මීගමුවට ලඟම ආසනයේ මන්ත්‍රි චම්පික සමඟ කථාබහක් !

0
95

මෙවර පැවති මහා මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයේන් ඡන්ද 898,759  ක ප්‍රමානයක් ලබා  සුවි⁣ශේෂී ඓතිහාසික ජයග්‍රහනයක් හිමකර ගන්නට  ජාතික ජන බලවේගය (NPP) සමත් විය. ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන19 න් , ආසන 16 ක්  ම ජාතික ජන බල වේගය  ට හිමි විය.  එම ආසන 16 න් මනාප ඡන්ද 70,373 ලබා ගනිමින් 11  ස්ථානය ලබා ගන්නට කටාන ආසනයෙන් තරඟ කල නවක කෝඩුකාර මන්ත්‍රීවරයෙකුට හැකි විය.

ඔහු චම්පික හෙට්ටිආරච්චි.තම පවුල් පසුබිම සහ දෙමව්පිය ආභාෂය මූලික කර ගනිමින්ද  එලෙසම  වෘත්තිය සමිති ව්‍යාපාරය තුළ ක්‍රියාකාරී වෙමින් ලැබූ පන්නරය නිසාවෙන් ද ක්‍රියාකාරී දේශපාලනයට අවතීර්ණ වූ ඔහු සීදුව – කටුනායක නගර සභාවේ ජනතා විමුක්ති පෙරමුන පක්ෂය නියෝජනය කරමින් නාගරික මන්ත්‍රීවරයෙකු ලෙසද කටයුතු කළේය. ඒ අනුව  චම්පික හෙට්ටිආරච්චි මන්ත්‍රීවරයා , මීපුර වෙබ් අඩවිය සමඟින්  සිදු කළ කෙටි පිළිසඳරක් පහත පල වේ.

ඇත්තටම, ” චම්පික හෙට්ටිආරච්චි ” කියන්නේ කවුද ?.

චම්පික හෙට්ටිආරච්චි කියලා කියන්නේ බොහොම සංවේදී පුද්ගලයෙක්. සාමාන්‍ය පවුලකින් පැවත එන, මිනිස්සුන්ගේ දුක කඳුළ වේදනාව හඳුනන , දුක් විඳින, තැලෙන පොඩි වෙන මිනිස්සු වෙනුවෙන්, ඒ අයට සාධාරණත්වයක් කරන්න තමන්ගේ පෞද්ගලික සාර්ථකත්වයන් පවා කැප කරන, ඒ වාගේම ජාතිවාදයට,ආගම්වාදයට, දූෂණයට, භීෂණයට වංචාවට සහ හොරකමට නැවතීමේ තිත තියෙන මෙරට තුළ අලුත් දේශපාලන සංස්කෘතියක් ඇති කරන්නට වෙර දරන පුද්ගලයෙක් කියලා කිව්වොත් මම හිතනවා බොහෝ දුරට එය නිවැරදියි කියලා.

ඔබ ගැන පෞද්ගලික විස්තර ටිකක් දැනගන්න කැමතියි ?

මම දැනට පදිංචිය,කටාන ආසනයේ සීදුව ප්‍රදේශයේ. මගේ පියාගේ පියා, ඒ කියන්නේ මගේ සීයා ජීවත් වුණේ සීදුව ප්‍රදේශයේ , ඒ අනුව තමයි මම සීදුවට පදිංචියට ආවේ. මගේ පියා උප පොලිස් පරීක්ෂකවරයෙක් විදිහට සේවය කළා. පසුව ඔහු වතු පාලකයෙක් ලෙසද සේවය කළා.මගේ මව නම් රැකියාවක් කළේ නැහැ. මගේ පවුලේ වැඩිමලා මම. මට බාල සොහොයුරන් දෙදෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් ව්‍යාපාරිකයෙක්. අනෙක් කෙනා විදේශගතවෙලා රැකියාවක නිරත වෙනවා. මම පාසල් ගියේ කුරුණෑගල ප්‍රදේශයේ. මම උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලබලා ,නාවික හමුදාවට කැඩෙට් නිලධාරියෙක් විදිහට බැඳුනා.

ඉන්පසු  නවික හමුදාවෙන් ඉවත් වෙලා මම කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ සුවිස් කොම්පැනියක, ඒක පසුකාලේ නොර්වේ කම්පැනියක් බවට පත්වුණා, මම මේ කොම්පැනියේ  කළමනාකාරිත්වය   නියෝජනය කරන අංශ ප්‍රධානියෙක් ලෙස රැකියාවක් ලැබුණා. අංශ ප්‍රධානියෙක් විදිහට රැකියාව කළත් ඒ සේවක සේවිකාවන්ට සිදුවන අසාධාරණකම් වලදී ඔවුන් වෙනුවෙන් සාධාරණයක් ඉෂ්ට කරන්නට මම කටයුතු කළා. ඔන්න එතනින් තමයි මම වෘත්තිය සමිති වලට සම්බන්ධ වුණේ. ඒ වගේම අපේ නිවසේ මුල සිටම යම් ආකාරයක දේශපාලන පසුබිමක් ද තිබුණා.

ඔබ ක්‍රියාකාරී දේශපාලනයට  පිවිසීම සඳහා  වැඩි වශයෙන්ම ඔබේ පවුල් පසුබිම බලපෑවා කියලද ඔබ  කියන්නේ ?.

ඇත්තෙන්ම ඔව්. 1988, 1989  වෙනකොට, ඒ කාලේ මගේ මවයි පියයි ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරී දේශපාලනයට පිවිසිලා හිටියේ.. මගේ  මව ආසන බලමන්ඩලයේ සභාපති වෙලා හිටියා.  ජීවිතේ මගේ පළවෙනි ඡන්දේ මම ලබා දුන්නේ මගේ මවටයි , පියාටයි.  ඔවුන් දෙදෙනාම ප්‍රාදේශීය සභා ඡන්දට ඉල්ලුවා.  මොකද ඒ කාලේ අර ලිස්ට් එක සම්පූර්ණ කරන්නත් අවශ්‍යතාවයක් තිබුණා. ඒ නිසයි ඔවුන් දෙදෙනා ඉදිරිපත් වුණේ. ඉතින් මම 2006 වසරේ ඉඳලා ක්‍රියාකාරි දේශපාලනයේ හිටියේ. එහෙම ඉන්න අතර තමයි අර  මම කලින් කිව්ව වගේ කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ සුවිස් කම්පැනියක  කළමනාකාරීත්වයේ අංශ ප්‍රදානී රැකියාවක් ලැබුණේ.කළමනාකාරීත්වය  නියෝජනය කරන රැකියාවක මම නිරත වුණත් මට පහළ සේවක සේවිකාවන් විඳින දුක, ප්‍රශ්න ගැටලු සහ අසාධාරණකම් හඳුනා ගන්න පුළුවන් වුනා.

මම ඒ දේවල් වලට හුඟක් සංවේදී වුනා. එනිසා තමයි ,අන්තර් සේවක සංගමය හා සම්බන්ධ වෙලා වෘත්තීය සමිති ව්‍යාපාරයට මම යොමුවුණේ.
ඔය අතරෙදි 2011 වසරේදී මහින්ද රාජපක්ෂ රජය විසින් සේවක සේවිකාවන්ගේ ඊ.පී.එෆ්. කොල්ලකෑමට පැමිණෙනවා. ඒ සඳහා මම කටුනායක නිදහස් වෙළෙඳ කලාපය තුළ අන්තර් සේවක සංගමයේ නියෝජිතයා විදිහට මම ඒ සඳහා නායකත්වය දෙනවා. මව් ශාකාව මෙහෙයවීම සිදුවුණේ වසන්ත සමරසිංහ සහෝදරයාගේ නායකත්වයෙන්. කටුනායක නිදහස් වෙළඳ කලාපය සඳහා නායකත්වය දුන්නේ මම.

.එතනදි තමයි රෝෂේන් චානක කියන තරුණයාව වෙඩිතියලා මරා දමනවා. ඒ වෙලාවේ මම වැඩ කරපු කම්පැනියේ සේවක සේවිකාවන් වගේම, මා සභාපති විදිහට නායකත්වය දුන් අන්තර් සේවක සංගමයේ බොහෝ දෙනෙකුටත්  දැඩි ලෙස ප්‍රහාරයක් එල්ල වෙනවා. එතැන් සිට දිගටම මම වෘත්තිය සමිති ව්‍යාපාරයට නායකත්වය ලබා දීලා, ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරී දේශපාලකයෙකු ලෙස කටයුතු කළා.

එතකොට ඔබ මීට පෙර කිහිප වතාවක්ම කටාන ආසනය නියෝජනය කරමින් ජනතා විමුක්ති පෙරමුණ සඳහා මැතිවරණ වලට ඉදිරිපත් වුනා නේද ?

ඔව් මම ප්‍රථම වතාවට 2013 වසරේදී ජනතා විමුක්ති පෙරමුණෙන් බස්නාහිර පළාත් සභවට ,කටාන ආසනය නියෝජනය කරමින් ඉදිරිපත් වුණා. ඒකෙදි මට ජය ගැනීමට නොහැකි වුණා . එහිදී අපිට ආසන 02 ක් ලැබුණේ .ඊට කලින් මම රැකියාව කළ කොම්පැනියෙන් ඉවත් වුණා. ඒත් එක්කම මම ආරම්භ කළා මගේම ව්‍යාපාරයක්,  ඒ කියන්නේ ඇඟලුම් අපනයන ආයතනයක්. මම තාමත් පෞද්ගලිකව ඒ ව්‍යාපාරය කරගෙන යනවා. ඔය අතරෙදි නැවත 2015 වසරේ පාර්ලිමේන්තු මැතිවරණය සඳහා කටාන ආසනයෙන් මා ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් ඉදිරිපත් වුණා.

ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ 07 වෙනියට මම ඉන්නවා.   ඒකෙදී හම්බ වුණේ එක මන්ත්‍රි ආසනයක්. ඒකට අපේ විජිත හෙරත්   සහෝදරයා ගියා. පසුව 2018 වසරේ පැවති පළාත් පාලන මැතිවරණයෙන්, අපිට කොට්ඨාසයක් ජයග්‍රහණය කරන්න නොහැකි වෙනවා නමුත් අපිට එක මන්ත්‍රී ආසනයක් හිමි වුනා. ඒ වෙනුවෙන් තමයි මම සිදුව, කටුනායක නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙක් බවට පත්වුණේ.  කොහොම හරි 2015 වසරේ සිටම ජනතා විමුක්ති පෙරමුණේ ,කටාන ආසනයේ සංවිධායකවරයා බවට පත්වුණේ මම.

ඒත් එක්කම 2020 මහ මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ ,ජාතික ජන බලවේගය බවට පත්වෙනවා. ඒ අනුව 2020 කටාන ආසනයේ ජාතික ජන බලවේගයේ ආසන සංවිධායකවරයා බවට පත්වෙන්නේ මම. ඒ අනුව මම 2020 මැතිවරණයට ඉදිරිපත් වුනාට ගම්පහ දිස්ත්‍රික්කයට ලැබෙන්නේ ඒක මන්ත්‍රීධූරයයි. ඒ සඳහා විජිත හෙරත් සහෝදරයා පාර්ලිමේන්තුවට ගියා.ඉතින් මම නාගරික මන්ත්‍රීවරයෙක් හැටියට ආණ්ඩු පක්ෂයේ බහුතර මන්ත්‍රීවරු එක්ක විශාල හැල හැප්පීම් ඝට්ඨන මැද්දේ පවා ජනතාව වෙනුවෙන් ක්‍රියාකාරී වුණා.

අනුර කුමාර දිසානායක  ජනාධිපති වීමටත් එමෙන්ම පසුව පැවති මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයක් ලැබීමටත් ජාතික  ජන බලවේගය  සතු සංවිධාන ශක්තියට වඩා බලපෑ තවත් කරුණු කාරනා තිබුණද ?

ඇත්තටම ඔව්., ජාතික ජන බලවේගය වටා විශාල පිරිසක් එක් රොක් වුනා, ඒ වගේම ජාතික ජන බලවේගයට තවත්  බලවේග ගනනාවක් සම්බන්ධ වුණා. ඒ වගේම රට තුළ යම් ආන්දෝලනාත්මක තත්ත්වයක් ජාතික ජනබල වේගය නිසා ඇති වුනා. නමුත් ජාතික ජන බලවේගයේ සංවිධාන ශක්තිය වගේම අනිත් දේශපාලන පක්ෂවල දුර්වලතා සහ නොහැකියාවනුත් මෙහිදී දැඩි ලෙස බලපෑවා කියලා කියන්න පුළුවන්. විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂගේ කාලයේ ඇතිවුනු ආර්ථික බංකොලොත් භාවය, කොරෝනා වසංගතය නිසා ආර්ථිකය  කඩාවැටීම ,පාස්කු ප්‍රහාරය  මේ කරුණු කාරණා සහ මේ හේතුන් නිසා ඇතිවුනු සමාජ සහ මහජන විරෝධය  මේ ආදී හේතු සාධක  සියල්ලගේම බලපෑම මත තමයි ජනාධිපතිවරණයත්, මහ මැතිවරණයත් ජයග්‍රහණය කරන්න හැකි වුනේ කියලයි මම හිතන්නේ..

ඔබ නියෝජනය කරන කටාන ආසනයත්, ඊට ආසන්නයේ තියෙන මීගමුව ආසනයක් අද තියෙන තත්ත්වය ගැන ඔබේ අදහස් දැනගන්න කැමතියි ?

ඇත්තටම කියනවා නම් කටාන සහ  මීගමුව කියලා කියන්නේ එක ළඟ පිහිටා තියෙන සහෝදර ආසන දෙකක්. මේ දෙක ඇත්තටම ගත්තොත් ආසන දෙකක් වුනාට හරියට එකක් වගේ. උදාහරණයක් විදිහට ගත්තොත් දැන් කටුවපිටිය දේවස්ථානය අයිති  කටාන ආසනයට වුනාට, ඒකට වැඩිපුරම එන්නේ මීගමුවේ ජනතාව. දැන් කොච්චිකඩේ පොලිසිය ගත්තොත් එක පැත්තක් කථානට, අනිත් පැත්තේ මීගමුවට. ඒ වගේමයි කටාන සමුපාකාරය ගත්තත් එහෙමමයි. දැන් අපි මේ ඊයේ පෙරේදා නිරීක්ෂණ චාරිකාවක යෙදුණා ගොමස් වත්ත කියලා  මුස්ලිම් ගම්මානයක්. එතන මීගමුව ආසනයටත් අයිති කටාන ආසනයටත් අයිතියි.එතන තියෙන දෙපා ඇලෙන් තමයි ආසන දෙක වෙන් වෙන්නේ. එතන තියෙන ප්‍රශ්නය දෙපැත්තටම එකයි.ඉතින් මේ දෙක දෙකක් හැටියට තිබුණත් , පේන්නේ එකක් විදිහටයි. මීගමුව ටිකක් හරි වෙනස් වෙන්නේ ධීවර කර්මාන්තය සහ ලෙල්ලම නිසයි.  මේ දෙකේම ගත්තොත් පොදු ප්‍රශ්න ටිකක් තියෙනවා.

ඒවගේම පසුගිය කාලය පුරාවටම  මීගමුව ආසනයේ පාලනය සම්බන්ධයෙන් ලොකු වෙනසක් තිබුනා. මීගමුව කියලා කියන්නෙම දුෂිත දේශපාලකයන් ගේ පාරාදීසයක් . ප්‍රධාන දුෂිත දේශපාලකයෝ කිහිප දෙනෙක්ම ඉන්නවා.  නගර සභාවේ , පලාත් සභාවේ පමනක් නෙවෙයි පාරිලිමේන්තුවේ පවා. මීගමුවේ හිටපු බොහෝ දේශපාලකයන්  දුෂිත දේශපාලකයන්. ආන්න ඒ කරුනු නිසාම මේ වෙනකොට මීගමුව අප්‍රසන්න තැනක් බවට පත්වෙලා  තියෙනවා. හැබැයි අපි හිතනවා අපි ඒවාගේ තත්වයකින් මීගමුව මේ වෙද්දීවත් අපි බේරා ගත්තා කියලා .නමුත් ඉතින් රටේ අනිත් ප්‍රදේශවලට බලපානු ලබන පොදු  ප්‍රශ්න ඒ කියන්නේ  ආර්ථික ප්‍රශ්න , කසල බැහැර කිරීමේ ප්‍රශ්න,  මත්ද්‍රව්‍ය වගේ ප්‍රශ්න වගේ පොදු ප්‍රශ්නත් මීගමුවේත් තියෙනවා. ඒවා මුළු රටේම පොදුවේ විසඳිය යුතු ප්‍රශ්න. ඒවා විසඳන්නට ඉතා ඉක්මනින් ඉදිරි කාලයේදී අපි කටයුතු කරනවා..

මීගමුව කුඩු පුරවරයක්ද ?  ඒ  ප්‍රශ්නෙට විසඳුමක් නැද්ද ?

ඒකට තියෙන විසඳුමේ පළවෙනි පියවර ජනතාව ගත්තා.ඒ කියන්නේ ඒ වැඩේට සම්බන්ධ දේශපාලනඥයන්ව  ජනතාව පරාජය කරලා ගෙදර යැව්වා. එහෙම මත්කුඩු හා මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ දේශපාලනඥයන්ව ජනතාව අයින් කරලා තියෙනවා.එතකොට ජනතාවගේ පැත්තෙන් පළවෙනි පියවර මේ වෙද්දී ජනතාව අරන් තියෙනවා. දෙවැනි ජයග්‍රහණය  ඇත්තටම  අපි හදනව.මෙච්චර කල් වුනේ කුඩු බොන මිනිහව හරි, ගමේ සිල්ලරට ඒවා විකුණන මිනිහාව හරිනේ පොලිසියෙන් ඇවිත් අල්ලන් ගියේ. පළමුවෙනි වතාවට අපි අපේ රජයක් විසින් කුඩු වගේ දේවල් මෙරටට ගෙන්වන ඒ ජාලාව අපි නතර කරනවා.

ඒ සඳහා අපේ රජය ක්‍රියාකාරී වෙනවා. ඒ සඳහා පොලිස්පතිතුමා ඉන්නවා පොලිසිය භාරව ඇමත්‍යවරයෙක් ඉන්නවා. එතකොට ඒ අවශ්‍ය විමර්ශන කරලා, ඒ ජාලාවම නතර කරන්න අපි කටයුතු කරනවා. කුඩු ගෙන්වන ජාලාව වගේම බෙදාහරින ජාලාවත්  නතර කරපුවහම යටට එන බලපෑම සෑහෙන අඩුයි. නිරන්තර අවධානයෙන් ඉඳලා,  ඔය ව්‍යාපාරයට වක්‍ර ලෙස සම්බන්ධ වෙන අයවත් අත්අඩංගුවට ගෙන ඔය ව්‍යවසනය නතර කරන්න අපි කටයුතු කරනවා. ඒ වුණත් අපි දන්නවා කුඩු පාවිච්චි කරපු අයට එකපාරට මේක නතර කරපුවහම ඒක දරාගන්න බැරි වෙනවා.

ඒ අයව විධිමත් සහ ක්‍රමවත් පුනරුත්ථාපන ක්‍රියාවලියකට යොමු කරලා ඒ පුණ්රුත්ථාපන ක්‍රියාවලියේදී ඒ අයගේ ආර්ථිකය ශක්තිමත් කරගන්න පුළුවන් වැඩපිළිවෙළකට ඔවුන්ව යොමු කිරීම තමයි අපේ බලාපොරොත්තුව. එතකොට එයා පුනරුත්ථාපනය වෙලා එළියට එද්දි කුඩු නැති සමාජයක් තමයි දකින්න ලැබෙන්නේ. දැන් වෙනදාට වෙන්නේ එහෙම නෙමෙයි, කුඩු පාවිච්චි කරන අයව අත්අඩංගුවට අරගෙන පරිවාස දාලා පුනරුත්ථාපනය කරලා ,ආපහු සැරයක් එළියට එද්දි එයා ආයේ කුඩුබොන්ඩ යොමු වෙනවා. මෙදාපාර එහෙම දෙයක් නොවෙයි අපි කරන්න බලාපොරොත්තුව, අර මුලින් කිව්ව වගේ මත්කුඩු නැති සමාජයක් හදන්න තමයි අපි ඒ කියන්නේ අපේ රජය මූලික වශයෙන් බලාපොරොත්තු වෙන්නේ..

මැතිවරණයට කලින් ඔබ නිතරම ප්‍රකාශ කළා, මෙරට ආර්ථිකය නගා සිටුවන්නට නම් ස්වයං රැකියා, ස්වයං ව්‍යාපාර වගේ ගෘහ ආර්ථිකය ශක්තිමත් කර නගා සිටුවීම අත්‍යවශ්‍යමයි කියලා.  ඇත්තටම ඔබ සඳහන් කරන මේ වැඩපිළිවෙළ  මොකක්ද ?

රටක තියෙන සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සහ ව්‍යාපාර කියලා කියන්නේම  රටේ ජීවනාලියක් කියලයි මම හිතන්නේ. ඒක රටේ  ආර්ථිකයෙන් ලොකු පංගුවක් නියෝජනය කරනවා.එතකොට දැන් වෙද්දී වෙලා තියෙන්නේ අපේ රටේ තියෙන සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සහ ව්‍යාපාර මේ වෙද්දී පවත්වාගෙන යන්නට බැරි තරමටම කඩා වැටිලා තියෙන්නේ. අමුද්‍රව්‍ය ප්‍රශ්න, විදුලිය ප්‍රශ්න සේවක ප්‍රශ්න, පුහුණු පලපුරුදු සේවකයන් නොමැතිකම, බැංකු ණය ගන්න ගියාම තියෙන ප්‍රශ්න,ඔය වගේ මේ ඔක්කොම ප්‍රශ්න නිසා මේ ක්ෂේත්‍රය කඩා වැටිලා තියෙන්නේ.එහෙනම් අපේ ආර්ථිකය ශක්තිමත් පංගුවක් ගන්න නම් මේ කර්මාන්ත ව්‍යාපාර ටික අපි නගා සිටුවන්න ඕනා.

එහෙනම් අපි කළ යුත්තේ ඒ  සඳහා ඒ අයට අවශ්‍ය  පහසුකම් උපදෙස් සොයලා දීලා ඒ වගේම වෙළඳපොළ සොයල දීල මේ හැම දෙයක්ම අපි ආණ්ඩුව හැටියට  භාර අරගෙන සහයක් හැටියට ඒවා ටික හෙයලා දීලා උදව් කළ යුතුයි. පොඩි පොඩි කර්මාන්ත ව්‍යාපාර ගමේ ඇතිවෙනවා කියන්නේ ගමට රැකියා ටිකක් බිහිවෙනවා.දැන් ඔය ඊයේ පෙරේදා අප ගිය තැන්වලිනුත් අපිට කිව්වේ අනේ මහත්තයෝ මම හොයන්නේ මගේ දරුවනුත් බලාගෙන, ගෙදර ඉඳලා කරන්න පුළුවන් රැකියාවක් හරි ව්‍යාපාරයක් හරි කියලා. ගොඩක් අය ඉල්ලන්නේ එහෙම රැකියා.

සමහර අයගේ දරුවෝ ආබාධිතයි. එතකොට රැකියාවක් හොයද්දි එයාලා බලන්නේ අර ආබාධිත දරුවන්වත් බලාගෙන කරන්න පුළුවන් රැකියාවක්.ඒ කියන්නේ ගෘහ ආශ්‍රිත රැකියා සහ කර්මාන්ත ව්‍යාපාර වගේ දේවල්.ලෝකෙ මේ වෙද්දි ඒ වගේ ප්‍රවනතාවයක් හැදිලා තියෙනවා.ලෝකයේ බොහෝ දියුණු රටවල්වල තියෙන එසෙම්බල් කරනවා කියලා එහෙමත් නැත්නම්  එකලස් කරනවා කියන්නේ . සමහර ප්‍රකට ජංගම දුරකථන පවා මේ ආකාරයට මහා පරිමාණයෙන් ඒ නිෂ්පාදනය කරන මහා පරිමාණ ආයතන ඒවායේ යම් යම් උපාංග එසැම්බල් කරන්න ගෘහ ආශ්‍රිතව ඒ කාර්යභාරවල නිරත වෙන අයට ලබාදෙනවා.  එතකොට ඔය වගේ දේවල් බොහෝ වෙලාවට එකලැස් කරන්නේ එක්කෝ ගෘහ ආශ්‍රිතව. නැත්නම් නිවාස ආසන්නයේ ඇති කුඩා කුඩා වැඩපළවල්වල..

තමන්ගේ කුටුම්භත් එක්කම ඒ ආර්ථික නිෂ්පාදන ක්‍රියාවලිය තුළ ඒ අය  නිරත වෙනවා. ඒකෙන් එයාලගේ පවුල් ජීවිතය එහෙම නැත්නම් කුටුම්භ ජීවිතය, තමන්ගේ අඹු දරුවන් පෝෂණය කිරීම රැක බලා ගැනීම වගේ කාර්යයන් ඉටුවන අතරම රටේ ආර්ථිකයට විශාල ශක්තියක් ලබා දෙනවා.
ඒත් එක්කම ගොඩක් දෙනෙක් අද රැකියාවලින් ඉවත් වෙලා ඉන්නවා .

මොකද දරුවන්ව ගෙදර දාලා රැකියාවන් කරන්න  බැහැ කියලා.එක පැත්තකින් ඒක ගත්තහම ඒක ආර්ථිකයට ලොකු පාඩුවක්. එතකොට ඒ අයව රැකියාවට ගෙන්න ගන්න නම්, ඒ දරුවාගේ ප්‍රශ්නය ආණ්ඩුව භාර ගන්න ඕනා. එතකොට ජාතික ජන බලවේග අපේ ආණ්ඩුව මගින් ඒකට පිළියමක් විදිහට හොඳ දිවා සුරකුම් මධ්‍යස්ථාන බිහිකරනවා.

උදාහරණයක් විදිහට ගත්තොත් ඒ දිවා සුරැකුම් මධ්‍යස්ථානවලින් ළමයි ,ගෙදර යන්න බැහැ කියලා කියන ,මම මෙහේ ඉන්නවා කියන තත්වෙට ගැලපෙන දිවා සුරැකුම් මධ්‍යස්ථාන බවට පත්නල යුතුයි. දැන් තියෙන දිවා සුරැකුම් මධ්‍යස්ථානවල  ඉන්න දරුවෝ මග බලාගෙන අඬ අඬා ඉන්නවා අම්ම එනකන්. හරියට කන්න දීලා නෑ,  කන මිරිකනවා, ගහලා ,හපලා, අම්ම කන්න දීලා ගිය කෑම එකෙනුත් භාගයක් හංගගෙන. එහෙම නොවිච්චි ප්‍රමිති ගත කරපු දිවා සුරැකුම් මධ්‍යස්ථාන බිහිකිරීම තමයි අපේ පරමාර්ථය . ඒවා පුහුණු  කර්මණ්ඩලයක් හරහා තමයි ක්‍රියාත්මක වෙන්නේ.  ඉතින් ඔන්න ඔය කියපු මේ ක්‍රම දෙකෙන්ම සිදුවන්නේ ගමේ ආර්ථිකය ශක්තිමත් කිරීම. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ගම තුළ ස්ථාපිත විය යුතුයි. එහෙම වුනොත් තමයි ගමේ ආර්ථිකය ශක්තිමත් වෙන්නේ. ගමේ ආර්ථිකය යම් ආකාරයකට විශාල ලෙස  වර්ධනය වුනා කියන්නේ ඒක රටේ සමස්ත ආර්ථික වර්ධනයට තුඩු දෙන සුවිශල් සාධකයක් බවට පත්වෙනවා.

කටානේ සහ විශේෂයෙන්ම මීගමුවේ හිටපු  සහ දැනටත් සිටින දූෂිත රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් ඔබ ඇතුළු ජන බලවේග ආණ්ඩුවේ ප්‍රතිපත්තිය කුමක්ද ? .

ඇත්තෙන්ම කිව්වොත් රාජ්‍ය නිලධාරීන්ටත් වඩා රාජ්‍ය නිලධාරීන්ට උඩින් සිටින දේශපාලඥයින් තමයි අන්ත දූෂිත. ඒ කියන්නේ මුදුන තමයි අන්න දූෂිත. මුදුනේ ඉඳලා  පල්ලෙහාටම ඔය ආභාෂය එනවා. ඔන්න දැන් අපි මුදුන වෙනස් කළා. එහෙම මුදුන වෙනස් වුණාට පස්සේ ඔය කියන තත්ත්වය සම්පූර්ණ වෙනස් වෙනවා.  ඒත් එක්කම ඔය ප්‍රශ්නය සෑහෙන දුරකට විසඳෙනවා.

ඒක විසඳෙනවා වගේම අපි හදපු ශක්තිමත් නීති පද්ධතියක් තියෙනවා,අපි හදපු නීති ක්‍රියාත්මක කිරීමේ ශක්තිමත් ක්‍රමවේදයක් තියෙනවා, ඒ ඔක්කොම හරහා මම හිතනවා   දූෂිත නිලධාරියෙක් හිටියොත් ඔහුටත් මේ අලුත් තත්ත්වය තුළ හැඩ ගැසෙන්නට සිද්ධ වෙනවා. එහෙම නොවුනොත් ඒ රාජ්‍ය නිලධාරියා සම්බන්ධව අපට දැඩි තීරණයක් ගන්න සිදුවෙනවා.

ඒකට අපි පැකිලෙන්නේ නෑ. දැන් පසුගිය  කාලේ නම් වුනේ ඇමතිලා එක්ක හොරා කෑවට පස්සේ, ඇමතිට බෑ ඒ රාජ්‍ය නිලධාරීන් සම්බන්ධව තීරණයක් ගන්නත් ,ක්‍රියාමාර්ග ගන්නත්. මොකද දේශපාලනඥයා සහ රාජ්‍ය නිලධාරියා දෙන්නම එකතු වෙලානේ ඒ වැඩේ කරලා තියෙන්නේ. ඉතින් රාජ්‍ය නිලධාරියා කොච්චර දූෂිතයෙක් වුනත්  ඇමතිට බෑ ඔහු ගැන තීරණයක් සහ ඔහු ගැන ක්‍රියාමාර්ගයක් ගන්න .මොකද ඇමතිගේ පයිල් එක තියෙනවා රාජ්‍ය නිලධාරියා ගාව රාජ්‍ය නිලධාරියාගේ ෆයිල් එක තියෙනවා ඇමති ගාව.

ඉතින් දෙන්නට දෙන්න එකිනෙකාගේ පිට කසා ගැනීමක් තමයි අන්තිමට සිද්ධ වෙන්නේ. ඉතිං අපි කියන්නේ අපි එහෙම නෑ, අපේ උඩ ඉඳලා පල්ලෙහාට, අපි දීමනා ආදි දේ  නැතුව අපි වැඩ කරනවා. අපිව ආදර්ශයට අරන් සමහර කොටසක් හැදෙයි. එහෙම හැදෙන්නැති කොටසකුත් ඉන්න පුළුවන්. ඒ  අයගෙන් සමහරක් අයව මාරු කරන්න සමහර අයට දඬුවම් දෙන්න වෙයි. සමහර අයව සේවයෙන් ඉවත් කරන්න වෙයි. ඒ අනුව අපි බලනවා කාලයක් දීලා, ඒත් දිගටම වැඩේ වෙනවා නම් හැමෝටම දේශපාලකයාට, රාජ්‍ය නිලධාරියාට සහ සාමාන්‍ය පුරවැසියට මේ හැමෝටම එක හා සමානව නීතිය ක්‍රියාත්මක කරනවා.

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය සාධාරණත්වයක්  ඉෂ්ට වෙයිද ?

ඇත්තටම පාස්කු ප්‍රහාරය දඩමීමා කරගෙන අනුර කුමාර සහෝදරයා ජනාධිපති වුනා නෙමෙයි, හැබැයි.වෙනත් දේශපාලන පක්ෂ කතෝලික ජනතාව රවටලා ගිය එක විතරයි වුනේ. පාස්කු ප්‍රහාරයෙන් වින්දිත වූ පිරිසට සාධාරණත්වය ඉෂ්ට කරනවා කියලා බලයට ආපු ගෝඨාභය රාජපක්ෂත් ඒකේ චූදිතයෝ නිදැල්ලේ තියලා පාස්කු ප්‍රහාරයේ වාර්තා යට ගහලා කටයුතු කළා. අනෙක්  එක එයාලට ඒක කරන්නත් බැහැ

මොකද එයාලත් මේකට සම්බන්ධ නිසා, මොකද ඒ දෙගොල්ලෝම එක කණ්ඩායමක් නිසා. ඉතින් අපි හිතනවා කතෝලික ජනතාව වරින්වර එයාලා විසින් රැවට්ටුවා.අනෙක් කරුණ තමයි රටක පාලකයෝ එහෙම නැත්නම් ආන්ඩු පක්ෂයට  වගකීමක් තියෙනවා මේකට සාධාරණත්වය ඉෂ්ට කරන්න . එනිසා අපි කතෝලික ජනතාව රවට්ටලා ඒ අයට බලාපොරොත්තු දීලා, ඒ බලාපොරොත්තුව දඩමීමා කරගෙන බලය ගත්ත නෙමෙයි. අපි කතෝලික ජනතාවට ඇත්තම කිව්වා.

අපි බලයට එනවා. අපි බලයට  ඇවිල්ලා මේකට සාධාරණය ඉෂ්ට කරනවා කියලා, අපි කටුවපිටිය දේවස්ථානයට ගිහිල්ලා, ඒ අය සමග කතා කරලා, තොරතුරු අරගෙන, අපේ අනුර කුමාර සහෝදරයත් ඒ දේවස්ථානයට ආවා. ඒ අය සමග කතා කෙරුවා. ඒ වගේම කාදිනල් උන්වහන්සේ එක්කත් අපි මුලින් සාකච්ඡා කරලා, අපි හදාගත්තු වැඩපිළිවෙළක් තියෙනවා.

ඇත්තටම තියෙන්නේ මේකට හරි සාධාරණයක් ඉෂ්ට කරන එකයි. එපමණයි තියෙන්නේ. ඒ නිසා අවසාන වශයෙන් මම කියන්න කැමති මේ ප්‍රශ්නෙදි අපි පස්සට යන්නේ නැහැ. ඒ සඳහා අපි අනිවාර්යෙන්ම ක්‍රියාමාර්ග ගන්නවා. ඒ සඳහා දැනටමත් අපේ රජය විසින් අවශ්‍යය ක්‍රියාමාර්ග ගෙන ඒවා ක්‍රියාත්මක වෙමින් පවතිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here