spot_img
spot_img
Wednesday, October 2, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
Home Stories මිගමුවෙන් රටට දායද කළ තවත් සුපිරි ක්‍රිකට් ක්‍රිඩකයෙක් නිෂාන් !

මිගමුවෙන් රටට දායද කළ තවත් සුපිරි ක්‍රිකට් ක්‍රිඩකයෙක් නිෂාන් !

0
72
මව, පියා, වැඩිමහල් සහෝදරයා. සහ බාල සහෝදරිය සමග

 

ගාල්ලේ පැවැති ශ්‍රී ලංකා නවසීලන්ත දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයෙන්  ශ්‍රී ලංකාවට ඓතිහාසික ජයක් ගෙන එන්නට පුරෝගාමී වූ ,ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක නිෂාන් පීරිස්, එම තරඟ ජයග්‍රහණයෙන් පසුව ඊයේ (2024/10/01) සචස සිය ගම් ප්‍රදේශය වන මීගමුව, මුන්නක්කරයට පැමිණියේය. එහිදී ඔහුට මුන්නක්කරේ තම ආදරණීය ජනතාවගෙන් හිමි වූයේ අසීමිත පිළිගැනීමකි. මීගමුව නගරයේ සිට, මුන්නක්කරේ ප්‍රදේශය දක්වා   විවෘත රථයක නංවා යතුරුපැදි සහ ත්‍රී රෝද රථ පෙරහරකින් ඔහුව සිය නිවස වෙත කැඳවාගෙන යන්නට මුන්නක්කරේ ජනතාව  කටයුතු කළහ. එහිදී මග දෙපස රැස්වූ ජනතාව ගිණිකෙලි දල්වමින්, සිංහ කොඩි ප්‍රදර්ශනය කරමින් මල් මාලා පළඳවමින් , ප්‍රීති ඝෝෂා සහ ඔල්වරසන් නගමින් ඔහුට සුබ පතන්නට එක්රොක් වූහ. ඔහුගේ නිවස ආසන්නයේ  ඇති මාර්ගයෙන් ගමන් කළ සියලුම දෙනාට කැවුම්,කිරිබත්  ඇතුළු කැවිලි සහ සිසිල් බීම ආදියෙන් සංග්‍රහ කරන්නටද  මුන්නක්කරේ ජනතාව කටයුතු කළහ. නිශාන් පීරිස් එදින තම ගම් පියසට පැමිණීමත් සමඟ මුළු මුන්නක්කරේ ප්‍රදේශයම  උත්සවශ්‍රීයක් ගෙන තිබෙනු දක්නට ලැබිණි.

167 වැනි ශ්‍රී ලාංකික ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා

මුන්නක්කරේ, සිරි කුරුස දේවස්ථානයේ සුරාජ් තෝමස් පියතුමා සුභ පැතු අවස්ථාව

මීගමුව, මුන්නක්කරේ ප්‍රදේශයේ පදිංචි වෘත්තියෙන් කාර්මිකයෙකු වූ සෙබස්තියන් නිහාල් පීරිස්  සහ නීලියා ශිරෝමි සිල්වා දෙපළගේ දෙවන දරුවා ලෙසින් 1997 වසරේ අගෝස්තු මස 11 වැනි දින මෙලොව එළිය දුටු කුරුකුලසූරිය නිෂාන් පීරිස් ට වැඩිමහල් සහෝදර⁣යෙකු සහ බාල සහෝදරියක් සිටී. ඔහුගේ වැඩිමහල් සහෝදරයා වන නිමන්ත පීරිස් ද දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකි. ඔහු මේ වන විට,  දළුවකොටුව ලොයෙලා විද්‍යාලයේ ක්‍රිකට් ක්‍රීඩා පුහුණුකරුවෙකු ලෙස සේවය කරයි.
නිශාන් පීරිස්, ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසෙන්නේ ඔහු බාලාංශයේ සිට උසස් පෙළ දක්වාම අධ්‍යාපනය හැදෑරූ මීගමුව,  සාන්ත පීතර විද්‍යාලයෙනි. එම විද්‍යාලයේ ක්‍රිකට් පුහුණුකරු වූ ගිහාන් සුදීප මහතාගේ විශේෂිත මඟ පෙන්වීම යටතේ ඔහු  දඟ පන්දු යැවීම ප්‍රගුණ කළේය. මීගමුව සාන්ත පීතර විද්‍යාලයේ වයස අවුරුදු 13 න් පහළ ක්‍රිකට් කණ්ඩායමට ඔහු ඇතුළත් වන විට නිෂාන්ගේ වයස අවුරුදු 08 ක් පමන විය.පාසලේ සියලුම වයස් කාණ්ඩ වල  ක්‍රිකට් කණ්ඩායම් නියෝජනය කළ නිශාන්  2004/2005 සමයේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස ඔහුගේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය. ඒ බෝපිටිය ලොයෙලා විද්‍යාලීය කණ්ඩායමට එරෙහිවය. එම තුන්දින තරඟයේදී ඔහු එක් ඉනිමකදී ලකුණු 09 ට කඩුලු 09ක් (09/09) ලබාගෙන පන්දු යැවීමෙන් දස්කම් දැක්වීය.ඉන්පසුව ඔහු 2017 වසරේදි පමණ රාගම ක්‍රිකට් ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කළ අතර එහිදීද තවත් දක්ෂ පුහුණුකරුවන්ගේ උපදෙස් අනුව දකුණතින් දඟපන්දු යැවීම තවත් හොඳින් ප්‍රගුණ කළේය.  මේ වන විට ඔහු මීගමුව ක්‍රිකට් සමාජය සමඟ එක් වී සිටී.  අන්තර් සමාජ ක්‍රිකට් ක්‍රීඩා තරංගවලදී ඔහු බදුරලිය ක්‍රීඩා සමාජයට එරෙහිව පැවති තුන්දින ක්‍රිකට් තරඟයේදී ඉනිම් 02 කේ දීම කඩුලු 16 ක් ලබාගන්නට සමත් විය. පසුව ඔහුව ශ්‍රී ලංකා 19 පහළ ජාතික කණ්ඩායම සඳහා තෝරා ගැනිණි.
2016 / 2017 දී පමන ශ්‍රී ලංකා ජාතික 19න් පහල ක්‍රිකට් කණ්ඩායම සහ  බංගලිදේශ 19න් පහල ක්‍රිකට් කණ්ඩායම අතර දඹුල්ලේ පැවති සිව් දින ටෙස්ට් ක්‍රිකට් තරඟයේදී  ඔහු පන්දු යැවීමෙන් කඩුලු 04 ක් ලබාගනිමින් දස්කම් දැක්වීය. ඉන්පසුව 2018 වසරේදි ඔහුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ටෙස්ට්  සංචිතය සඳහා කැඳවන ලදී.එහිදී ඔහුට හමුවූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය දඟපන්දු  පුහුණු කරු පියල් විජයතුංග මහතා නිෂාන්ගේ දකුණත් දඟ පන්දු යැවීම පිළිබඳව තවත්  විශේෂඥ දැනුම සහ පුහුණුව ලබාදීම මගින් ඔහුගේ දඟ පන්දු යැවීම වඩාත් ශක්තිමත් කලේය.ඒ අනුව නිමාවූ එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේදී ඔහුව ශ්‍රී ලංකා ටෙස්ඛණ්ඩායමට ඇතුලත් කරගත් අතර එහිදී ඔහුට ක්‍රීඩා කරන්නට අවස්ථාවක් උදා නොවීය. එලෙසම පසුගියදා නිමාව දුටු ටෙස්ට් තරග දෙකකින් සමන්විත වු නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේදී පළමු ටෙස්ට් තරඟය සඳහා ක්‍රීඩා කරන්නට ඔහුව කැඳවා තිබුණේ නැත. එහෙත් තරඟ දෙකකින් සමන්විත වූ එම තරගාවලියේ අවසාන තරඟය හෙවත් 02 වන  ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන්නෙක් ලෙස ක්‍රීඩා කිරීමට ඔහුට අවස්ථාව උදාවිය. ඒ අනුව මෙරට ටෙස්ට්  ක්‍රිකට් ඉතිහාසයේ 167  වැනි  ටෙස්ට් ක්‍රීඩකයා බවට පත්වන්නට ඔහුට   එහිදී භාග්‍ය උදා විය.
ඒ අනුව ඔහුට ක්‍රීඩා කරන්නට ලැබුණු සිය මංගල ටෙස්ට් තරඟයෙන්ම ඔහු සිය දකුණත් දඟපන්දුවෙන් කිව්යන් හෙවත් ප්‍රබල නවසීලන්ත පිතිකරුවන් මෙල්ල කරගන්නට සමත් විය. ඒ අනුව නවසීලන්ත පිලේ ප්‍රබල පිතිකරුවෙකු වු රචින් රවීන්ද්‍ර  කෙලින්ම කඩුල්ලට පන්දුව යැවීමෙන් ලකුණු 10 කට දවාගන්නට ඔහුට හැකි විය.
ඒ ඔහුගේ ටෙස්ට් ක්‍රිකට් දිවියේ පළමු මංගල කඩුල්ල විය. ඒ අනුව එම තරඟයේ පළමු ඉනිමේදී  පන්දු ඕවර 17.5 යවා ලකුණු 33 කට කඩුලු 03 ක් (17.5 — 33/03)  ලබා ගන්නට ඔහුට අවස්ථාව උදාවිය.
ඉන් පසුව දෙවන ඉනිමේදී ද පන්දු ඕවර 33.4 ක් පන්දු යැවීමෙන් ලකුණු 170 ක් ලබා දී නවසීලන්ත පිලේ ප්‍රබල පිතිකරුවන් ඇතුළු කඩුලු 06 ක් (33.4 — 170//06)  ලබාගන්නට සමත්කම් දැක්වීය.
මේ අනුව මෙම  ටෙස්ට් ක්‍රිකට් තරඟයේදී ඉනිම් 02 කේ දීම ඔහු සිය  දකුණත් දඟ පන්දු යැවීමෙන් නවසීලන්ත පිලේ  කඩුලු 09 ක්ම දවා ගැනීමට සමර්ථ විය. මේ විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ වාර්තා අතරට එක් වන්නටද  නිෂාන් අවස්ථාවක් උදා කර ගත්තේය. ඒ  දඟපන්දු යවන්නෙකු සිය මංගල ටෙස්ට් තරගයේදී එක් ඉනිමකදී කඩුලු 05 ක් දවාගනිමින් ඉනිම් 02 කේදීම කඩුලු 09 ක් ලබාගත් ශ්‍රී ලංකාවේ තුන්වෙනි ක්‍රීඩකයා බවට පත්වීමේ වාර්තාවයි.
අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩා විචාරකයන් පවා ප්‍රකාශ කළේ ඔහුගේ මෙම දකුණත් දඟ පන්දු යැවීම, විශිෂ්ඨ තත්ත්වයක පන්දු යැවීමක් බවයි. ඒ අනුව නිමාවූ නවසියන්ත, ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයෙන් ශ්‍රී ලංකාව ඉනිමකින් සහ ලකුණු 154 ක අති විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගත් අතර තරග 02 කින් සමන්විත වු එම ටෙස්ට්  තරගාවලියේම ජය ශ්‍රී ලංකා පිළට හිමි විය.වසර 15 කට පසු නවසීලන්ත පිලට එරෙහිව ශ්‍රී ලංකාව ටෙස්ට් තරඟාවලී ජයග්‍රහණයක් ලබාගත් අවස්ථාවද මෙය වු අතර මෙම තරගාවලිය එලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයට එක් විය.
එහි  ප්‍රබලම පන්දු යවන්නෙකු බවට පත්වීමට මීගමුව, මුන්නක්කරේන් ක්‍රිකට් ලොව ජයගත්  “”නිෂාන් පීරිස් “” ට හැකි විය.

ඉඩෝරයකට හසුවූ ශ්‍රී ලංකා ක්‍රිකට් යළි ක්‍රිකට් වසන්තයක් දක්වා ගෙන ඒමට නිෂාන් පීරිස් වැනි  තරුණ ක්‍රීඩකයන්ට හැකි වේ යැයි ක්‍රිකට් විශේෂඥ විචාරකයන් සේම අපද විශ්වාස කරන්නෙමු.  එම සුළුපටු නොවන කාරයයයේදී නිශාන් වැනි තරුණ ජවයෙන් හෙබි ක්‍රිකට් ක්‍රීඩකයන්ට අවැසි වන පහසුකම් සලසා දී ,එවැනි ක්‍රීඩකයන්ට වැඩි අවස්ථාවක් සැලසීම මෙරට වගකිවයුතු ක්‍රිකට්  බලධාරීන්ගේ වගකීමක් සහ යුතුකමක් ද වනු ඇත. මෙරට සමස්ථ පොදු  ජනතාවගේන් මෙන්ම විශේෂයෙන්ම ක්‍රිකට් ලෝලීන්ගෙන්  ඈත් වූ මෙරට  ක්‍රිකට් ක්‍රීඩාවට යළිත් සුන්දර වූ ක් වසන්තය මෙරට ක්‍රීකට් ලෝලීන්ට රැගෙන එන්නට නිෂාන් පීරිස් වැනි නවක සහ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයන්ට හැකි වේවා යැයි අපද මෙලෙස සුභ පැතුම් එක් කරමු .