධී ප‍්‍රචාරක කටයුතුය. මීළඟට වැඩිම ප‍්‍රමාණයක් වාර්තා වී ඇත්තේ ඡුන්ද දායකයන්ට අයුතු බලපෑම් කිරීම පිළිබඳ පැමිණිලිය. තුන්වෙනුව පැමිණිලි ලැබී ඇත්තේ ඡුන්ද පොළ මධ්‍යස්ථාන අවට නීති විරෝධී ලෙස ගැවසීම පිළිබඳව වන අතර සිව්වෙනුව, නීති විරෝධී ලෙස ඡුන්ද දායකයන් ප‍්‍රවාහනය කිරීම සහ ඡන්ද දායකයන්ට විවිධාකාරයෙන් සංග‍්‍රහ කිරීමට උත්සාහ කිරීම පිළිබඳ පැමිණිලි ලැබී ඇත.

පූර්ව මැතිවරණ අවදියේ සිට ඡන්ද විමසීම පවත්වන ලද අද දිනය දක්වා කාලය තුළ මෙම ඡුන්ද විමසීම නිදහස්ව සාධාරණව සහ අපක්ෂපතීව පැවැත්වීම පිළිබඳව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය මහතා ඇතුළු ඔහුගේ කාර්ය මණ්ඩලයටද පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතා ඇතුළු පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ටද නිදහස් සාධාරණ මැතිවරණ සඳහා ව්‍යාපාරයේ ගෞරවය සහ ප‍්‍රණාමය හිමිවේ.
දේශීය සහ විදේශීය ඡන්ද නිරීක්ෂකයන් වැඩිම පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැති මෙම ඡන්ද විමසීම සාධාරණව සහ නිදහස්ව පවත්වා ගැනීමට දායක වීම සම්බන්ධයෙන් ඔවුන්ටද කෘතඥතාව හිමිවිය යුතුය.

ඡන්ද විමසීම පැවැත්වුණු කාලය තුළ පැවැති සාමකාමී වාතාවරණය ඡන්ද ප‍්‍රතිඵල නිකුත් වීමෙන් පසුවද පවත්වාගෙන යාමට දායක වන ලෙස නිදහස් සාධාරණ මැතිවරණ සඳහා ව්‍යාපාරය සියලූ ශ‍්‍රී ලාංකික ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ස්තුතියි,
අත්සන් කළේ,

මනෝරි කලූගම්පිටිය
කැඳවුම්කාරිනී,
නිදහස් සාධාරණ මැතිවරණ සඳහා ව්‍යාපාරය (MFFE)