මානසික සුව සහනය වෙනුවෙන් මැටි කර්මාන්ත ආශ්‍රිත වැඩමුළුවක්.

0
339

දහසකුත් ප්‍රශ්න සහ ගැටලු මැද හෙම්බත් වූ විඩාබර මනසට අස්වැසිල්ලක් , නිදහසක් සහ සුව සහනයක් ලබා දීමේ අරමුණින් සංවිධානය කෙරුණු මැටිකර්මාන්තය ආශ්‍රිත වැඩමුළුවක් පසුගියදා මීගමුව, බන්දුල පේන්සෙන්ටර්, උඩුමහලේ පිහිටි නව රංග ශාලාවේදී පැවැත්විණි. මේ සඳහා ඉන්දියාව ,පාකිස්ථානය බංගලාදේශය, නේපාලය සහ භූතානය ඇතුළු සාක් කලාපීය රටවල විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන් පිරිසක් සහභාගි වූහ. 27 දෙනෙකුගෙන් පමණ සමන්විත මෙම විදෙස් විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් පිරිසට එදින මෙම වැඩමුළුව තුළින් ඉපැරණි ශ්‍රී ලාංකික මැටි කර්මාන්තය ආශ්‍රිත නිපැයුම් පිළිබඳව විශේෂ දේශන කීපයකට සහභාගි වීමට අවස්ථාව හිමි විය. එමෙන්ම ප්‍රායෝගික ක්‍රියාකාරකම් කිරීමටද මෙහිදී අවස්ථාව සලසා දී තිබුණ අතර මෙහි ප්‍රධාන දේශනය සිදු කරන ලද්දේ කැලණිය විශ්ව විද්‍යාලයේ මෝස්තර සම්පාදක කථිකාචාර්වරයෙක් වන දීප්ති බණ්ඩාර මහතා විසිනි. එමෙන්ම ඔහුගේ ශිෂ්‍යයෙක් වන රජයේ කර්මාන්ත උපදේශකවරයෙක් වශයෙන් කටයුතු කරන ලාල් ශ්‍රී වික්‍රමතිලක මහතා ද මෙම වැඩමුළුවේදී විශේෂ දේශනයක් සිදු කරන ලදී. මේ වැඩමුළුවේ විශේෂත්වය වූයේ වැඩමුළුව සඳහා සහභාගි වූ සියඵ විදේශ විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන්ට තම මානසික සුව සහනය සහ මානසික ඒකාග්‍රතාවය යහපත්ව පවත්වා ගනිමින් තම මනසේ ඇඳෙන මැටියෙන් තනන, මැටියෙන් අඹන විසිතුරු භාණ්ඩයන් නිර්මාණය කිරීමට අවස්ථාවක් ඇතිකරලීමයි