මෑන් පවර් සේවක සේවිකාවන්ගේ ප්‍රශ්න ගැටළු වලට නිසි විසඳුම් නැද්ද ?

0
202

රැකියා ඒජන්ත ආයතන හරහා වෙළඳ කලාප කර්මාන්ත ශාලාවල රැකියා සඳහා යොමු කර ඇති සේවක සේවිකාවන් හෙවත් මෑන් පවර් ( Man Power) සේවක සේවිකාවන් මුහුණ දෙන ප්‍රශ්න ,ගැටළු , දුෂ්කරතා පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද (2024/11/10) දින දහවලදී පැවැත්විණි.
කටුනායක සහ බියගම ආයෝජන වෙළඳ කලාප වල ඇති ඇඟලුම් කර්මාන්තශාලා ඇතුළු වෙනත් කර්මාන්ත ශාලා තුළ මෙලෙස සේවය කරන මෑන් පවර් සේවක සේවිකාවන් දැනට වසර ගණනාවක සිට මුහුණ දෙන ප්‍රශ්න ගැටළු දුෂ්කරතා පිළිබඳව රජයේ බලධාරීන් ඇතුළු වගකිවයුත්තන් දැනුවත් කිරීම සඳහා මෙම මාධ්‍ය හමුව අද දින කටුනායක, සමූපාකාර රැස්වීම් ශාලාවේදී පැවැත්විණි. ශ්‍රමාභිමානී කේන්ද්‍රය විසින් මෙම මාධ්‍ය හමුව සංවිධානය කර තිබිණි.   මෙම මාධ්‍ය හමුවූ සඳහා ශ්‍රමාභිමානී කේන්ද්‍රයේ ගරු සරත් ඉද්ද මල්ගොඩ පියතුමා ඇතුළු කටුනායක සහ බියගම වෙළඳ කලාපයන් හී සේවය කරන  මෑන් පවර් සේවක සේවිකාවන් විශාල පිරිසක්ද සහභාගි වුහ.

මෙම අවස්ථාවට සහභාගී වු සේවිකාවන් දැක්වූ අදහස්

මෙම මධ්‍ය හමුවේදී  පළමුවෙන්ම අදහස් දැක්වූයේ අචලා රන්ජනී මහත්මියයි. ඇය සිය අදහස් දැක්වීමේදී වැඩි වශයෙන්ම අවධානයට ලක් කළේ මෑන් පවර් සේවක සේවිකාවන්   බොහෝ දෙනෙක්  මුහුණ දෙන වාසස්ථාන ගැටළුව පිළිබඳවයි.

            රන්ජනී මහත්මිය  කුලියාපිටිය ප්‍රදේශයේ සිට කටුනායක වෙළඳ කලාපයේ රැකියාවකට පැමිණ ඇත්තේ වසර 30 ක පමණ ඉහතදීයි.  අමාරුවෙන් රැකියාව කර ලබාගන්නා වැටුපෙන් මේ වන විට ජීවත් වීමට අමතරව බෝඩිං කාමරය සඳහා  වර්තමානයේ රුපියල් 15000 ක පමණ මුදලක් ගෙවීමට සිදුව තිබේ. සමහර විටක බෝඩිං කාමර ජීවිතයද කිසිදු පහසුකමක් නොමැති හෝ අවම  වශයෙන් මූලික පහසුකම් හෝ නොමැති  වූවකි. බොහෝ පිරිස් තමන්ගේ අඹු දරුවන් ද සමගින්  පවුල් පිටින් මේ බෝඩිං කාමර තුළ ජීවත් වෙති. ඇය වැඩිදුරටත් පවසන පරිදි  බෝඩිං කාමර තුළ  පවුල් පිටින් ජීවත් වනවිට පාසල් යවන වයසේ දරුවන්ව ප්‍රදේශයේ පාසලකට ඇතුළත් කිරීමට යාමේදී දැඩි දුෂ්කරතාවයකට මුහුණ දීමට සිදුවනු ඇත. ස්ථිර ලිපිනයක් නොමැති  නිසාවෙන් සහ බෝඩිං කාමරයේ ලිපිනය තමන් පදිංචි ස්ථිර ලිපිනය නොවන නිසාවෙන්ද දරුවන් පාසලකට ඇතුළත් කර ගැනීමේ ක්‍රියාවලිය අතිශය දුෂ්කර කාර්යයක් බවට පත්වී තිබේ. මෙහිදී ඇය පවසා සිටියේ පැවති රජයන් වලට ලිඛිතව හා  වාචිකව  මෙන්ම සමූහ ලෙස සංවිධානය වී කමිටු හා කණ්ඩායම්  වශයෙන්ද තමන් වැනි මෑන් පවර් සේවක සේවිකාවන්ගේ වාසස්ථාන ගැටලුව පිළිබඳව වගකිව යුතු බලධාරින්ව දැනුවත් කළද මෙතෙක් තමන්ට කිසිදු ආකාරයක සාධනීය විසඳුමක් නොලැබුනු බවයි. එහෙයින් ඇය ඉල්ලා සිටින්නේ බලයට පත්වී ඇති නව ආණ්ඩුවෙන් හෝ මෙම වාසස්ථාන ගැටළුවට ස්ථිරසාර විසඳුමක් ලබාදෙන ලෙසයි. ඇය එහිදී වැඩිදුරටත් පැවසුවේ මෙය ඔවුනට ලැබිය යුතු අයිතියක් ලෙස සලකා බලා හෝ  මෙම වාසස්ථාන ගැටලුවට නිසයාකාර විසඳුමක් ලබා දෙන ලෙසයි.
යාපනයේ සිට කටුනායක වෙළඳ කලාපයට රැකියා පිණිස පැමිණි  තවත් මෑන් පවර් සේවිකාවක් වු අනුෂා මහත්මිය සඳහන් කළේ තම සැමියාගේ පාදයක කොටසක් කපා දමා මේ වනවිට ආබාධිත තත්ත්වයෙන් පසුවන බවත් එලෙස රැකියාවක් කිරීමට නොහැකි වී සිටින තම සැමියාවද  එමෙන්ම තම සිඟිති දරුවාව ද රැකබලාගෙන පෝෂණය කිරීමට සිදුව ඇත්තේ තමන්ට බවයි.  තමන් ලබා ගන්නා  මාසික වැටුපෙන් බෝඩිං කාමර කුලිය ද ගෙවා,ජල හා විදුලි බිල් පත් ද ගෙවා දැමු පසු  ඉතිරි මුදලින් තමා හා තම සැමියාද තම සිඟිති දරුවාද ජීවත් කරවීම අතිශය දුෂ්කර කාර්‍යයක්  නිසා ඇය නව රජයේ වගකිව යුතු බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ තමාට සහ තම සැමියාටත් දරුවාටත් ජීවත්වීමට සුදුසු නිවසක් හෝ  ජීවත් වීමට නිවසක් තානාගන්නට ඉඩම් කොටසක් හෝ ලබාදීමට කටයුතු කරන ලෙසයි.
https://youtu.be/8ZS6oMy-kQI?t=3
 ශ්‍රමාභිමානී කේන්ද්‍රය විසින් අද පෙරවරුවේදී බියගම හා කටුනායක නිදහස් වෙළඳ කලාප තුළ සේවය කරන මෑන් පවර් සේවක සේවිකාවන්ගේ ප්‍රශ්න ගැටළු දුෂ්කරතා පිළිබඳව විශේෂ සාකච්ඡාවක්ද පවත්වා ඇති අතර ඊට සමගාමීව මෙම මාධ්‍ය හමුවද සංවිධානය කර තිබිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here