මානව හිමිකම් ප්‍රශ්නයට, සංක්‍රාන්ති යුක්තිය පිළිබඳ යාන්ත්‍රණයක් හඳුන්වා දෙනවා – මංගල

0
147

සැප්තැම්බර් මාසය වන විට ලෝකයේ අනෙක් රටවලට ද ආදර්ශයක් වන ආකාරයේ “සංක්‍රාන්ති යුක්තිය පිළිබඳ ව්‍යුහයක්“ ආණ්ඩුව හඳුන්වා දෙන බව විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. මහජන විශ්වාසය දිනා ගත හැකි අයුරින් යුධ අපරාධ හා මානව හිමිකම් උල්ලංඝණය කිරීම පිළිබඳ චෝදනා සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා විශ්වාස කටයුතු, සත්‍ය සෙවීමේ හා වගවීමේ යාන්ත්‍රණයක් පිළිබඳ මෙහෙයුමට නායකත්වය සපයන අමාත්‍යවරයා ප්‍රකාශකර සිටියේ ශ්‍රී ලාංකික සංහිඳියා ආකෘතිය, දකුණු අප්‍රිකානු හෝ වෙනත් රටක එවන් අනුරුවක් නොවන බවය.

සංක්‍රාන්ති යුක්තිය පිළිබඳ ක්‍රියාවලියේ අධිකරණ යාන්ත්‍රණයට විදේශීය විනිශ්චයකරුවන් ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් එතුමා පැවසුවේ “නිරීක්ෂකයින් හා අනුශාසකයින් ලෙසින් සහභාගීවන විනිශ්චයකරුවන් සිටිය හැකි බැවින් එවන් එක් වචනයක් මත එල්බ ගැනීම නොකළ යුතු බව මාගේ හැඟීම” බවයි.

එනමුත්, අධිකරණ යාන්ත්‍රණය ස්ථාපිත කිරීමට පෙරාතුව සියලුම පාර්ශ්වකරුවන් සමඟ පුළුල් අන්දමින් සංවාද පවත්වා රටේ ජනතාවට මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාවට ද පිළිගත හැකි මට්ටමේ, විශ්වසනීය හා ස්වාධීන යමක් ඉදිරිපත් කරන බව එතුමා පවසා සිටියේය.

සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව

ප්‍ර :නොබෝදා නීෂා බිස්වාල් සහ ටොම් මැලිනොව්ස්කි යන සහකාර ලේකම්වරුන් මෙහි පැමිණියේ යෝජිත වගවීමේ අධිකරණ යාන්ත්‍රණය සඳහා විදේශීය විනිසුරුවන් හට ආරාධනා කිරීමට ශ්‍රී ලංකාවට බලකිරීමක් සිදුකිරීම සඳහා ද?

පි :ශ්‍රී ලාංකික අභිලාෂයන්ට ප්‍රතිවිරුද්ධ යැයි හැඟෙන යම් කාරණයක් සඳහා ශ්‍රී ලංකාව එකඟ කරගැනීමට, එක්සත් ජනපදය හෝ වෙනත් ඔනෑම රටක් තම බලය භාවිතා කරන බව පැවසීම සම්පූර්ණයෙන් ජනතාව නොමග යැවීමකි. හුදෙක් බිස්වාල් මහත්මියගේ සහ මැලිනොව්ස්කි මහතාගේ සංචාර මීට මාස කිහිපයකට පෙර සැළසුම් කරන ලද, ද්වීපාර්ශ්වික සම්බන්ධතා මත සිදු වූ සාමාන්‍ය සංචාර වේ.

මේ වසරේ පෙබරවාරි මාසයේ දී ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය හවුල්කාරීත්ව සංවාදය නිල වශයෙන් ආරම්භ කරන්නට යෙදිනි. ඔවුන් කලාපයේ අනෙක් රටවලද සංචාරයේ යෙදේ. එම සංචාරය කලාපීය කාරණා සම්බන්ධයෙන් සාකාච්ඡා පැවැත්වීම පිණිස වන හෙයින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන්ගේ රජය යටතේ ශ්‍රී ලංකාව ලඟා කරගනිමින් සිටින අනර්ඝ ප්‍රගතිය පිළිබඳව ද යාවත්කාලීනවීමට ඔවුන්ට අවශ්‍ය විය.

ජිනීවා යෝජනාවලියේ නොයෙකුත් කොන්දේසි වලට එකඟතාව පළකිරීමට ශ්‍රී ලංකාවට බල කරනු ලබන බවට කරන ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යක් මෙන්ම නොමග යවන ආකාරයේ එකකි. 2015 ජනාධිපතිවරණයේ දී, අප ඉදිරිපත් කළ මැතිවරණ ප්‍රකාශයේ 93 වන කාරණය වශයෙන් පැහැදිලිව සඳහන් කළේ, ජනාධිපතිවරයා වශයෙන් සිරිසේන මහතා තේරී පත් වුවහොත්, ශ්‍රී ලංකාවට එරෙහිව එල්ල වී ඇති මානව හිමිකම් උල්ලංඝණය සහ යුධ අපරාධ පිළිබඳව විවිධ චෝදනා සම්බන්ධයෙන් සොයා බැලීමට දේශීය යාන්ත්‍රණයක් ස්ථාපිත කරන බවයි. ඔක්තෝබර් මාසයේ පැවැත්වෙන ජිනීවා සමුළුවට යාමට පෙරාතුව, මෙම යෝජනාවලියේ පසුබිම පිළිබඳව දැන ගැනීම වැදගත් වේ.

ජාතික මෙන්ම ජාත්‍යන්තර ව්‍යසනයක් වැලැක්වීමට අපට හැකි විය. ඒ 2009 වසරේ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් මහතා ශ්‍රී ලංකාවට ප්‍රථම වරට පැමිණ, එතුමාත් එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කළ අවස්ථාවේය. යුද්ධයේ අවසන් අදියරයේ දී ශ්‍රී ලංකා යුධ හමුදාවට එල්ල කරන විවිධ චෝදනා සම්බන්ධයෙන් දේශීය පරීක්ෂණයක් පවත්වන බවට ශ්‍රී ලංකාව පොරොන්දු විය. එම ප්‍රකාශය අනුව යමින්, ජිනීවා හි ශ්‍රී ලාංකික නිත්‍ය නියෝජිතවරයා දින කිහිපයකට පසුව ශ්‍රී ලංකාව වෙනුවෙන් යෝජනාවලියක් ඉදිරිපත් කළේය. 13 වන සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම මෙන්ම සංක්‍රාන්තික යුක්තිය තහවුරු කිරීමේ අනෙකුත් යාන්ත්‍රණ ඇතුළු විවිධ පොරොන්දු සමගින් ඒකාබද්ධ ප්‍රකාශය සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම එමඟින් යලි යලිත් තහවුරු කරන ලදී.

මේ හේතුව නිසා ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව 2009 දී රටවල් බහුතරයක සහය ලබා ගත්තාය. එය පක්ෂව ඡන්ද 25ක්ද විපක්ෂව ඡන්ද 12ක්ද ලැබීමෙන් සම්මත විය. එහෙත් යෝජනාව සම්මතවීමෙන් පසුව, පැවරුනු වගකීම් ඉටු කිරීම සඳහා ශ්‍රී ලංකාව කිසිවක් නොකළ අතර රටේ තත්ත්වය තවදුරටත් නරක අතට හැරුණි. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් කථා කිරීමට හා අදහස් ඉදිරිපත් කිරීමට තරම් දිරිමත් වූ සියලු දෙනාම ත්‍රස්තවාදීන්ට සහාය දක්වන්නන් ලෙස හෝ පාවා දෙන්නන් වශයෙන් හංවඩු ගසන ලදී. 2014 වන විට ශ්‍රී ලංකාවට පක්ෂපාතී වූයේ එක්සත් ජාතීන්ගේ සංගමයේ රටවල් පහක් පමණි. ඒ වන විට සිය වාර්තාව ලිවීමටත්, ශ්‍රී ලංකා රජයේ අනුමැතියෙන් තොරව ජාත්‍යන්තර විමර්ශනයක් පැවැත්වීමටත් මානව හිමිකම් කවුන්සිලය තීරණයකට එළඹ තිබුණි.

වාර්තාව 2015 මාර්තු මාසයේ දී සභාගත කිරීමට නියමිතව තිබුණි. එම වාර්තාව සභාගත වූයේ නම්, එවක රජයේ ප්‍රධානීන් කීප දෙනෙකුට එරෙහිව සම්බාධක පැනවීමටත් විදේශ ගමන් තහනම් කිරීමටත් අවකාශ තිබුණි. එතකුදු වුවත්, රටේ වාසානාවට, ජනවාරි 08 වන දින නව රජය බලයට පත්විය. නව රජයේ විදේශ කටයුතු අමාත්‍යවරයා වශයෙන් මා ප්‍රථමයෙන්ම කළේ මානව හිමිකම් මහ කොමසාරිස් සෙයිඩ් රාඕ අල් හුසේන් කුමරු හා අනෙකුත් ප්‍රධාන පෙළේ නිලධාරීන් හමුවීම සඳහා ජිනීවා බලා යාමය.

එල්ලවී ඇති නොයෙකුත් චෝදනා සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා අප රජය විසින් විශ්වාසනීය හා ස්වාධීන දේශීය යාන්ත්‍රණයක් පිහිටුවනු ලැබ ඇති බව අපි ඔවුන් වෙත දන්වා සිටියෙමු. මෙම යාන්ත්‍රණයේ සීමා මායිම් සකස් කර ගැනීම සඳහා අපි කල් ඉල්ලා සිටියෙමු. ඒ අනුව, අපේ මං සැලසුම් සකස් කිරීම සඳහා අවකාශ සැලසෙන පරිදි, මාර්තු මාසයේ දී සභාගත කිරීමට නියමිතව තිබුණු වාර්තාව සැප්තැම්බර් මාසය දක්වා කල් දමන ලදී. මුල් දින 100 ක කාලයක් තුළ අප ලැබු ජයග්‍රහණයන් පදනම් කරගෙන මහ කොමසාරිස්වරයා විසින් සැප්තැම්බර් මාසයේ දී නව වාර්තාව සභාගත කරන ලදී. ශ්‍රී ලංකාවේ නව දේශපාලන ගමන් මග ඔවුන්ගේ ප්‍රශංසාවට ලක්විය.

එම සැසි වාරයේ දී එක්සත් ජනපදය විසින් ප්‍රාරම්භණය කරන ලද යෝජනාව සම්බන්ධයෙන් සම අනුග්‍රාහකයත්වය දැක්වීමට ශ්‍රී ලංකා රජය තීරණය කළාය. එහෙත් යෝජනාවේ මුල් පිටපත සම්බන්ධයෙන් අපි අනුග්‍රහය නොදැක්වීමු.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාත් අග්‍රාමාත්‍ය, රනිල් වික්‍රමසිංහ මැතිතුමාත් සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් පසුව අපි සංශෝධන ඉදිරිපත් කළෙමු. ශ්‍රී ලංකාව පිළිබඳ සංශෝධිත යෝජනාව සම්බන්ධයෙන් අපි සම අනුග්‍රහය දැක්වීමේ ඓතිහාසික පියවර ගත්තෙමු. අපේ වගකීම් ඉටු කිරීමෙහි ලා දැන් අපි කටයුතු කරමින් සිටිමු. ජාත්‍යන්තර නීතිය යටතේ ජාත්‍යන්තර ප්‍රජාව වෙත අප විසින් යම් යම් වගකීම් ඉටු කිරීමට අප බැඳී සිටිමු. එහෙත් අප දැනට කටයුතු කරන්නේ අප රටේ ජනතාවගේ සුභ සිද්ධිය සඳහාය. නූතන ගතික ජාතියක් වශයෙන් ඉදිරියට ගමන් කොට විසි එක්වන වන සියවසේ අභියෝගයන්ට මුහුණදීමට නම් අප විසින් අපගේ පසුගිය කාලයේ වැරදි නිවැරදි කර ගත යුතුය.

ප්‍ර : වගකීම් පිළිබඳව යෝජිත යාන්ත්‍රණයේ දී ජාත්‍යන්තර විනිශ්චයකාරවරුන් කැඳවීමට නැවත කටයුතු කර ඇත. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා විසින් මෑතක දී කරන ලද කථාව ඔබ අර්ථාවබෝධ කරන්නේ කෙසේද ? වගකීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව පසුබෑමකට ලක් වී ඇතැයි ඔහු අදහස් කරන්නේ ද?

පි : යෝජනාවලිය සම්බන්ධයෙන් අප සම අනුග්‍රහය දක්වන්නේ ජාත්‍යන්තර බලපෑම නිසා නොව අප ජනතාවගේ සුභ සිද්ධිය උදෙසා බව පෙබරවාරි 04 වැනි දින ජනාධිපතිතුමා ජාතිය අමතමින් සඳහන් කළේය. “මා එසේ කළේ අප රටේ කෙළෙසුණු නාමය නැවත උද්දීපනය කර ගැනීමත් සොල්දාදුවන්ගේ කීර්තිනාමය ආරක්ෂා කර ගැනීමත් සඳහා ඇති එකම මාර්ගය මෙය වන නිසා” යැයි ජනාධිපතිතුමා පැවසීය.

දැනට අපි සංක්‍රාන්තික යුක්තිය පිළිබඳව නොයෙකුත් යාන්ත්‍රණ ස්ථාපනය කරමින් සිටිමු. ජාතියක් වශයෙන්, පසුගිය කාලයේ සිදු වූ දේ යථා තත්ත්වයකට පත් කර ගත යුතුව ඇත. මෙම සංහිඳියා ක්‍රියාවලියේ ස්ථම්භක හතරක් තිබේ.
මින් පළමුවැන්න අතුරුදන් වූ පුද්ගලයින් පිළිබඳව ස්ථාවර කාර්යාලයයි. දෙවැන්න සත්‍ය සෙවීමේ යාන්ත්‍රණයයි. මෙය දකුණු අප්‍රිකා අත්දැකීම් මත මුළුමනින්ම රඳා පවතින්නේ නැති නමුත් ක්‍රමය අධ්‍යයනය කිරීම සඳහා අපේ තාක්ෂණික කණ්ඩායම් දකුණු අප්‍රිකාවට ගොස් ඇත. තුන්වැන්න, වගකීම් පිළිබඳ ස්ථම්භකයයි. පටහැනිවීමක් සිදුවන බවක් පෙනීයන්නේ මෙහිදීය. වගවීම් යනු මානව හිමිකම් උල්ලංඝණය කිරීම් හෝ යුධ අපරාධ කිරීම් සම්බන්ධයෙන් චෝදනා ලබා ඇති පුද්ගලයින් සම්බන්ධයෙන් චෝදනා සත්‍ය යැයි ඔප්පු වුවහොත් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා අධිකරණ ක්‍රියාවලියක් හෙවත් යාන්ත්‍රණයක් ස්ථාපණය කළ යුතු වීමයි.

ඒ සඳහා ජාත්‍යන්තර සහභාගිත්වයෙන් යුතු යාන්ත්‍රණයක් සකස් කිරීමට අප යෝජනා කර ඇත. ස්වකීය පටු දේශපාලන අරමුණු සාක්ෂාත් කර ගැනීමට වෙර දරන පිරිස් විසින් දැන් විකෘති කර හුවා දක්වන්නේත් අවභාවිතා කිරීමට උත්සහ ගන්නේත් මෙම වචනයයි. විමර්ශනවලදී සහ අපරාධ නඩු විසඳීමෙහි ලා ජාත්‍යන්තර සහභාගිත්වය ලබාගැනීම ශ්‍රී ලංකාවට ආගන්තුක වුවක් නොවේ. හිටපු අග්‍රාමාත්‍ය එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමාගේත් හිටපු අමාත්‍ය ලලිත් ඇතුලත්මුදලි මැතිතුමාගේත් ඝාතන විමර්ශන කටයුතු සඳහා ද අපි විදේශ විමර්ශකයන්ට ආරාධනා කළෙමු. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පවා භගවතී විනිසුරුතුමා සහ ඩෙස්මන්ඩ් සිල්වා මැතිතුමා ඇතුළු විදේශීය විශේෂඥ කණ්ඩායම් පත් කරන ලද අවස්ථා තිබේ.

යම් ක්ෂේත්‍රයක් සම්බන්ධයෙන් දේශීය විශේෂඥ සේවා ලබා ගැනීමේ දුෂ්කරතාවයක් පවතින විටක ඒ සඳහා විදේශීය සහය ලබා ගැනීමට පෙළඹීම, රජයේ ස්ථාවරයයි. එහි කිසිදු වරදක් මට නොපෙනේ. නමුත් මතභේදයට තුඩු දී ඇති කාරණය වන්නේ යෝජිත අධිකරණ යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමේ දී විදේශීය විනිසුරුවරුන්ට සහභාගී වීමට ඉඩ සලසන්නේ ද යන්නයි. මෙය, සම්පූර්ණ සංක්‍රාන්ති යුක්ති ක්‍රියාවලියේ එක් අංගයක් පමණි.

මේ සඳහා විදේශීය විනිසුරුවරුන් සහභාගි කර ගැනීමට තමා කැමැත්තක් නොදක්වන බව ජනාධිපතිතුමා දැනටමත් ප්‍රකාශ කර ඇත. ව්‍යවස්ථානුකූලවද එය ගැටළුකාරී විය හැක. විනිශ්චය මණ්ඩලයට විදේශීය විනිසුරුවරුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිදු ප්‍රතිපාදනයක ඇතුළත් නොවුණ ද, යමෙකුට ශ්‍රී ලංකා අධිකරණයක විනිශ්චය මණ්ඩලයෙහි අසුන් ගැනීමට නම් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සිය අවනතභාවය ප්‍රකාශ කිරීමේ දිවුරුම ලබා දීම අත්‍යවශ්‍ය වේ.

එබැවින් යමෙකුට විදේශීය විනිසුරුවරුන් සහභාගිකරවා ගැනීමේ අවශ්‍යතාවයක් තිබුණද, එය ක්‍රියාත්මක කිරීමේ ගැටළු පවතී. අනෙක් අතට, මෙම ක්‍රියාවලිය සඳහා විදේශීය සහභාගිත්වය යම්තාක් දුරකට ලබා ගන්නා මෙන් ඉල්ලීම් කරන දෙමළ ජාතික සන්ධානය වැනි ද්‍රවිඩ ප්‍රජාවන්ගෙන් සමන්විත මධ්‍යස්ථ කණ්ඩායම් ද වෙති. නමුත් අවංකවම කිවහොත්, කනස්සල්ලට පත්වීමට හේතුවක් නැත. විදේශීය විනිසුරුවරුන් සහභාගිකරවා ගැනීම හා නොගැනීම යන මෙකී අන්ත දෙකට අමතරව තවත් බොහෝ පිළිගත හැකි විකල්ප විසඳුම් තිබෙන අතර, ඒවා පිළිබඳ සොයා බලා අවසන් නිගමනයකට එළඹීමේ අවස්ථාව තිබේ. අවසන් වශයෙන් පැවසිය යුතු කාරණය නම්, වැදගත් වන්නේ විනිශ්චය මණ්ඩලය කළුද, සුදුද යන්න නොවේ, ඔවුන් කටයුතු කරන ආකාරයයි. අධිකරණයේ විශ්වාසනීයත්වය සහ ස්වාධීනත්වය තහවුරු කිරීම මගින්, එය සියළුම පාර්ශ්වයන්ට පිළිගත හැකි තත්ත්වයකට පත් කෙරෙනු ඇත.

අප විසින් දැනටමත් සාමාජිකයන් එකොළොස් දෙනෙකුගෙන් යුතු කාර්ය බලකායක් පත්කොට, ඒ හරහා උපදේශණ ක්‍රියාවලියක් ආරම්භ කර ඇත්තේ මේ නිසාය. මෙම කාර්ය බලකාය දැනටමත් විවිධ පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කරමින් සිටී. උතුරේ ජනතාව සමඟ පමණක් නොව, දකුණෙ ද සන්නද්ධ සේවා සාමාජිකයන් හා ඔවුන්ගේ පවුල්, ආගමික නායකයන් සමඟ ඔවුන් සාකච්ඡා පවත්වනු ඇත. සාකච්ඡා අවසන් වීමෙන් අනතුරුව, පිළිගත හැකි, විශ්වාසනීය හා ස්වාධීන වූ යම් විසඳුමක් ඉදිරිපත් කිරීමට අපි බලාපොරොත්තු වෙමු.

ප්‍ර : කාර්ය බලකාය විසින් අතුරු වාර්තාවක් එළි දක්වා තිබේද?

පි : නැත. සැප්තැම්බර් හෝ ඔක්තෝබර් වන විට අතුරු වාර්තාව ඉදිරිපත් කිරීමට අපේක්ෂා කෙරේ. යාන්ත්‍රණයන් ක්‍රියාවට නැංවීම සිදුකළ හැකි වන්නේ වාර්තාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය. එය රහසිගතව සිදු නොකෙරෙනු ඇත. අප විසින් පත් කිරීමට බලාපොරොත්තු වන අධිකරණ යාන්ත්‍රණයේ ස්වභාවය පිළිබඳව අවසාන තීරණයකට එළඹෙන්නේ ඒ පිළිබඳව මහජනතාවෙ වෙත හෙළිදරව් කොට, සංවාදයකට බඳුන් කිරීමෙන් අනතුරුවයි.

වහ වහා කළයුතු හා පහසුවෙන් ඉටුකළ හැකි කාර්යයන් අප විසින් දැනටමත් ආරම්භ කර තිබේ. අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති අතර, එය පාර්ලිමේන්තුවේ සභාගත කර ඇත. එමෙන්ම සැප්තැම්බරයේ දී “උපදේශන වාර්තාව” එළි දැක්වු පසුව, සත්‍ය සෙවීමේ යාන්ත්‍රණය ස්ථාපිත කිරීමට ද අපි බලාපොරොත්තු වෙමු. කෙසේ වුවද, අධිකරණ යාන්ත්‍රණය ස්ථාපනය කිරීමට පෙර පුළුල් පරාසයක සංවාද පැවැත්වීමට අපේක්ෂා කරන අතර, අවසානයේ දී , මා විසින් මීට පෙර ද සඳහන් කළ පරිදි ස්වාධීන, විශ්වාසනීය සහ සියලුම පාර්ශ්වයන්ට පිළිගත හැකි ආකාරයේ විසඳුමක් ඉදිරිපත් කෙරෙනු ඇත.

ප්‍ර : විනිසුරුවන්ගේ “සහභාගිත්වය” හා “ ඔවුන් විනිශ්චයාසනයෙහි අසුන් ගැනීම” යන කාරණා දෙකක්ද
නොඑසේ නම් ඉන් අදහස්වන්නේ එකම කාරණයද ?

පි : තාක්ෂණික ගැටළු තිබේ. විදේශීය විනිසුරුවරුන් ලබා ගැනීම අවශ්‍ය වන්නේ නම් ව්‍යවස්ථාමය
සංශෝධනවලට පවා යාමට සිදුවනු ඇත. අප විසින් විසඳාගත යුතු කාරණා වන්නේ මේවාය.

නිරීක්ෂකයන් හෝ උපදේශකවරුන් ලෙස වින්ශ්චයකරුවන්ට සහභාගී විය හැකි. එහෙයින්, අපි එක් වචනයකින් තිගැස්සීමේ අවශ්‍යතාවයක් ඇතැයි මම නොසිතමි. නමුත් මෙමගින් දෙමුහුන් අධිකරණය නියත වශයෙන්ම නිරර්ථක බව කියා පායි. ඒ ගැන කථා කරන පුද්ගලයන් එය කුමක් ද යන්න නොදනී. මීට පෙර ලෝකයේ ස්ථාපිත කර ඇති දෙමුහුන් අධිකරණ සියල්ලම ස්ථාපිත කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානය මගිනි. ප්‍රශ්ණගත රටට විනිශ්චයකරුවන් කිසිවෙකු නම් කිරීමට නම්‍යශීලිභාවයක් නොතිබිනි. නමුත් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සලකා බලන කළ, සියලුම විනිශ්චයකරුවන් පත් කිරීමට බලය අප සතුව තිබේ. වෙනත් කිසිදු රටක් මීට මැදිහත් නොවූව ද මිනිසුන් රැවටීමට හෝ අපිව තෘප්තිමත් කිරීමට හෝ වෙනත් ආයතනයක් අපිට පත් කළ නොහැකිය.

අනාගතයේ දී වෙනත් රටවල් වලට භාවිතා කළ හැකි සංක්‍රාන්තික යුක්තිය සඳහා ආකෘතියක් ශ්‍රී ලංකාවට සැකසිය හැකි බවට මම විශ්වාස කරමි.

ප්‍ර : මෙම යාන්ත්‍රණයේ දී විදේශීය විනිසුරුවරුන් ලබා ගැනීම පිළිබඳව මහජනතාවගෙන් දැඩි විරෝධයක් පවතින අවස්ථාවක රජය ගනිමින් සිටින විකල්ප මොනවාද?

පි : මම ඉහතින් සඳහන් කළාක් මෙන්, වැදගත්වන විදේශීය සංරචකය එය නොවේ. එය විදේශීය, දේශීය හෝ කළවම් යන ඒවායින් කුමක් වුවද විශ්වාසදායි සහ ස්වාධීන එකක් විය යුතුය. එය විශ්වාසදායි සහ ස්වාධීන එකක් බව අපි තහවුරු කරන්නෙමු. ඇත්තෙන්ම, අපිට එසේ කිරීමට අවශ්‍යය විශේෂඥභාවය නොමැති බව හැඟී යන හෙයින් සියලුම මට්ටම්වලදී ජාත්‍යන්තර සහභාගිත්වය ද අපි ලබා ගනු ඇත.

පසුගිය වසර 10 තුළදී අපගේ අධිකරණ ක්‍රියාවලිය පිළිබඳව විශ්වාසයක් නොතිබුණ බව අපගේ මතකයට ලඟා කර ගැනීමට සිදු වෙයි. එය පූර්ණ වශයෙන් දේශපාලනීකරණය විය. එක් අග්‍ර විනිශ්චයකාරවරයෙකු ගෙදර යවන ලද අතර, රජය සමඟ කටයුතු කරන ලෙස විනිසුරුවරුන්ට බලපෑම් කරන ලදී. ලෝකයේ 50 වැනි හා 60 වැනි දශක වලදී පැවති අධිකරණ අතුරින් ශ්‍රී ලංකාවේ පැවති අධිකරණය වඩාත් ගෞරවනීය තත්ත්වයට පත් අධිකරණයක් විය.

අපගේ අධිකරණය පිළිබඳව මෙම රටේ පුරවැසියන්ට හා ලොව අන් රටවලට තිබූ විශ්වාසය බිඳ වැටී තිබුණි. නමුත් 19 වැනි සංශෝධණයට පින් සිදුවන්නට දැන් තත්ත්වය වෙනස් වී තිබේ. එසේ වුවත්, වසර 10ක දේශපාලන ක්‍රියාකාරිත්වයෙන් පසුව, ශ්‍රී ලංකාව ස්වාධීන අධිකරණයක් ස්ථාපිත කර තිබෙනවා යන කාරණය තහවුරු කිරීමට යම් කාලයක් ගත වනු ඇත.

ප්‍ර : 2018 වන විට උතුරු හා නැගෙනහිර පළාත්වලින් හමුදාව ඉවත්කරගැනීමේ ඉලක්කයක් රජයට තිබේ. හමුදාව ඉවත් කරගැනීමේ අපේක්ෂිත විෂය පථය කුමක් ද?

පි : උතුරින් හා නැගෙනහිරින් පමණක් නොව මුළු රටින්ම හමුදාව ඉවත්කිරීමේ අවශ්‍යතාවක් පවති. පසුගිය රජය යටතේ ජනාධිපතිතුමා ගැසට් නිවේදනයක් මගින් සෑම දිස්ත්‍රික්කයකම පාහේ හමුදා කඳවුරු ඇති කිරීමට පටන් ගත්තේය.

මෙයින් ප්‍රධාන වශයෙන් පීඩාවට පත්වූයේ උතුරු ප්‍රදේශයයි. අපි බලයට පත් වූ පසුව ආණ්ඩුකාර තණතුරට සිවිල් පුද්ගලයන් පත් කරමින් හමුදාව ඉවත්කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කළේ එහෙයිනි. අපි එම ක්‍රියාවලිය ඉදිරියටද කරගෙන යන්නෙමු. ඔය කියන ආකාරයට, මීට පෙර සිදුවූ දේවල් සලකා බැලීමේ දී උතුරේ දෙමළ ජනතාව යුධමය පාලනයකට යටත් කළ නොහැකිය.

සිවිල් පාලනය හඳුන්වා දිය යුතුය. රටේ එම ප්‍රදේශයේ සිදු කරන වාණිජ කටයුතු පවා සිවිල් ජනතාවට ආපසු ලබාදෙනු ලැබේ. ඇත්ත වශයෙන්ම ඉඩම් පිළිබඳ ගැටලුව වැදගත් ගැටලුවක් වෙයි. හමුදා කටයුතු සඳහා ඉඩම් අක්කර දස දහස් ගණනක් යුධ හමුදාව විසින් පවරා ගන්නා ලදී. යුද්ධයක් පැවති අවධියේ දී එය එසේ සිදුවිය යුතුය. නමුත් දැන් යුද්ධය අවසන් වී පවතී. එම ඉඩම් ඒවායේ නීත්‍යානුකූල හිමිකරුවන්ට ආපසු ලබාදිය යුතුය. නොබෝ දා ජනාධිපතිතුමා යාපනයේ තවත් අක්කර 701 ක් ආපසු ලබාදුන් අතර තව ඉඩම් බොහෝ ප්‍රමාණයක් ආපසු ලබා දීමට තිබේ. 2017 වසර අවසාන වන විට, ගුවන් තොටුපොළ පුළුල් කිරීම වැනි ව්‍යාපෘති සඳහා අවශ්‍ය වන ඉඩම් හැර රජය පවරාගෙන ඇති ඉඩම් නිදහස් කරනු ඇත. මෙම කාර්යයන් සඳහා රඳවා ගනු ලබන ඉඩම් සඳහා පූර්ණ වශයෙන් වන්දි ලබාදෙනු ඇත. අක්කර සුළු ප්‍රමාණයක් හමුදාව කටයුතු සඳහා යොදවා ගනු ඇත.

ප්‍ර : මරාගෙන මැරෙන ඇඳුම්, පුපුරණ ද්‍රව්‍ය හා එල්.ටී.ටී.ඊ ස්වාභාවයේ ක්ලෙමෝ බෝම්බ නොබෝදා සොයාගැනීමෙන් අනතුරුව රජයේ නියෝජිතායතන සෝදිසියෙන් පසුවෙයි. එල්.ටී.ටී.ඊ. පුනරුදයක් ඇතිවී ඇති බවට අනුමාන කර ඇති හෙයින් උතුරු හා නැගෙනහිර පළාත් වලින් සම්පූර්ණයෙන් හමුදාව ඉවත්කිරීමෙන් රජය අවධානමකට ලක් ව තිබෙනවාද?

පි : නැහැ. බිය හා අනාගතයේ සිදු විය හැකි දේ පිළිබඳ අනුමානයන් පදනම් කරගෙන රටක් පාලනය කිරීමට අපට හැකියාවක් නැහැ. මා අදහස් කරන්නේ ජ.වි.පෙ. කැරැල්ල ආණ්ඩුව විසින් මැඩපැවැත්වීමෙන් පසුව, නැවතත් ජ.වි.පෙ. පිබිදීමක් සිදුවෙතැයි යන පදනම මත දකුණේ ප්‍රදේශ කිහිපයක හමුදා කඳවුරු ස්ථානගත නොකිරීමට ඔවුන් තීරණය කළා.
එවන් යළි පිබිදීමක් සිදුනොවන බවට තහවුරු කිරීම රජයේ යුතුකම වන අතර; එසේ තහවුරු කළ හැක්කේ හමුදා කඳවුරු ඇති කිරීමෙන් නොව දමිළ ජනතාවගේ හදවත් හා සිත් දිනා ගැනීම තුළින් පමණි. යුද්ධය අවසන් වූ වහාම උදා වූ මහාර්ඝ අවස්ථාව තිබියදීත්, පෙර පැවති ආණ්ඩුවට ළඟාකර ගත හැකි නොවු දෙයද එයම වේ. 2009 මැයි මස යුද්ධය තීරණාත්මකව ජයගෙන එල්.ටී.ටී.ඊ. ය පරාජය කළ ද සාමය දිනා ගැනීම සඳහා සැළැස්මක් ආණ්ඩුව සතු නොවීය.

වසර ගණනක් මුළුල්ලේ හමුදාවත්, එල්.ටී.ටී.ඊ. යත් අතර හිර වූ දමිළ ජනතාව එල්.ටී.ටී.ඊ යේ පරාජයත් සමඟ මූලික වශයෙන් යම් නිදහසක් අත්කර ගත්තද, රාජපක්ෂ රෙජිමයේ ක්‍රියාකලාපය හේතුවෙන් දමිළ ජනතාව තව තවත් සමාජයෙන් දුරස්වන්නට විය.

ඔවුන් කටයුතු කළේ දමිළ ජනතාව විසින් විදේශ රටක් ආක්‍රමණය කළ ආකාරයෙනි. දමිළ ජනතාවගේ අව්‍යාජ දුක්ගැනවිලිවලට පිළිතුරු ලබාදෙන බවට නව ආණ්ඩුව සපථවනු ඇත. අතීතයේ ඇති වූ ශෝචනීය තත්ත්වයන් නැවත ඇති නොවන බවට තහවුරු කිරීමේ එකම මාර්ගය ද එයම වේ.

ප්‍ර : ශ්‍රී ලංකාව වරක් දකුණු අප්‍රිකානු ආකෘතිය අධ්‍යයනය කිරීමෙහි නිරත වූ බැවින්, යුධ අපරාධ අධිකරණ සම්බන්ධයෙන් වෙනත් කිසියම් සුවිශේෂී ආකෘතියක් පිළිබඳ සොයමින් සිටිනවාද?

පි : නැහැ. අපි සූදානම් වන්නේ සුවිශේෂි ශ්‍රී ලාංකික ආකෘතියකටයි. අනාගත සංක්‍රාන්තික යුක්තිය පිළිබඳ අනෙකුත් යාන්ත්‍රණ සඳහා අපගේ ආකෘතිය ආදර්ශ පිටපතක් වනු ඇත. අනෙක් කාරණය නම් යුධ අපරාධ අධිකරණ කියා දෙයක් නොමැතිවීමයි. එම නම පමණක් ගත්ත ද නොමඟයවන සුළුය. අධිකරණ නොමැත. යුධ අපරාධ සම්බන්ධයෙන් චෝදනා පවතී. එම චෝදනා සත්‍ය නම්, විශ්වාස කටයුතු පරීක්ෂණ පැවැත්වීම පමණක් යාන්ත්‍රණ මගින් සිදුවේ.

එසේ නොවේ නම්, එය අසත්‍යයක් යැයි අපි පවසනවා කලින් පැවති ආණ්ඩුව මෙන් අපි පණිවිඩකරුට වෙඩි තැබීමට සූදානම් වන්නේ නැහැ. බරපතළ චෝදනා ඇති විට අපිට එය සරලව ඉවත දැමිය නොහැකියි. අපට එරෙහි තවත් චෝදනාවක් නම් අපි සමූහ බෝම්බ යොදා ගත් බවයි. එය සත්‍ය නම්, ඉතා බරපතල ගැටළුවක් වන අතර අපට හිස් අතින් ගැලවීමට නොහැකියි. රජයක් ලෙස අපගේ වගකීම නම් එය එසේ නොවන බව විශ්වාස කටයුතු පරීක්ෂණයක් මගින් ලෝකයාට තහවුරු කර පෙන්වීමයි. අපගේ රටේ හා එහි ජනතාවගේ විශ්වාසය ගොඩනැංවීමට ඇති එකම මාර්ගය එය වේ.

ප්‍ර :නොබෝදා පැවති පුවත් පත් සාකච්ඡාවක දී ඔබතුමන් ප්‍රකාශ කර සිටියේ ඉලක්කය වන්නේ පහළ නිල තල දැරූවන් නොව අණ දෙන මට්ටමේ ඉහල නිලධාරීන්ට දඬුවම් ලබාදීම බවයි.

පි :මා එවන් යමක් අදහස් කළේ නැහැ. මානව හිමිකම් උල්ලංඝණය වීමක් හෝ යුධ අපරාධ සම්බන්ධයෙන් බරපතළ චෝදනා පවතී නම්, ප්‍රධාන වශයෙන් වැදගත් වන්නේ අණදීමේ අනු පිළිවෙලයි. මක් නිසාද ශ්‍රී ලංකා යුධ හමුදාව ඉතා යහපත් විනයක් සහිත හමුදාවක් බව මා දන්නා අතරම, දෝෂාරෝපණ එල්ලවී ඇති ආකාරයේ දේවල් සිදු කිරීමට ඉහළින් අණක් නොලැබුනේ නම් ඔවුන් කිසිවිටෙක එවන් දේ සිදු නොකරනු ඇත.

ඔවුන් දැඩි විනයකින් හෙබි අයවලුන් බැවින්, ඔවුන්ට අනුගමනය නොකිරීමට තිබු අණක්, පහළ නිල තල දැරූවන් විසින් අනුගමණය කරන්නට ඇත.

ප්‍ර :ඉහළින් ලද අණ යන්නෙන් ඔබ අදහස් කරන්නේ හිටපු ආරක්ෂක ලේකම් හා ත්‍රිවිධ හමුදාවේ ප්‍රධාන අණ දෙන නිලධාරී ලෙස කටයුතු කළ හිටපු ජනාධිපතිතුමන්ද ?

පි :ඔව්. නමුත් හමුදාවේ අණදෙන ව්‍යුහය කුමක් ද යන්න මා දන්නේ නැහැ. එවන් අවස්ථාවලදී අණදෙන ව්‍යුහය පිළිබඳ හොඳින් සොයා බැලීමත්, එම අණ ලබා දුන් පුද්ගලයින් සම්බන්ධයෙන් කටයුතු කිරීමත් අපට සිදු කළ හැකිය. සෙබළුන් යනු හුදෙක් ඉහළින් ලබා දෙන අණ පිළිපදින එය ක්‍රියාත්මක කරන පිරිසකි.

අනෙක් අතට, දැන් අපට අවශ්‍ය වන්නේ තමන්ට අදාළ ජාතික මෙන් ජාත්‍යන්තර බැඳීම් පිළිබඳ දැනුමක් සහිත හමුදාවක් නිර්මාණය කිරීමයි. ඒ තුළින්, යමෙක් යම් නීති විරෝධී අණක් ලබා දෙන විට එය ප්‍රතික්ෂේප කිරීමට අව්‍යශ්‍ය ධෛර්යය මෙන්ම විනය ද ඔවුන්ට ලැබෙනු ඇත.

ප්‍ර : හිටපු ආරක්ෂක ලේකම් සහ හිටපු ජනාධිපති මෙම ආණ්ඩුවේ දේශපාලන ඉලක්ක බවට පත්වෙමින් සිටින බවට විශාල හඬක් තිබේ ද?

පි :මෙම විශාල හඬක් නගන්නේ ඉතා කුඩා පිරිසකගෙනි. ඔවුන් සිදු කරන ලද අපරාධ සඳහා පලිහක් ලෙස හමුදා සෙබලුන් යොදා ගැනීමට ඔවුහු හුදෙක් උත්සාහ දරමින් සිටියි.

ප්‍ර : ජිනීවා හිදී තවත් හිතකර යෝජනාවලියක් සාකච්ඡාව පිණිස ඉදිරිපත් වෙමින් පවතීද? ශ්‍රී ලංකාව එයට සම අනුග්‍රහකත්වය ලබා දීමට යන්නේද?

පි :මම මීලඟ වසරේ ජිනීවාවලට යන අවස්ථාව වන විට, මෙම විශේෂ අධිකරණයේ නිර්මාණය හා ව්‍යුහය පිළිබඳ පැහැදිලි අවබෝධයක් අපට තිබේවි.

ප්‍ර :මෙම වසරේ සැප්තැම්බරයේ පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිලය න්‍යාය පත්‍රය ශ්‍රී ලංකාව නොමැති වේද?

ප : නැහැ. එළඹෙන සැප්තැම්බරයේ දී ඔවුන්ගේ න්‍යාය පත්‍රයේ ශ්‍රී ලංකාව නොතිබෙනු ඇත. අපි ආපසු ඊට ඇතුළත්වන්නේ මාර්තුවලදී

ප්‍ර  : විදේශ රටවල වෙසෙන එල්.ටී.ටී.ඊ. හිතවාදී කණ්ඩායම්වලට, සමහර අන්තවාදී පිරිස් වලට පවා මෙහි සිදුවන පරිවර්තනය දැක බලා ගැනීමට අප රටට පැමිණෙන ලෙස ඔබ ආරාධනා කර තිබෙන බව පැවසුවාද?

පි : මම වසරක් මුළුල්ලේ ඩයස්පෝරාවේ විවිධ කොටස් හමුවෙමින් සිටිමි. ඇත්ත වශයෙන්ම, එය උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභාවේ එක් නිර්දේශයක් වෙයි. 1983 කැරැල්ලෙන් පසුව ආණ්ඩුව විවිධ හේතූන් මත රට හැර යාමට සිදු වූ අතිශයින් කුසලතා පූර්ණ සහ උගත් වෘත්තිකයෝ බොහෝමයක් සිටිති.

ඔවුන් දැන් ඔවුන් ජීවත්වන රටවල වගකිව යුතු පුරවැසියන් බවට පත්ව සිටිති. සංවර්ධන ක්‍රියාවලියට සහභාගිවීම සඳහා ඔවුන් ආපසු පැමිණීම මගින් රටට නියෝජනයක් අත්වනු ඇත. නියෝජ්‍ය අමාත්‍යවරුන්, නගරාධිපතිවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පොප් ගායකයන්, ලේඛකයන්, චිත්‍රපටි නිශ්පාදකයන් හා විශිෂ්ට ගණයේ වෛද්‍ය වෘත්තිකයන් අප සතු වෙයි. රජය දෙමළ ඩයස්පෝරාව පමණක් අමතමින් සිටින බවට වැරදි අවබෝධයක් ඇති කර නොගත යුතුය.

ප්‍ර : රජය ඩයස්පෝරා උළෙලක් පැවැත්වීමට සැළසුම් කරමින් සිටින බව ඔබ පැවසුවා නේද?

පි : ඔව්. උත්කර්ෂවත් උළෙලක්. කළින්, මම මෙය මෙම වසර අවසානයේ දී පැවැත්වීමට සැලසුම් කරමින් සිටියෙමි. එහි තේමාව වනුයේ “ශ්‍රී ලංකා නිජ බිමට පැමිණීම” ශ්‍රී ලාංකිකයන්ගේ දෙවැනි හා තෙවැනි පරම්පරාව කෙරෙහි අපි අවධානය යොමු කරන්නෙමු. නමුත්, එය අපි බලාපොරොත්තුවනවාට වඩා විශාල කාර්යක් වන බව මට ක්ෂණයකින් අවබෝධ විය. එහෙයින්, ශ්‍රී ලංකාවේ 70 වැනි නිදහස් දින සංවත්සර සැමරුම්වල කොටසක් ලෙස 2018 වසරේ දී මෙම උළෙල පැවැත්වීමට අපි සැලසුම් කරමින් සිටින්නෙමු.

ප්‍ර : අග්‍රාමාත්‍යතුමා ජුලි 18 හා 19 යන දිනවලදී සිංගප්පූරුවේ පැවැත්වෙන දකුණු ආසියා ඩයස්පෝරා සම්මුති සමුළුව ඇමතීමට නියමිතය. එහි දී, මෙම කරුණු මතුකරනු ලබයිද?

පි : ඔව්. මම ද ඊට සහභාගී වන්නෙමි.

ප්‍ර : නොබෝ දිනකින් ජපාන ආරක්ෂක අමාත්‍යවරයා සහ රුසියානු විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ
නියැලෙන සංචාරවල වැදගත්කම කුමක්ද?

පි : ශ්‍රී ලංකාව ලෝකයේ සියළුම රටවල විශ්වාසය දිනාගෙන ඇති බව එමගින් පෙන්නුම් කරයි. අපි
අපගේ යෝධ අසල්වැසි රටවල් වන ඉන්දියාව සහ චීනය සමග සබඳතා යළි ස්ථාපනය කර ඇත්තෙමු. බටහිර රටවල් සමඟ අප පවත්වාගෙන යන සබඳතා යම් විශිෂ්ට මට්ටමක් කරා ගෙන ගොස් ඇත්තෙමු. තමා විසින්ම හුදෙකලා වීමෙන් සහ අපගේ සම්ප්‍රදායානුකූල මිතුරන් සතුරන් බවට පත්කර ගැනීමෙන් බැහැරවෙමින් සිටින්නෙමු. අපි ප්‍රථම වතාවට එක්සත් ජනපදය සමඟ නිල හවුල්කාරීත්ව සංවාදයක් ඇති කරගෙන තිබේ.

යුරෝපා සංගමය විසින් පනවා තිබූ මතස්‍ය තහනම ඉවත්කර ඇති අතර ඉදිරියේ දී ජී.එස්.පී + වෙළඳ සහනය නැවත ලබාගැනීම සඳහා ද මේවන විට කටයුතු කරමින් සිටියි.

අපි ජපානය සමගත්, චීනය සමගත් විශාල ලෙස නැවත සබඳතා ගොඩනඟාගෙන ඇත්තෙමු. සති තුනක කාල සීමාවක් ඇතුළත ලෝකයේ ප්‍රධාන රටවල් වන චීනයේ,ජපානයේ සහ රුසියාවේ අමාත්‍යවරු මෙහි පැමිණීම ශ්‍රී ලංකාවට ලබා දී ඇති වැදගත්කම පෙන්වන්නකි. කැනඩාවේ විදේශ අමාත්‍යවරයා ද නුදුරු දිනයක දී මෙහි පැමිණීමට නියමිතය.

ප්‍ර : නමුත් ඒකාබද්ධ විපක්ෂය ලබාදෙන්නේ වෙනත් අර්ථකථනයකි. මෙම සංචාරයන් , ජාත්‍යන්තර
ප්‍රජාවගෙන් ශ්‍රී ලංකාවට එල්ලවන දැඩි පීඩනය පිළිබිඹු කෙරෙන සාධකයක් බව ඔවුන්ගේ අදහසයි.

පි : ඒකාබද්ධ විපක්ෂය යනු කුමක් ද? විවිධ පක්ෂ නියෝජනය කරන, දේශපාලනික වශයෙන් වාසි ලබාගැනීමේ පටු අරමුණෙන් යුතුව කටයුතු කරන විවිධාකාර පුද්ගලයන්ගෙන් සමන්විත කණ්ඩායමකි. වීදුරු කාමරවල සිටිමින් තමාගේ ලෝකය යනු සිය වීදුරු කාමරය පමණක් යයි සිතන කණ්ඩායමකි. නමුත් ප්‍රථම වතාවට, ශ්‍රී ලංකාව සෙසු ලෝකය සමඟ ඉදිරියට ඇදෙමින් සිටී. අතීතයේ ඉබන් බතූතා, මාර්කෝ පෝලෝ, රොබර්ට් නොක්ස් සහ ජෝර්ජ් බර්නාර්ඩ් ෂෝ යනාදීන් මෙහි පැමිණි කාලයේ සිටම ශ්‍රී ලංකාව තුළ විදේශීය අමුත්තන් පිළිගැනීමේ සාම්ප්‍රදාය පැවති බව ඔවුන්ට අමතක වී තිබේ.

ප්‍ර : ශ්‍රී ලංකාවේ සංවර්ධන පාර්ශ්වකරුවෙකු ලෙස චීනය දක්වන ආධිපත්‍යය සම්බන්ධයෙන් ඉන්දියාව
සැළකිලිමත් වී සිටියි. එම තත්ත්වය සමහන් කිරීමට රජයට හැකි වී තිබේ ද?

පි : ශ්‍රී ලංකාව එක් එක් රටවල් සමඟ පවත්වාගෙන යන සබඳතා පිළිබඳව සැළකිල්ලෙන් සිටින බවට ඉන්දියාවවත්, චීනයවත් ප්‍රකාශකර නැත. අපගේ විදේශ ප්‍රතිපත්තිය එක් දිශාවකට පමණක් බර වූවක් නොවේ. 2030 වන විට ලෝකයේ විශාලතම ආර්ථිකයන් දෙක බවට පත්වන රටවල් දෙක අපගේ අසල්වැසියන් බවට පත් වී සිටීම අප ලැබූ භාග්‍යයකි. අනාගතයේ ඇති වෙතැයි අපේක්ෂා කරන සුවිශාල ආර්ථික ප්‍රබෝධය තුළින් වාසි ලබා ගැනීමට ශ්‍රී ලංකාවට ද හැකි වනු ඇත. අපගේ ජනතාවගේ යහපත උදෙසා මෙම තුලිත සහ විවෘත විදේශ ප්‍රතිපත්තිය අපි ඉදිරියටත් අඛණ්ඩව අනුගමනය කරන්නෙමු.

– මංජුලා ප්‍රනාන්දු විසිනි. –
www.lankadaily.com