මිගමුව වෙරළ තීරයේ අනවසර ඉදිකිරීම් ඉවත් කරන්න – මීගමුවේ හිටපු විපක්ෂ නායක

3
76
ජුලි 05 වනදා මීගමුව මහ නගර සභා රැස්වීම පැවති අතර එදින මීගමුව නගරයට වැදගත් වන මාතෘකා කීපයක් ආණ්ඩු පක්ෂයෙන් හා විපක්ෂයෙන් ඉදිරිපත් විය.  මීගමුව නගර සභාවට අයත් කඩොල්කැලේ ක‍්‍රීඩාංගනයේ හා  කාමච්චෝඩයට අයත් ක‍්‍රීඩාංගන වල නඩත්තු හා ආදායම් සම්බන්ධයෙන් ප‍්‍රශ්නාවලියක් ඉදිරිපත් කළ අතර  මීගමුව වෙරළ තීරයේ අනවසර ඉදිකිරීම් ඉවත්කිරීමට ද  අදාළ හේතු ඉදිරිපත් කරමින් විපක්ෂනායක රොයිස් විජිත පුනාන්දු විසින් යෝජනාවක් ඉදිරිපත් කළේය. එම යෝජනාව සම්බන්ධයෙන් නගර සභාවේ දී ඉදිරිපත් වු අදහස් පහත දැකවේ.

මීගමුව නගර සභාවේ හිටපු විපක්ෂ නායක රොයිස් විජිත ප‍්‍රනාන්දු - 

මීගමුවේ වෙරළ තීරයේ බොහෝ අනවසර ඉදිකිරීම් සිදුවෙනවා. මේවා ඉවත්කිරීම සදහායි මම මේ යෝජනාව ගෙනාවේ. මේ ඉදිකිරීම්  ඉදිකළාට පස්සේ ඒවට වරිපනම් අංක ලබාගන්නවා. විදුලි බලය හා ජල සම්බන්ධතා ත් ලබාගෙන තියෙනවා. මීපුර වෙරළ තීරය පහුගිය කාලේ පවුල් පිටින් ගිහින් වවේක සුවය විනෝද සුවය ලබන්ඩ පුලූවන් ස්ථානයක් වෙලා තිබුණා. අද එලෙස විවේක සුවය ලබන්නට අවස්ථාවක් නැහැ. කරවේල වේලනවා , අනවසර ගොඩනැගිලි ඉදිකරනවා. මීගමුව වෙරළ තීරයේ හෝටල් හිමියන් වෙරළට අයති කොටසෙන් භූමි ප‍්‍රමාණයක් ද අත්පත් කරගෙන තිබෙනවා. මේ නිසා මුහුදු වෙරළ ඛාදනයන් සිදුවෙනවා. මේ නිසා වෙරළට අයිති භූමි ප‍්‍රමාණයක් ක‍්‍රම ක‍්‍රමයෙන් අඩු වීගෙන යනවා. මෙය ජනතාවට විශාල ප‍්‍රශ්නයක් හා බාධාවක්. මේ අනවසර ඉදිකිරිම් ගැන සොයා බලන්න සිදුවෙනවා. කොච්චිකඬේ සිට පිටිපන දක්වා  වූ වෙරළ තීරයේ මෙලෙස අනවසර ඉදිකිරීම් බොහෝමයක් තිබෙනවා. එක්තරා පිරිසකට පමණක් මෙලෙස අනවසර ඉදිකිරීම් කරමින් වෙරළ භූමිය භූක්ති විඳීමට ඉඩ නොතැබිය යුතු බවයි විපක්ෂයේ මතය. ඒ නිසා එළඹෙන මහ සභා රැස්වීමේදී මෙලෙස අනවසර ඉදිකිරීම් කර ඇත්තේ කවුද කොපමණද යන්න ගැන සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මම ඉල්ලමි.

 මන්ත‍්‍රී සේපාල මොරවක මහතා - (එජනිස)
 මේ ඉන්නේ 16 වෙනි නගරාධිපතිවරයා. සෑම නගරාධිපති කෙනෙක්ගේම කාලේ අනවසර ඉදිකිරීම් සිදුවෙලා තිබෙනවා. රොයිස් මන්ත‍්‍රීතුමා දක්වා ඇත්තේ වෙරළ තීරයේ  අනවසර ඉදිකිරිම් ගැන පමණයි. නමුත් එය මුළු මීගමුව නගරයටම අදාළ වන ලෙස සංශෝධනය කරලා මීගමුව නගරයේම අනවරසර ඉදිකිරීම් පිළිබඳව ඇතුළත් කර යෝජනාව සංශෝධනය කර ඉදරිපත් කරන ලෙස නගරාධිපිතවරයා ඉල්ලීමක් කරනවා. නගරාධිපතිවරයා මේ වැරුද්ද තේරුම් අරගෙන තිබෙනවා. නගර සභාව කියන්නේ දේශපාලන ආයතනයක්. එක එක නගරාධිපතිවරුන්ගේ පාලන කාලයේ දේශපාලන හස්තය ඉදිරිපත්වී මෙවැනි ඉදිකිරීම් සිදුකර  තිබෙනවා. මැතිවරණ කාලෙදී තමන්ට උදව් කරන අය ඇවිල්ලා යමක් හදාගන්ඩ ඉල්ලා සිටිනවා. ඒක හරිද වැරදිද කියලා බලන්නේ නැතිව දේශපාලකයෝ ඔහේ හදා ගණින් කියලා කියනවා. කොච්චිකඬේ ඉදලා පටන් ගත්තොත් මීගමුවේ දක්වා වෙරළ තීරයේ බොහෝමයක්ම තියෙන්නේ අනවසර ඉදිකිරීම්. එහෙම නම් මේ සේරම කඩා දාන්ඩ  ඕනා. ඒක හරියට නොකෙරෙන වෙදකමට කෝදුරු තෙල් හත්පට්ටියකුයි තව ටිකකුයි  ඕනා කිව්වා වගේ වැඩක්. මේ වෙදකම කෙරෙන්නේ නෑ. කාලයක සිට මීගමුව බලප‍්‍රදේශයේ මේ කාරණය තියෙන දෙයක්. හොඳ නගරාධිපතිවරයෙක් සමබරව මෙවැනි කටයුතු කළ යුතුයි. මේ නගරය රම්‍ය නගරයක් විය යුතු බව ඇත්තයි. ගෝනි කඩ ලෑලි කඩ තහඩු මඩ ඉවත් කර මීගමු නගරය අලංකාර කළ යුතුයි. වර්ග කිලෝ මීටර 30.8ක් ඇති නගරයේ සියලූම,
අනවසර ඉදිකිරීම් ඉවත්කරන්න වෙනවා. එහෙම වුණොත් මිගමුව නගරය රම්‍ය නගරයක් බවට පත්වේවි.  මේ නගරාධිපතිවරයාටම මේකේ බර පටවන්න එපා. බොහෝ මන්ත‍්‍රීවරුත් මේවා දාගන්ඩ කියලා තියෙනවා. ලගදී පළාත්සභා ජන්දයකුත් එනවා.  

  ගිහාන් ප‍්‍රානාන්දු  - එක්සත් ජාතික පක්ෂය

සියයට සියයක් මේ වැඬේ අලූත් මට්ටමකින් කරන්න උත්සාහ ගන්න. මෙයට පෙර කාලයේ මේවා  කෙරුවේ නැහැ කියලා අපි නොකර ඉන්න  ඕනේ නැහැ.  අපවත් මේවා පටන් ගිනිමු. 

රොයිස් මන්ත‍්‍රීතුමා ගෙනාපු යෝජනාව ඉතාම හොඳ යෝජනාවක්.

එම්.එස්.එම් සකාවුල්ලා මහතා- නියෝජ්‍ය නගරාධිපති (එජනිස)

 අද අනවසර ඉදිකිරිීම් පමණක් නොවෛයි  නගරය තුළ ඇති ඉදිකිරීම් වලට නීති විරෝධී ලෙස අවසර දීම් සිදුකර තිබෙනවා. එලෙසම මීගමුව මහ නගර සභාවේ ඇතැම් නිලධාරින් ඉතා  අසාධාරණ ලෙස පැකේජ මට්ටමින් මුදල් අයකරමින් සීමාවන් පෙන්නමින් ඉතාම අයථා ලෙස මේ කටයුතු සිදුකරනවා. එබැවින් නිලධාරීන්ගේ අවනීතිය මත මීගමුව නගරය තුළ ඉදිවී ඇති ගොඩනැගිලි ගැනද මට සැකයක් උපදිනවා.

සුනිල් සිල්වා මහතා- (එජනිස)
ගෙයක් හදන්න මුදල් හොයනවට වැඩිය අමරුයි  ඒ සැලසුම මිගමුව මහ නගර සභාවෙන් අනුමත කරවා ගැනීම. එය කරදීමට මුදල් ලක්ෂ ගණන් ඉල්ලන නිලධාරීන් මීගමුව නගර සභාව තුළ සිටිනවා. කොච්චිකඬේ නගරය ඉතාම අප‍්‍රසන්නයි. තහඩු මඩ.ගෝනි කඩ, කඩ තැනින් තැන පිරිලා. මම නගරාධීපතිතුමාටත් මේ සම්බන්ධව පැහැදිලි කර තිබෙනවා. දේශපාලන භේදයකින් තොරව මේ අනවසර ඉදිකිරීම් ඉවත් කරන්නට කටයුතු කරමු.
ඉදිරියේදී ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීමේ බලයත් මගේ යටතට ගන්නවා. මීපුර හෝල් එක ලග වෙරළ ගැන නිතරම කතා කරනවා. වෙරළ සංරක්ෂණ අධිකාරියේ සහයෝගය දෙනවා නම් එය මහජනතාවට සුදුසු ලෙස ගැවසිමට හැකි ස්ථානයක් ලෙස සකසාදිය හැකියි. මම ලගදී වෙරළ තීරයේ ඉදිකිරීම් ගැන ලගදී බලන්ඩ ගියා.
පර්චස් 10ක් හිමි හෝටල් හිමියෝ තවත් පර්චස් 10ක් අල්ලාගෙන තියෙනවා මම දැක්කා.
අද සිදුවෙලා තියෙන්නේ ඔයාකාරයට. මේ සම්බන්ධව විපක්ෂය විසින් ගෙන ආ  යෝජනාවට සහයෝගය දි කටයුතු කරන්න උත්සාහ ගන්නවා.