මැතිවරණ නිරික්ෂණ කණ්ඩායම් වලින් ඒකාබද්ධ නිවේදනයක් ….

0
346
ballot boxනීතිය සියතට ගෙන දේශපාලන විරුද්ධවාදීන්ට හිංසා කිරීමෙන් තම තමන්ගේ පක්ෂ සාමාජිකයින් වලක්වා ගැනීම සෑම දේශපාලන පක්ෂයකම වගකීමකි:
ජනාධිපතිවරණය පිළිබඳව මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල ඒකාබද්ධ ප්‍රකාශනය
ජනවාරි 08 වන දා ශ්‍රී ලාංකික මහජනතාව සමූහයක් වශයෙන් තම අදහස් හඬ නගා ප්‍රකාශ කරන දිනයයි. ඒ වැදගත් අවසථාවේදී මෙතෙක් විවිධ අයුරින් හඬ නැගූ අන් සියළු පාර්ශ්වයන් නිහඬ විය යුතුය. ඒ ජනතාවට නිදහසේ තීරණය ගැනීමට අවස්ථාව සැලසීම පිණිසය.
පසුගිය දුෂ්කර සමය තුළ විවිධ තර්ජන මැද්දේ තම හඬ අවදි කළ සිවිල් සමාජ සංවිධාන ක්‍රියාධරයන් හෙවත් එන් ජී ඕ කාරයන් මැතිවරණ සමය තුළ නිහඬ විය. එසේ කරන ලද්දේ වේදිකාව දේශපාලන ක්‍රියාධරයන්ට භාරදී තම සාම්ප්‍රදායික භූමිකාවට පණ පෙවීම පිණිසය. ලංකාවේ ක්‍රියාත්මක වන ප්‍රධාන පෙළේ සිවිල් සමාජ සංවිධාන සහ ක්‍රියාධරයන් රාශියක් ජනාධිපතිවරණය නිදහස්ව සහ සාධාරණව පවත්වා ගැනීම සහතික කිරීම පිණිස මැතිවරණ නිරීක්ෂණ කටයුතුවලට සහභාගී වෙති.
පුරවැසි නිරීක්ෂණ සංවිධාන විසින් මුළු දිවයිනම ආවරණය වන පරිදි නිරීක්ෂකයන් යොදවා තිබේ. පැෆරල් සහ සී එම් ඊ වී ස්ංවිධාන වලට ඡන්ද පොළ ඇතුළේ ස්ථිතික නිරීක්ෂණ කටයුතු සන්දහා නිරීක්ෂකයන් යොදවා ඇති අතර සියළුම නිරීක්ෂණ සංවිධාන ජංගම නිරීක්ෂණ ඒකක යොදවා ඇත. ඉතිහාසයේ ප්‍රථම වතාවට ඡන්ද ගණන් කිරීමේ ශාලා සහ පරිශ්‍ර නිරීක්ෂණය සඳහාද දේශීය නිරීක්ෂකයන් 300ක් යෙදවීමට දේශීය නිරීක්ෂණ සංවිධාන වෙත මැතිවරණ කොමසාරිස්වරයාගේ අවසරය ලැබී ඇත.
ලංකාවේ ක්‍රියාත්මකවන ප්‍රධාන පෙළේ මැතිවරණ නිරීක්ෂණ සංවිධාන විසින් ජනාධිපතිවරණයේ අවසන් අදියරේදී එනම් ජනවාරි 07 වනදා ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කිරීමට කටයුතු කරන ලද්දේය. නිදහස් සහ සාධාරණ මැතිවරණයක් සඳහා ජනතා ක්‍රියාකාරිත්වයේ (පැෆරල් ) විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි, මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ (සී එම් ඊ වී ) කැඳවුම්කරු ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු, නිදහස් සහ සාධාරණ මැතිවරණයක් සඳහා ජනතා ව්‍යාපාරයේ (කැෆේ ) විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන්, නිදහස් සාධාරණ මැතිවරණ සඳහා ව්‍යාපාරයේ (එම් එෆ් එෆ් ඊ ) ලේකම් නීතිඥ සුදර්ශන ගුණවර්ධන, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ (ටී අයි එස් එල් ) විධායක විධායක අධ්‍යක්ෂ එස්. රනුග්ගේ සහ ලක්බිමේ මවුවරු සහ දියණියෝ (එම් ඩී එල් ) සංවිධානයේ කැඳවුම්කාරියන් වන ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු සහ දයා හේරත් යන සිවිල් සමාජ සංවිධාන නායක නායිකාවන් මේ නිවේදනයට අත්සන් තබා ඇත.
එම ඒකාබද්ධ නිවේදනය පහත පළවේ.
අතිශය උණුසුම් තර`ගයක් ලෙස පැවැති ජනාධිපති මැතිවරණ සටනේ අවසාන හෝරා කිහිපය උදා වී තිබේ. 2015 ජනවාරි 05 වන දා මධ්‍යම රාත‍්‍රී 12. 00 න් පසු සියලුම දේශපාලන පක්ෂ ස්වකීය ජනාධිපතිවරණ ප‍්‍රචාරක කටයුතු නතර කළ යුතු විය. ඒ අනුව මැතිවරණයට ඉදිරිපත් වන ප‍්‍රධාන දේශපාලන පක්ෂ තම තමන්ගේ අවසාන මහජන රැුළි 05 වන දා පවත්වා අවසන් කළේය. ප‍්‍රචාරණය ස`දහා අනුමැතිය දී තිබූ කාලය තුළ දේශපාලන පක්ෂ ඉදිරිපත් කළ අදහස් සලකා බලා අවසාන තීරණය ගැනීම ස`දහා මහජනතාවට හෝරා කිහිපයක් ඉතිරි වී ඇත. ජනතාවගේ නිදහස් කැමැත්ත ප‍්‍රජාතාන්ත‍්‍රික ලෙස ප‍්‍රකාශ වීමට නම් ස්වකීය තීරණය නිදහසේ ගැනීම ස`දහා මහජනයාට අවකාශ තිබිය යුතුය. එවැනි අවකාශයක් සහතික කිරීම සදහා ආණ්ඩුව, විරුද්ධ පක්ෂ බලවේග සහ රජයේ ආයතන – විශේෂයෙන්ම මැතිවරණ කොමසාරිස් කාර්යාලය සහ පොලිස් සේවය නිදහස්ව ක‍්‍රියා කළ හැකි තත්වයක සිටිය යුතුය.
එම නිදහස් හා සාධාරණ වටපිටාවට බාධාකාරී විය හැකි අවදානම් කිහිපයක් අනුමාන කළ හැක. මේ අවදානම් වලක්වා ගැනීමට ඉහත කී ආයතන වගකීම් සහගතව ක‍්‍රියා කළ යුතුව තිබේ.
1* ප‍්‍රචණ්ඩ ක‍්‍රියා වල පැතිරී යාමක් නිසා ජනතාවට නිදහස්ව ඡුන්දය භාවිතා කිරීමේ අවස්ථාව අහිමි විය හැක. ඉලක්ක කළ ප‍්‍රදේශ වල ඡුන්දදායකයින්ගේ ජාතික හැඳුනුම්පත් බලහත්කාරයෙන් උදුරා ගැනීම ආදී නීති විරෝධී කටයුතු මගින් ජනතාව ඡුන්දය භාවිතා කිරීම වැලැක්වීමට ඇතැම් පිරිස් කටයුතු කළ හැක. මෙය වලක්වාගත යුතු තත්වයකි.
2* ඉලක්ක කළ ඡුන්ද මධ්‍යස්ථාන, ගණන් කිරීමේ මධ්‍යස්ථාන සහ ගණන් කිරීමේ නිලධාරීන්ට එරෙහි අයුතු බලපෑම් සිදුවිය හැක. ප්‍රචණ්ඩත්වය යොදාගෙන ඡුන්ද මධ්‍යස්ථාන නියෝජිතයින් ඡුන්ද මධ්‍යස්ථානවලින් පලවා හැරීම ද මීට අයත්ය. මෙවැනි ක්‍රියා ඡුන්ද ප්‍රතිඵල ශුන්‍ය වීමට හේතු විය හැක.
3* ජනතාවට නිදහස්ව ඡුන්ද අයිතිය භාවිතා කිරීමට නොහැකි වන ලෙස මැතිවරණ දිනයේ සන්නද්ධ හමුදා ප්‍රසිද්ධියේ පෙනී සිටීම ද අයථා බලපෑමකි. විශේෂයෙන්ම උතුරු නැගෙනහිර පළාත් වලට අදාළව මෙය සිදුවිය හැක. මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වැලැක්වීමට පොලිසිය ප්‍රමාණවත් නොවන්නේ නම් හමුදාව කැඳවීමේ බලය මැතිවරණ කොමසාරිස්වරයාට තිබේ. ඔහු එම බලය යොදාගන්නේ නම් හැර අන් කවර හෝ තත්වයක් යටතේ මැතිවරණ දිනයේ හමුදාව අනවශ්‍ය ලෙස පෙනී සිටීම නතර කළ යුත්තකි. හමුදාව එලෙස හැසිරෙන තත්වයක් යනු ඡුන්දදායකයාගේ ස්වාධීනත්වයට බාධාකාරී විය හැකි වක්‍ර මැතිවරණ අවභාවිතාවකි.
4* මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් කළ යුතු දිනයෙන් පසු දේශපාලන පක්ෂ පෞද්ගලික හා රාජ්‍ය ජනමාධ්‍ය යොදාගෙන තවදුරටත් ප්‍රචාරක කටයුතු කිරීම නතර කළ යුතුය. විශාල වශයෙන් මුදල් වියදම් කොට ජනමතයක් ‘නිර්මාණය’ කිරීමේ හැකියාව මැතිවරණ ප්‍රචාරක දැන්වීම් සතුව තිබේ. තරඟකාරී මැතිවරණ සංස්කෘතියක් තුල විවිධ ප්‍රචාරක කටයුතු දෙස ඡුන්ද අපේක්ෂකයින් යොමුවීම වැලැක්වීමට ද නොහැක. එහෙත් මැතිවරණ දිනට පෙර යම් කාලයක් ප්‍රචාරක කටයුතු තහනම් කරනු ලබන්නේ ඡන්ද අපේක්ෂකයින්ගේ එම හැසිරීම යම් ප‍්‍රමාණයකින් සීමාකොට නිදහස්ව සිතීමට මහජනයාට අවස්ථාවක් ලබා දෙනු පිණිසය. එහෙත් අවාසනාවකට මෙන් අප අත්දුටු පසුගිය මැතිවරණ ගණනාවක දී මෙම තහනම නිසි ලෙස ක්‍රියාත්මක වූයේ නැත. මාධ්‍ය වල ප්‍රදර්ශනය වෙන සෘජු දැන්වීම් වලට අමතරව විවිධ වැඩසටහන් නිෂ්පාදනය කොට වක්‍ර ලෙස මැතිවරණ ප්‍රචාරණයේ යෙදෙනු ඒ අනුව දැකගත හැකි විය. රජය ඒ සඳහා මහජන මුදලින් නඩත්තු කෙරෙන රජයේ ජනමාධ්‍ය යොදාගන්නා අතර වෙනත් දේශපාලන පක්ෂ සඳහා ඒ අවකාශය විවෘත නැත. මෙය අසමාන තරගයක් සඳහා හේතු වන්නකි. මැතිවරණ ප්‍රචාරක නීති එලෙස කඩවීම වැලැක්වීම නිදහස් මැතිවරණයක් සඳහා අත්‍යවශ්‍ය තත්වයකි.
5* පොදු දේපළ, මහජන මුදල්, රජයේ සේවකයින්, රජයේ ගොඩනැගිලි, රජයේ ජනමාධ්‍ය ආදිය මහා පරිමාණයෙන් අවභාවිතා කිරීම යනු සිදුවිය හැකි තවත් අවදානමකි. විධායක බලය සහිත ජනාධිපතිවරයා මැතිවරණයට සහභාගී වන එක් අපේක්ෂකයෙක් වී තිබෙන තත්වයක් තුළ රජයේ සම්පත් ස්වකීය පුද්ගලික ප්‍රචාරක කටයුතු සඳහා යොදාගැනීමේ නෛසර්ගික හැකියාවක් ඔහුට තිබේ. පොදු සම්පත් එලෙස පුද්ගලික ව්‍යාපෘතියකට යොදාගැනීම ආචාරධාර්මික වශයෙන් නිවැරදි නොවන්නා සේම නිදහස් හා සාධාරණ මැතිවරණයකට අදාළව අයෝග්‍ය තත්වයකි.
අවසාන වශයෙන් සියලූම පාර්ශවයන් මැතිවරණයෙන් පසු ප්‍රචණ්ඩ ක්‍රියා ඇතිවීම වැලැක්වීම කෙරෙහි වගකීම් සහගතව ක්‍රියා කළ යුතුය. තියුණු තරගයක් වී තිබෙන ජනාධිපතිවරණය සියලූම දේශපාලන පක්ෂ වල ආධාරකරුවන් තුළ ඉමහත් හැඟීම්බර තත්වයක් ජනනය කිරීමෙහිලා හේතු වී තිබේ. මෙය පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා ලෙස පුපුරා යාමේ අවදානමක් තිබේ. මැතිවරණ යනු ප්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක් පාලනය කරන ජනතා නියෝජිතයින් සාමකාමීව තෝරා ගැනීම සඳහා යොදාගන්නා ශිෂ්ට සම්පන්න ක්‍රමවේදයක් මිස ගෝත‍්‍රික බල අරගලයක් නොවේ. ජනතාවගේ කැමැත්තට හිස නැමීම සියලූම දේශපාලන පක්ෂ වල වගකීමය. පූර්ව මැතිවරණ ප්‍රරචණ්ඩ ක්‍රියා විශාල පප්‍රමාණයක් මෙම මැතිවරණය තුළ වාර්තා විය. මරණ කිසිවක් වාර්තා නොවූවත් මහජනයා ඉදිරියේ සිදුකළ හිංසාකාරී ක්‍රියා ගණනාවක් මැතිවරණයට පෙර සිදුවිය. මැතිවරණයට පසුවත් එවැනි ක‍්‍රියා සංවිධානාත්මකව හෝ සාංසිද්ධිකව හටගැනීම කවර තත්වයක් යටතේ හෝ වලක්වා ගත යුතුව තිබේ. නීතිය සියතට ගෙන දේශපාලන විරුද්ධවාදීන්ට හිංසා කිරීමෙන් තම තමන්ගේ පක්ෂ සාමාජිකයින් වලක්වා ගැනීම සෑම දේශපාලන පක්ෂයකම වගකීමකි. පූර්ව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිදහස් හා සාධාරණ මැතිවරණයකට බාධාකාරී වන්නේ යම් සේද පශ්චාත් මැතිවරණ ප‍්‍රචණ්ඩකාරීත්වය නිදහස් හා ප්‍රජාතාන්ත‍්‍රික සමාජයක පැවැත්මට බාධාකාරී වන්නේය.
ඉහත කී තත්වයන් මනාව වටහා ගෙන ඒවා වලක්වා ගැනීම සඳහා ක්‍රියාකිරීම මේ මොහොතේ අත්‍යවශ්‍ය කටයුත්තක්ව පවතී. කවර දේශපාලන මතයක් දැරුවත් ඒ දේශපාලන මත නිදහසේ ප්‍රකාශ වීම සඳහා අවශ්‍ය පප්‍රජාතාන්ත්‍රික වටපිටාව නිරවුල්ව පවත්වාගැනීම සියලූ පුරවැසියන්ගේ වගකීමය. නිදහස් හා සාධාරණ සමාජයක නාමයෙන් යුක්තිසහගත මැතිවරණයක් පැවැත්වීම සඳහා සියලූම ආකාරයේ මැතිවරණ අවභාවිතාවන්ට එරෙහිව කල්පනාකාරීව පෙලගැසීමට මෙරට පුරවැසියන්, පුරවැසි සංවිධාන, රාජ්‍ය ආයතන සහ නිලධාරීන් ක්‍රියා කළ යුතු යැයි ඉල්ලා සිටිය යුත්තේ ඒ නිසාය.