මිනිස්සුන්ට කන්න බත්විකුණන්න කලින් බඩගින්නේ බලන් ඉන්න සත්තුන්ට බත් දෙන තැනක් ගැන සටහනක් !

0
39

Fan Tab මනුස්සකම
*********************

Image may contain: sky and outdoor
ඊයේ දවාලෙ කාර්‍යාලයෙන් බැහැරට ගියා රාජකාරි කටයුත්තකට.ඒ ගමන් ටිකක් දවල් වෙලා උනත් උදේ ආහාරය ගන්න හිතාගෙන කඩ කීපෙකට ගියත් කෑම ඉවර වෙලා.අවසානෙ ගියෙ ටවුන්හෝල් ලඟ Fan tab එකට.සේවකයො කෑම ගෙනත් විශාල භාජන වලට දමන ගමන් හිටියෙ.මං සුදු බත් පාර්සලයක් ඉල්ලුව.
විනාඩි 15 ක් ඉන්න මිස්..කැෂියර් කිව්ව.
ඇයි විනාඩි 15ක්..?ඉක්මනට දෙන්න බැරිද?ඔෆිස් යන්න පරක්කු වෙනව.මං කිව්ව.
තාම කෑම ලෑස්ති කරනව.ඒ කැෂියර්..

ඇයි එහෙම කියන්නෙ,මේ තියෙන්නෙ බත් එළවලු ඇති තරම්,මේ තියන ඒවයින් මට එළවලු 2ක් දෙන්න.ඒ හොඳටම ඇති.මං කිව්ව.

බෑ මිස් තරහ වෙන්න එපා.විනාඩි පහළවක් ඉන්නම වෙනව.තව ලෑස්ති කරන්න දේවල් තියනව.තරහ නැතුව මිස්ට පරක්කු නම් වෙන කඩයකට යන්න.කැෂියර් එහෙම කිව්වෙ බොහොම කරුණාවෙන්.

මට තේරෙන්නෙ නෑ මෙච්චර කෑම තියාගෙන තවත් මොනව ලෑස්ති කරනවද කියල.කස්ටර්මස්ල හරවල යැව්වම ඔයාලට පාඩු නැද්ද?

පාඩුයි තමයි මිස්.ඒත් කරන්න දෙයක් නෑ.මිස්ට කෑම ඕනෙම නම් තරහ නොවී චුට්ටක් වාඩි වෙලා ඉන්න.අපි මුලින්ම සත්තුන්ට කෑම දාල තමයි බිස්නස් පටන්ගන්නෙ.අපි කෑම දෙනකන් බලන් ඉන්න බල්ලො,කුරුල්ලො ගොඩක් වටේ ඉන්නව,උන්ට කෑම දාල,පූජාවත් තියල තමයි කස්ටමර්ස්ල ගැන බලන්නෙ.ඒක අපේ ප්‍රතිපත්තියක්.. කැෂියර් කලබලේ අතරම කැඩුණු සිංහලෙන් කරුණාවෙන් කිව්ව…

ආයෙ මොනව අහන්නද,හිතන්නද? මම නිහඬවම ගිහින් වාඩිවුණා. කැෂියර්ට සහයට එළියෙ බිල් නිකුත් කරන වයසක සේවකය මං ලගට ආව.රාජ්‍ය සේවයට එකතු වෙන්න කලින් වික්ටෝරියා උයන අද්දරම ඉදීකිරීම් ආයතනයක සේවය කරන කාලෙ නිතර ආහාර ගන්න ආ බැවින් ඔහුට මගෙ මුහුණ හුරුයි.”මිස් කාලෙකින්” කියමින් ඔහු සුහද සිනාවක් පෑව.

කෑම ටිකක් පරක්කුයි මිස්.අපි දවල් කෑමට ලෑස්ති කරන බත් ඉස්සෙල්ලම සත්තුන්ටත් වෙන්කරල, පූජාවනුත් තියල තමයි විකුණන්න පටන්ගන්නෙ.දැනට හදිසි නම් මිස්ට් උදේ හදපු තෝසෙ වඩේ දෙන්නම්.ඔහු කීව.

නෑ,එපා අංකල්,ටිකක් පරක්කු වුණාට කමක් නෑ ,මම ඉන්නම්.

පැය කාලක් පරක්කු වෙන බව කාර්‍යාලයට දැනුම් දීල මම වාඩිවෙලා බලන් උන්න.පළවෙනි කෑම එක අර වයසක සේවකය මට ගෙනත් දුන්නෙ දෝතින්.

මිස් ඔන්න පළවෙනි බිස්නස් එක අද මිස්ට..

බොහොම ස්තූතියි අංකල්, සතා සිව්පාවා ගැන මෙහෙම කරුණාවෙන් බලන ඔයාලගෙ ප්‍රතිපත්තිගරුක ව්‍යාපාරය දවසින් දවස දියුණු වේවා! මම එළියට එන ගමන් හදවතින්ම ප්‍රාර්ථනා කළා.

කිසිම ලෝබකමක් නැතුව බත් එළවලු මහ ගොඩක් පුරවල ඔවුන් මට දීල තිබුණු බත් එක තුන් දෙනෙකුට සෑහෙන තරම්.ඔවුන්ගෙ ආදර්ශයට එකතු වෙමින් වැඩිපුර කොටස දෙන්න කාර්යාලය අවට සත්තු හිටියෙ නැති නිසා අහක යන කෑම ගැන දුකෙන් උනත් කුණු කූඩෙට දැම්ම.

Fan tab ව්‍යාපාරයෙ මානුෂිකත්වය හදවතේ ගැඹුරෙම තැන්පත් වුණා.