මීගමුවට ප්‍රවාහන සැලැස්මක්

0
259

ලංකාවේ අනිකුත් සෑම නගරයකම මෙන් ම මීගමුව නගරයේත් ජනතාව පීඩාවට පත් කරන ප්‍රධානතම ගැටළු දෙකක් ඇත. එකක් පාරිසරික අපවිත්‍රතාව පදනම් වූ ගැටළුවයි. අනෙක වාහන තදබදය මුල් වූ ගැටළුයි. මේ ගැටළුවලට හේතු සළකා බලන විට ඒවා ලංකාව පුරා සියළු නගරවලට පොදු බව (අඩු වැඩි වශයෙන්) පෙනී යයි. එහෙත් පෙර අපර දෙදිග ලෝකයේ දියුණු රටවල නගරයන් හි එම අංශයන් එනම් පාරිසරික පවිත්‍රතාව සහ ප්‍රවාහනය යන ෙක‍ෂ්ත්‍ර අපේ රටේ මෙන් අවුල් තත්ත්වයක නොමැත.
මේ වෙනසට හේතුව සාමාජික, ආර්ථීක, අධ්‍යාපනික නෛතික යනාදී විවිධ පසුතලයන් මත බිහිවුණු ඉතාම සංකීර්ණ තත්ත්වයක් වුවත් මූලික වශයෙන්ම ඒවා පදනම් වන්නේ ආකල්ප හා චින්තන රටාවන්ගේ වෙනස්කම් මතය.
එනම් අපේ රටේ ඕනෑම කරුණක් අරභයා ප්‍රතිපත්ති සම්පාදකයන්, නීති සම්පාදකයන්, බලධාරීන්, නිලධාරීන් යනාදී වගකිවයුත්තන් සතුව ඇත්තේ සෘණාත්මක ප්‍රවේශයකි. සද්භාවයෙන් යුතුව වුවද ඕනෑම ගැටළුවකට, ප්‍රශ්නයකට විසදුම් ලෙස ඉදිරිපත් කෙරෙන්නේ නීති හෝ රෙගුලාසි පැනවීමයි.
ගැටළු හෝ ප්‍රශ්න ඇති වන්නේ මිනිසුන්ගේ සැබෑ අවශ්‍යතා නොසැපිරෙන විටයි. ගැටළු විසඳිමටනම් මිනිසුන්ගේ අවශ්‍යතා හදුනාගෙන ඒවා ඉටු කර ගත හැකි සංවර්ධනාත්මක ප්‍රවේශයක් අවශ්‍ය වේ.  එසේ නොවන තාක් කොපමණ නීති රීති පැනවූවත් ක්‍රියාත්මක වුවත් ප්‍රශ්න ගැටළු දිගින් දිගට වැඩි වෙනවා, සංකීර්ණ වෙනවා, අවුල් වෙනවා මිස විසදෙන්නේ නැත.
සෘණාත්මක ප්‍රවේශයන් නිතරම තහනම් හෝ වාරණ නීති ස්වරූපයෙන් එළි දැක් වේ. ඒවා ගැටළුවට හේතු හඳුනා ගැනීමට හෝ විසදුම් සැපයීමට හෝ අසමත් වන අතර ඒ වෙනුවට අලූත් ගැටළු ඇති කරයි.
එහෙත්  ධනාත්මක ප්‍රවේශයකදී සංවර්ධනාත්මක දෘෂ්ටිකෝණයකින් යුතුව අදාල ගැටළුවේ විවිධ පැතිකඩ සමස්තයක් ලෙස දකින විසදුම් ආකෘති නිර්මාණය කෙරේ.
එනම් මෙහිදී සිදුවන්නේ සංස්ලේෂණ ක්‍රියාවලියකි. ගැටළුවක් තේරුම් ගැනීමට විශ්ලේෂණය උපකාරී වුවත් ඊට විසදුම් සැපයිය හැක්කේ එහි ප්‍රතිවිරුද්ධ ක්‍රියාවලිය වන සංස්ලේෂණය තුළින් පමණි. සංස්ලේෂණය යනු අදාල කරුණු කොටස් ලෙස දකිමින් සමස්තයක් නිර්මාණයක කර ගැනීමයි. මානවීය අවශ්‍යතා  සලසනු වස් භෞතික සාධක යෝග්‍ය ලෙස සංයෝජනය කර ගැනීම  නිර්මාණාත්මක ආකෘතියක් ලෙස එළිදැක්වීම මින් අදහස් කෙරේ.
අප රටේ ගැටලූවලට සාර්ථක පිළියම් නොලැබීමට හේතුව විසදුම් සඳහා සංස්ලේෂණ ක්‍රියාවලියේ අවශ්‍යතාව ගැන විශේෂයෙන් වගකිවයුත්තන් හා පොදුවේ සමාජය ඇති නොදැනුවත්බව හා අනවබෝධයයි.
එවැනි විසදුම් සපයා ඇති විටක පමණක් ඒවා සනාත කරගනු පිණිස නීති රෙගුලාසි ඉදිරිපත් කිරීම අර්ථසම්පන්න වේ.
මේ ලිපියේ අරමුණ වන්නේ මීගමු නගරයේ ප්‍රවාහන ගැටළුවලට බලපාන තීරණාත්මක සාධක කිහිපයක් හඳුනාගෙන ඒවාට සංකල්පීය විසදුම් කිහිපයක් යෝජනා කිරීමයි. මේවා ප්‍රායෝගික කර ගැනීම සඳහා විස්තරාත්මක සැලසුම් සකස් කර ගැනීම අවශ්‍ය වේ. මේ විවිධ විසදුම් යෝජනා නිසි පරිදි ඒකාබද්ධ කර ගැනීමෙන් උපරිම සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකිය.
මීගමුව පුරවරයේ වාණිජ නගරයේ ඇති වාහන තදබදය ඇතිවීමට ප්‍රධාන හේතුව රථවාහන ගාල් කිරීම සඳහා කිසිම ඉඩක් සැලසුම් සහගත ලෙස වෙන් කර නොතිබීමයි.
නගරය වීථීවල ඇති ඒ සඳහා සුදුසු සුළු ඉඩ කඩ සියල්ලම ත්‍රීරෝද රථ සංගමය භුක්තිය සඳහා මහනගර සභාව විසින් පවරා දී ඇත. අනිත් සෑම තැනම —නෝ පාර්කින්˜ හෙවත් වාහන නැවැත්වීම තහනම් පුවරුය. ඇතැම් වීථීවල එක් පසෙක ඔත්තේ දවස්වලද අනෙක් පස ඉරට්ටේ දවස්වල පමණක් වාහන නැවැත්වීමට අවසර දී ඇත. ඇතැම් පාරවල කලින් කලට වන් වේ හෙවත් එක් දිශාවකට පමණක් වාහන ගමන් කිරීමට අවසර දී ඇත. මේවා හුදෙක් සෘණාත්මක ලෙස ප්‍රශ්නය දෙස බැලීම් ය. දාම් ලෑල්ලේ ඉත්තන් එහාට මෙහාට අදිනවා මෙන් කැරෙන මේ කි්‍රයාවලින් ප්‍රශ්නයට විසදුමක් ලැඛෙන්නේ නැත. මක්නිසාද යත් සැබෑ අවශ්‍යතාව එමගින් ඉටු නොවීමය. එනම් එලෙස නැවැත්වීමට තහනම් කරන රථවාහන නවත්වන්නේ කොහේද කියා වගකිව යුත්තන් කිසිවිටෙක කල්පනා කර නොතිබීමයි. එබැවින් රථවාහන නැවැත්වීමට ප්‍රමාණවත් ඉඩකඩක් සැපයෙන තාක් කල්, හිසරදයට කොට්ටා මාරු කරනවා වැනි මෙවැනි ක්‍රියාවලින් නගරයේ වාහන තදබදයට ස්ථීරසාර විසඳුමක් නොලැබේ.

නාගරික සංවර්ධන අධිකාරියේ නීති රෙගුලාසි අනුවද නව ගොඩනැගිල්ලක් ඉදිකිරීමට අනුමැතිය ලබා ගැනීමට නම් ඒ ගොඩනැගිල්ලේ භාවිත කාර්යය සහ විශාලත්වය අනුව අදාළ රථ ගාල් සංඛ්‍යාවක් (පාර්කින් ස්පේස්) එම භූමිය තුළ සැපයිය යුතුය. එහෙත් මේ නීති සෑම විටම ප්‍රායෝගික නැත. මේ නීතිය වෙළඳ නගර මධ්‍යයෙන් ඈත් වූ නව ඉඩම්වල සාදන නව ගොඩනැගිලි සඳහා ප්‍රායෝගිකව භාවිතා කළ හැකි අතර එසේ කිරීම අනාගත ප්‍රශ්න වළක්වා ගැනීම සඳහා අත්‍යවශ්‍ය සහ ප්‍රඥාගෝචර වේ. එහෙත් මේ නීතිය දශක ගණනාවක් තිස්සේ නගරයේ ගොඩ නැගී ඇති කඩ සාප්පු රටාව බලනවිට නගර මධ්‍යයේ කඩ වීථී සහිත ප්‍රදේශවල කිසිසේත්ම ප්‍රායෝගික නොවේ. කඩ වීථී සහිත විශේෂ කලාපවලට එන වාහන සඳහා වෙනම රථ ගාල් ඇති කිරීම අනිවාර්යය අවශ්‍යතාවයකි.
රථවාහන ගාල් කිරීම සඳහා සුදුසු ස්ථාන නොවීමත් රථ වාහන වීථීවල එක් පසක හෝ දෙපසට ගාල් කිරීමත් නිසා මාර්ග අවහිරවේ. එවිට ඉතිරි  ඉඩෙහි වාහන එක් දිසාවකට හෝ දෙදිසාවටම ගමන්් කිරීම නිසා දැඩි මාර්ග තදබදයක් ඇති වේ. විශේෂයෙන් ම ගාල් කර ගැනීමට ප්‍රමාණවත් ඉඩක් සොයමින් එය ලැඛෙන තුරු බොහෝ රථවාහන නගරයේ වීථී පුරා විවිධ අත සැරිසරති. එබැවින් අනවශ්‍ය මාර්ග තදබදයක් නිතරම ඇති වේ. මේ නිසා පෞද්ගලික රථවාහනවල ගමන් කරන ජනයා පමණක් නොව පොදු වාහනවල ගමන් කරන මගී ජනතාවත්, පයින් ගමන් කරන, සයිකල්වලින් ගමන් කරන යනා දී සියළුම ජනතාවට මහ මග රස්තියාදු වීමට සිදු වේ. එසේම ඉන්ධන විශාල වශයෙන් වැය වීමත්, පරිසර දූෂණය වීමත් මෙනිසා වැඩි වේ. එබැවින් සුදුසු ස්ථානවල රිය ගාල් සැපයීම සිදුවන්නේ නම් මාර්ගවල රථවාහන ගාල් කිරීම මෙන්ම වීථී දිගේ ගාල් කිරීමට තැන් සොයමින් වාහන සැරිසැරීමද නතර වීමෙන් මාර්ග තදබදය සාර්ථක ලෙස තුරන් වී යයි.
මේ විසදුම යථාර්තයක් වීමට නම් ඒ සඳහා සුදුසු රියගාල් කිරීමේ ස්ථාන සොයාගත යුතුය. මීගමු නගරයේ ඉඩම් හිඟය නිසා බහු මහල් රියගාල් කීපයක් ඇති කිරීම වඩා යෝග්‍ය වේ. මේ සඳහා මීගමු නගරය තුළ සුදුසු ඉඩම් සොයායාමේ දී පළමුකොටම දැනට ලෙයිටන් පිටිය ලෙස හැඳින්වෙන ඉඩම ඉතාම යෝග්‍ය බව පෙනේ. මක්නිසාද යත් එය ප්‍රධාන කඩ වීදිවලින් බැහැරව මෙන්ම ඒවාට පහසුවෙන් ළගාවිය හැකි මධ්‍යගත ස්ථානයක පිහිටා තිබීම නිසාය. එසේම එළවළු වෙළඳපොළ පිටුපස සිට හැමිල්ටන් ඇල දෙසට පැතිරුණු බිම්කඩද මෙවැනි තවත් බහු මහල් රිය ගාලක් සඳහා සුදුසු ස්ථානයකි. මෙයත් වීථී කීපයක වෙළඳසැල් පිටුපසින් වට වී ඇති ප්‍රධාන වීථී කීපයකට ඉතා පහසුවෙන් ළඟා විය හැකි පිහිටීමක ඇත. මීට අමතරව කාමච්චෝඩේ පොළ ආශ්‍රිත බිම් කොටසකද මෙවැනි බහුමහල් රියගාලක් ඇති කිරීම සාර්ථක සමතුලිත බවක් ඇතිකර ගැනීමට රුකුල් දේ. එසේම කොප්පරා හන්දිය සිට ලූණුකඩ හන්දිය දක්වා අතරමැද ප්‍රදේශයේත්් ලූණුකඩ හන්දියේ සිට බි්‍රටිෂ් ඔප්ටිකල් හන්දිය දක්වා වූ අතරමැද ප්‍රදේශයේත්, දුම්රිය පාරට සමාන්තරව යන ඩඩ්ලි සේනානායක මාවතේ අතර මැදි ප්‍රදේශයේත් හලාවත පාරේ ශාන්ත පීතර විද්‍යාල හන්දියේ සිට පිස්කල් හන්දිය දක්වා අතරමැදක් ප්‍රදේශයේත් මෙවැනි රියගාල් පිහිටුවීම  ඉතා යෝග්‍ය අතර ඒ සඳහා සුදුසු ඉඩකඩ සොයාගැනීමට හැකි බවත් පෙනේ.
ඉදිරි අනාගතයේ දී නගර සංවර්ධනයත් සමඟ ඇතිවන මාර්ග තදබදය අඩු කරගනු වස් තෙල්වත්ත හන්දියේ සිට ග්‍රින් පාත් හන්දිය දක්වා සාන්ත ජෝශප් මාවතේ අතරමැද පෙදෙසකත්, අගරදගුරු නික්ලස් මාකස් මාවතේ අතර මැද පෙදෙසකත්, තෙල්වත්ත හන්දියේ සිට කොප්පරා හන්දිය දක්වා කොළඹ පාරේ අතර මැදි පෙදෙසකත් රථ ගාල් ඇති කිරීමට අවශ්‍ය වනු ඇත. මේ මාවත්වල නව ගොඩනැගිලි ඉදිකිරීමේ දී නාගරික සංවර්ධන අධිකාරියේ නීති රෙගුලාසිවලට අනුව ක්‍රියාකිරිම ත‍මන් රථවාහන ගාල් කිරීම සඳහා අනාගතයේ දී ඇති විය හැකි ප්‍රශ්න අවම කර ගත හැකිය.
මේ රථගාල්වල ගාල් කෙරෙන වාහනවලින් යම් සාධාරණ ගාස්තුවක් අය කිරීම තුළින් මේවා ඉදිකිරීමට සහ පවත්වා ගැනීමට යන වියදම පියවා ගැනීමට නගර සභාවට, රජයට හෝ පළාත් සභාවට හැකිවෙනු ඇත.

ෂටල් සේවා රථ

බස් නැවතුම්පළ හා දුම්රිය පළ යන පොදු ප්‍රවාහන පර්යන්තවල සිටන් අප ඉහත යෝජනා කර ඇති පෞද්ගලික මෝටර්රථ වාහන හා ත්‍රීවීලර් රථ යනාදිය සඳහා වෙන් වූ රථ ගාල්වල සිටන් නගරයේ වීථී ඔස්සේ මගීන් ප්‍රවාහනය සඳහා යොදා ගැනෙන විශේෂ රථ සේවයක් මින් යෝජනා කරමු. මේ සඳහා විනාඩි කිහිපයකට වරක් දිවෙන බස් රථ කීපයක් යොදවා ගත හැකිය. එහෙත් මේ සඳහා ඊට වඩා යෝග්‍ය වන්නේ විදුලියෙන් දුවන ට්‍රෑම් රථ සේවයකුයි. ඒවා පරිසර දූෂණයෙන් තොරවීම ඊට ප්‍රධාන හේතුවයි. එසේම ඇතැම් විදේශ රටවල මෙන් මහා මාර්ගයේ සවිකල පීලි මත දුවන කුඩා විදුලි දුම්රියක් වුව යොදාගත හැකිය. එහෙත් පාපැදි රික්ෂෝ රථ යොදා ගැනීම මේ සියල්ලටම වඩා ආදර්ශමත් ය. මෙවැනි ෂටල් රථ සේවයක් යොදා ගැනීම තුළින් නගරය පුරා අනවශ්‍ය ලෙස වාහන රාශියක් නගර වීථී ඔස්සේ නිතරම ගමන් කිරීම හා නතර කර තැබීම යන ගැටළු ඇතිවීම නැතිකරයි. මෙය විශාල වශයෙන් අනවශ්‍ය ඉන්ධන නාස්තිය හා පරිසර දූෂණය නැති කරයි. එසේම මාර්ග තදබදය නැති කිරීමෙන් මහජනතාව වඩා පහසු සහ ආරක්ෂාකාරී ලෙස සාප්පු සවාරි සහ රාජකාරී ගමන් කරගත හැකි වෙනු ඇත.

පාසල් වෑන් රථ

ප්‍රධාන පෙළේ විදුහල් හයක්ම මීගමුව නගර මධ්‍යයේ පිහිටා තිබීම නිසා දවසේ කිසියම් නිශ්චිත කාලයන්හිදී එනම් පාසල් ආරම්භ කරන සහ අවසන් කරන වේලාවන් ආශ්‍රිතව පාසල් ළමුන් ප්‍රවාහනය කරන වාහන විශාල සංඛ්‍යාවක් නගරය තුළ ඒකරාශීවන හෙයින් විශාල වාහන තදබදයක් ඇති වේ. විශේෂයෙන් පාසල් අවසන් කරන වේලාවට පාසල් අසල මාර්ගවල විශාල වාහන සංඛ්‍යාවක් නවත්වාගෙන සිටින නිසා තදබදය වඩාත් වැඩිය.
විදුහල් ආසන්නව රියගාල් සඳහා ප්‍රමාණවත් ඉඩම් සොයාගැනීමට ඇති අපහසුව නිසා සහ පාසල් අසල පාරවල් ප්‍රමාණවත් තරම් පළල් නැති නිසා පාසල් වෑන් රථ ගමන් කරන කාලයන්හිදී කි්‍රයාත්මක කරනු පිණිස සුදුසු වෙනත් වැඩපිළිවෙලක්  යොදා ගැනීමට සිදු වේ. ඒ සඳහා සුුදුසුම උපායමාර්ගය වන්නේ පාසල් වටා වීදිවල එක් පැත්තක පමණක් වාහන නතර කර තැබීමත් එමෙන්ම එක් දිසාවකට පමණක් වාහන ගමන් කරවීමත්ය. මීගමුවේ ප්‍රධාන පාසල් වටා ඇති මාර්ග සංයුතිය සළකා බලන විට මෙය විධිමත්ව කි්‍රයාවේ යෙදවිය හැකි බව පෙනේ.

පුළුල් කළ යුතු මාර්ග

මීගමුවේ තෝරාගත් මාර්ග කීපයක් වහාම පුළුල් කිරීම අනිවාර්ය. හදිසි අවශ්‍යතාවක් වී තිබේ.
කොප්පරා හන්දියේ සිට නුගවෙල හන්දිය දක්වා වූ මීරිගම මාර්ගයේ ඉතාම ජනාකීර්ණ කොටස පුළුල් කිරීම ඉතාම ප්‍රමුඛ අවශ්‍යතාවයකි. කටාන පාර සහ දිවුලපිටිය පාර යන මහාමාර්ග දෙකේම යන එන වාහන සියල්ල මේ මාර්ග කොටසේ එක්වී ගමන් කළත් එසේම පාන්කඩ හන්දිය සහ දීන් හන්දිය වැනි ජනාකීර්ණ සංධිස්ථාන ඔස්සේ මේ මාර්ග කොටස වැටී තිබුණත් එහි යන එන රථවාහන ප්‍රමාණය දරා ගැනීමට තරම් මේ මාර්ග තීරය පළල් නොමැති නිසා දැනට අධික තදබදයක් පවතී.
හලාවත පාරත්, කෙලින් වීදියේ පාලම හන්දියේ සිට පෙරියමුල්ල රේල් ගේට්ටුව හන්දිය දක්වා පුළුල් කිරීමත් ඉතාම වැදගත් ය. වෙළඳ නගරයට එන වාහනත්, ආවේමරියා සහ ශාන්ත පීතර යන විදුහල් වලට යන එන පාසල් වෑන් රථත් ශාන්ත පීතර දෙව්මැදුරේ කුරුස යාගය මෙහෙයට පැමිණෙන ජනකාය ප්‍රවාහනය කරන අත විශාල වාහන සංඛ්‍යාවක් මේ මාර්ග තීරයේ ගාල් කරන නිසා විශාල මාර්ග තදබදයක් ඇති වේ. එසේම මෙය මීගමු නගරයට ඇතුළු වීම සහ ඉන් පිට වීම සඳහා ඉතා හොඳ මාර්ගයකි. එබැවින් මේ මාර්ග තීරය වහාම පුළුල් කිරීම නගරයේ ප්‍රවාහන අවුල් දුරු කිරීමට විශාල දායකත්වයක් සපයයි.
ශාන්ත ජෝෂප් වීදිය, බස් නැවතුම් හන්දියේ සිට කොතලාවල පාලම දක්වා කොටස පුළුල් කිරීමත්, එසේම ඔරලෝසු කණුව හන්දියේ සිට ශාන්ත ජෝශප් පාර දක්වා මාර්ගය පුළුල් කිරීමත් වැදගත් අවශ්‍යතාවයකි. මේ නිසා මීගමුව නගරයට ඇතුළු වීමට සහ පිටවීමට පහසු විකල්ප මාර්ග ඇතිවීමෙන් ප්‍රවාහන පද්ධතියේ මනා සංවර්ධනයක් ඇතිවේ.
කොතලාවල පාලම පුළුල් කිරීම හෝ අමතර විකල්ප පාලමක් ඉදිකිරීමද ඉතා වැදගත් අවශ්‍යතාවයකි. මුන්නක්කරය, දූව සහ පිටිපන ප්‍රදේශ යනාදී තදාසන්න දූපත්, ප්‍රධාන ගොඩබිමට යා කරන එකම සම්බන්ධකය මේ පාලමයි. පසුගිය සුනාමි ව්‍යසනය සිදු වූ අවස්ථවේ  සහ ඉන්පසු සුනාමි ව්‍යසනයක් ගැන අනතුරු ඇඟ වූ අවස්ථාවේ එම දූපත් වාසී ජනතාව ජීවිත බේරා ගැනීම සඳහා ප්‍රධාන ගොඩබිමට ඒමට උත්සාහ දැරීමේ දී මේ ස්ථානයේ ඇති වූ සුවිශාල තදබදය මේ යෝජනාවේ ප්‍රායෝගික අවශ්‍යතාවය ගැන හොඳ හේතු සාධක සපයයි.
පිස්කල් හන්දියේ සිට වැල්ල වීදිය පල්ලිය තෙක් දිවෙන ශාන්ත සෙබස්තියන් පාර සහ එහි පාලමද පුළුල් වීම ඉතා අවශ්‍යයි. එසේම ආවේ මරියා පාරද පුළුල් වීම ඉතා වැදගත්ය. මෙය මීගමු නගරයේ කඩ වීදි බහුල ප්‍රදේශ මඟහැර නගරය හරහා ඇතුළු වීමට සහ පිටවීමට මහෝපකාරී වේ. එසේම ආවේ මරියා විදුහල සහ ශාන්ත පීතර දේවස්ථානයේ කුරුස යාගය ආශ්‍රිතව ඇතිවන වාහන තදබදය නැති කිරීමට මෙය මනා පිටිවහලකි.

නව මාවත් ඉදිකිරීම

මීගමුවට ලොකු කුඩා මාර්ග වලින් නම් අඩුවක් නැත. එසේ වුවත් අළුතින් එක්තරා කෙටිදුර මාර්ගයක් ඉදිකිරීමෙන් විශාල යහපතක් උදාකර ගත හැකි වේ. එනම් ශාන්ත පීතර විදුහල අසල තුං මං සන්ධියේ සිට ප්‍රනාන්දු මාවත එල්ලේ, හැමිල්ටන් ඇල මහත්තෙන් නව පාලමක් සහිතව වැල්ලවීදියතෙක් නව මාවතක් ඉදිකිරීමය. මෙමගින් මීගමුවේ සංචාරක පුරය සහ වාණිජ පුරය අතර දැනට ඇති දුරස්ථ භාවය ඉවත්වන අතර කෙළින් වීදිය මඟහැර ගමන් කිරීමට අවස්ථාව ලැබීමෙන් විශාල පහසුවක් ලැඛෙයි.
මේ හැරුණු විට පාරේ එක් අන්තයක් තවත් පාරක් හා සම්බන්ධ නොවන (ඩෙඩ් එන්ඩ් රෝඩ්ස්) පාරවල් රැසක් මීගමුවේ ඇති අතර මේවායින් එක්තරා තෝරාගත් කිහිපයක් සුදුසු පරිදි ඇතැම් ආසන්න පාරවල් හා සම්බන්ධ කිරීමෙන් ප්‍රවාහන පද්ධතියේ මනා වැඩි දියුණුවක් ඇති කරලිය හැක.

පරිසර හිතකාමී ප්‍රවාහන ක්‍රම.

අපේ රටේ මාවත් සම්පූර්ණයෙන්ම පාහේ සැලසුම් කර ඇත්තේ මෝටර් රථ වාහන ගමන් කිරීමට පමණි. ඒ හැරුණු විට පදිකයන්ට එනම් පයින් ගමන් කරන්නන්ට හා පාපැදිවල ගමන් කරන්නන් වෙනුවෙන් කිසිම සලකා බැලීමක් කර නැත. එබැවින් සෞඛ්‍යයට හා පරිසරයට හිතකර මේවාට ප්‍රමුඛතාවය ලැඛෙන ලෙස අපේ මාර්ග සැලසුම් කළ යුතුය. පාපැදි සඳහා විශේෂයෙන් නිම වූ මං පෙත් තීරු මාර්ගවල ඇති කළ යුතුය. පදිකයින් සඳහා (වෙළදුන් සඳහා නොවේ) ආකේඩ එනම් වීදියේ ගොඩනැගිලි ඉදිරියේ පදිකයන් සඳහා පදික මං පෙත්හි ඉසට ඉහළින් හෙවනක් හෝ වියනක් ඇති වන සේ ගොඩනැගිලි ඉදිකිරීමයි. කොළඹ කොටුවේ කාගිල්ස් / මිලර්ස් සාප්පු ගොඩනැගිලි මීට හොඳ නිදසුන් ය.
එසේම මාර්ග දෙපස සුදුසු අයුරින් ගස් වැවීම අපේ වැනි ඝර්ම කලාපීය රටක දැඩි හිරු රශ්මියේ පීඩාවෙන් මිදෙන්නට මෙන්ම පරිසරයේ සුන්දරත්වය සඳහා ද මනා පිටුවහලක් වේ.
ඉහත (බී) හි යෝජනා කර ඇති පරිදි පාපැදි රික්ෂෝ සහ විදුලි රථ භාවිතයට නැඹුරු වීම පරිසර හිතකාමී කි්‍රයාවලියකි.

දුම්රිය ඇතුළු පොදු ප්‍රවාහන සේවය දියුණු කිරීම.

මෙය මීගමුවට පමණක් නොව අප මුළු රටටම දැඩි අවශ්‍යතාවකි. පොදු ප්‍රවාහන මාධ්‍යය විශේෂයෙන්ම දුම්රිය සේවය ඉතා කාර්යක්ෂමවත්, ගුණාත්මකව දියුණු තත්ත්වයක පවත්වාගැනීම සෑම දියුණු රටකම පාහේ පොදු තත්ත්වයකි. මෙමගින් අනවශ්‍ය ලෙස පෞද්ගලික වාහන භාවිත කිරීම විශාල ලෙස අඩු වේ. මෙමගින් මාර්ග තදබදය විශාල ලෙස අඩුකර ගැනීමටත් ඉන්ධන හානිය අඩු කර ගැනීමටත් පරිසර දූෂණය අඩුකර ගැනීමටත් ඉවහල් වේ. විශේෂයෙන් කන්ටේනර් රථ මගින් මාවත් වල බඩු ප්‍රවාහනය කිරීම වෙනුවට දුම්රිය යොදා ගැනීම උචිතය.

විකල්ප ප්‍රවාහන ක්‍රම

පොදුවේ අප රටේ පවතින තවත් දුර්වලතාවයක් නම් මහාමාර්ගයේ රථවාහන ගමන් කිරීම හැරුණු විට වෙනත් ප්‍රවාහන ක්‍රම ගැන නොසිතීමය. ලංකාවේ ගංගා සහ ඇල මාර්ග ආශ්‍රිතව ඔරු පාරු ප්‍රවාහන 1950 දශකය තෙක් බහුලව යොදා ගැනුණත් එය ක්‍රමයෙන් අඩු වී සම්පූර්ණයෙන්ම පාහේ තුරන් වී ඇත. එහෙත් සිදුවිය යුතුව තිබුණේ වෙනත් රටවල මෙන් එය වඩාත් වර්ධය කර ගැනීමයි. මීගමුව නගරය හරහා යන හැමිල්ටල් ඇල දිගේ ඔරු පාරු බත්තල් යනාදිය මගින් කොළඹ සහ පුත්තලම අතර භාණ්ඩ සහ මගී ප්‍රවාහනය ඉහත කාලයේ දී ඉතා සාර්ථක ලෙස කෙරිණි. මෙය යළිත් පණගැන්විය යුතු අවශ්‍යතාවකි.
එසේම ශ්‍රී ලංකාව මුහුදුන් වට වූ දූපතක් නිසා නැව්, බෝට්ටු, බත්තල් රුවල් ඔරු යනාදිය මගින් වෙරළ බ~ ප්‍රදේශ සම්බන්ධ කෙරන මගී සහ භාණ්ඩ ප්‍රවාහන ක්‍රමයක් ඇති කිරීම ඉතාම ඵලදායී හා කාලෝචිත විසදුමකි. මෙය මීගමුව ආශ්‍රිතව ඉතා යෝග්‍ය වේ. මෙබදු ජල ප්‍රවාහන ක්‍රමවලදී මෝටර් බෝට්ටු වෙනුවට හැකි තරම් රුවල් ඔරු සහ පාරු යනාදී පරිසර හිතකාමී මාධ්‍ය යොදා ගැනීම වඩා දිරිමත් කළ යුතුය.

දුම්රිය හරස් මාර්ග සහ ප්‍රධාන මංසන්ධි

මීගමු නගරය හරහා දුම්රිය හරස් මාර්ග රැසක් එකිනෙකට නුදුරින් පවතී. මේවා අතරින් ලූණුකඩ හන්දිය රේල් ගේට්ටුව අසල හා ග්‍රීන්පාත් රේල් ගේට්ටුව අසල නගර මධ්‍යයේත් එමෙන්ම අගරදගුරු නිකලස් මාකස් ප්‍රනාන්දු මාවත ගල්කන්ද රේල් ගේට්ටුව අසලත් පෙරියමුල්ල රේල් ගේට්ටුව අසලත් ප්‍රධාන පෙලේ මාර්ග කිහිපයක් හමුවන මංසන්ධි එම රේල් ගේට්ටු සමීපයේ ම පවතී. එසේම කොප්පරා හන්දිය, තෙල්වත්ත හන්දිය, ගල්කන්ද හන්දිය යන මන්සන්ධිවල ප්‍රධාන නගරාන්තර මාර්ගයන් හරස් වේ.  එබැවින් ඉහත කී සන්ධිස්ථානවල රිය අනතුරු වළක්වා ගැනීම හා වාහන තදබදය අවම කර ගැනීම සඳහා දීර්ඝ කාලීන වශයෙන් නිසි පියවර ගැනීමට සිදුවනු ඇත. ගුවන් පාලම් හෝ උමං මාර්ග වැනි විසදුම් මේ සඳහා උචිත වේ.
ඉහත මංසන්ධි ආශ්‍රිත වර්ණ සංඥා ඉදිරියේ රථවාහන පෙළ ගැසෙන බැවින් ඒ ආසන්නයේ  බස් නැවතුම් ස්ථාන තිබීම වාහන තදබදය දැඩි කිරීමට තවත් හේතුවකි. නිදසුනක් ලෙස  කොප්පරා හන්දියට ආසන්නව පිහිටුවා ඇති ජාත්‍යන්තර පාසල ආශ්‍රිතව මේ ගැටළුව විශේෂයෙන් ඇති වේ. කොප්පරා හන්දියේ වර්ණ සංඥා ආසන්නයේ බස් නැවතුම් පිහිටීම නිසා එම විදුහලට පැමිණෙන වාහන පාර දෙපස ගාල් කිරීම සමඟ උග්‍ර වාහන තදබදයක් ඇති වේ.
එබැවින් වර්ණ සංඥා ආශ්‍රිත බස් නැවතුම් එම මංසන්ධිවලින් සුදුසු තරම් ඈතට ගෙන යා යුතුය.

වීදි සහ මංසංධි නම් කිරීම

මීගමුව මංසන්ධි රාශියකින් සමන්විත පුරවරයකි. එහෙත් මින් බොහෝමයක් සඳහා හැඳින්වීමට නම් නැත. එසේම මේ විවිධ මංසන්ධි අතර මාර්ග කොටස් රැසක් ඇත. එහෙත් මේවා වෙන වෙනම පහසුවෙන් හඳුනා ගැනීම සඳහා පැහැදිලි නම් රටාවක් යෙදී නොමැත. නිදසුනක් ලෙස කෙළින් වීදිය මීගමුව කොටුව අබියසින් පටන්ගෙන කොප්පරා හන්දිය තෙක්ම එකම නමින් හැඳින්වුවත් ඒ අතර විවිධ මංසන්ධි අතර මාර්ග කොටස් කිහිපයක් විවිධ දිශාවලට හැරී එම නමින්ම පවතී. මෙය අවුල් සහගත තත්ත්වයකි. ග්‍රීන්ස් පාරද බස් නැවතුම්පොළේ සිට බී.පී. මොහොමඩ් / මන්තිරි සාප්පු හන්දිය දක්වා යන විට එවැනි කොටස් පවතී. රාජපක්ෂ බ්‍රෝඩ්වේ මාර්ගයේ ද මෙවැනි තත්ත්වයක් පවතී.
එබැවින් මේ විවිධ මාර්ග කොටස් පහසුවෙන් හඳුනා ගැනීම සඳහා සුදුසු පරිදි අළුතින් නම් කළ යුතුව ඇත. එසේම ප්‍රධාන මංසන්ධි හැදින්වීම සඳහා අළුතින් සුදුසු නම් යෙදිය යුතුය.
වරලත් වාස්තුවිද්‍යාඥ – බන්දුල වැලිකඩආරච්චි මහතා

( උපුටා ගැනිම -මීපුර පුවත් පත )