මීගමුවෙන් බිහිවු සුපිරිතම සංගිත කණ්ඩායම ”සන්ෂයින්” ! නායකයා ලාල් ..!

0
48

රිදම් ගිටාර් වාදන ශිල්පියකු ලෙසත්, නියාමක ගායන ශිල්පියකු ලෙසත් ශ්‍රී ලාංකේය කණ්ඩායම් සංගීත ක්ෂේත්‍රය තුළ ප්‍රකට වූ විතානගේ ග්‍රේෂන් ලාල් හෙවත් ලාල් විතානගේ මෙරට අතිශය ජනප්‍රියත්වයට පත් සන්ෂයන් සංගීත කණ්ඩායමේ නායකයායි. 1980 දශකයේ අග භාගයේ සිට මේ දක්වාම සන්ෂයින් සංගීත කණ්ඩායමේ හිමිකාරිත්වය දරන්නේ ඔහුයි. වර්ෂ1978 සිට මේ දක්වාම පුරා දශක පහකට ආසන්න කාලයක් ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රය තුළ තවමත් ජනප්‍රියත්වයේ සිටින ඔහු සමගින් අප සිදු කළ කෙටි පිළිසඳර පහත පළවේ.

ඔබ වෘත්තීය මට්ටමේ සංගීත ශිල්පියෙකු සහ ගායකයෙකු බවට පත් වූයේ ඔබේ පවුල් පසුබිම නිසා නේද ?

ඔව්. එකේ යම් ඇත්තක් තියෙනවා. මගේ මවගේ පාර්ශවයේ ඥාතීන් තමයි සංගීතයට වැඩිය නැඹුරුවෙලා හිටියේ. මගේ පියා රැකියාව කෙරුවේ ප්‍රේෂකර්මාන්ත දෙපාර්තමේන්තුවේ. මගේ මව රැකියාවක් කෙරුවේ නෑ. අපේ පවුලේ හතර දෙනයි.මම පවුලේ බාලයා. මට වැඩිමල් අක්කලා තුන්දෙනෙක් හිටියා. මගේ පියාගේ පාර්ශවයේ අයට නම් දරු නැලවිල්ලක් වත් හරියට කියාගන්න බෑ. නමුත් මගේ මවගේ පාර්ශවයේ අය තමයි විශේෂයෙන්ම මගේ මවගේ අක්කගේ දුවගේ පුතා තමයි ලංකාවෙම ප්‍රසිද්ධ ලීඩ් ගිටාර් වාදන ශිල්පී රෝයි කාරියකරවන කියන්නේ.ඒත් එක්කම එයාගේ මල්ලි සුසන්ත කාරීයකරවනත් දක්ෂ ගිටාර් වාදන ශිල්පියෙක්.

ඉතින් මේ අයගේ සංගීතයට තිබුණු නැඹුරු වීම හා ඔවුන්ගේ දක්ෂතා වල ආභාෂය මටත් යම් තරමකින් තිබුණා. අනිත් එක මේ රෝයි කාරියකරවන හිටියේ කුරණ මගේ ගේ ළඟමයි. ඉතින් මට නිතරම ඇහෙන්නේ ගිටාර් වාදන මැඩලින් වාදන වගේ දේවල්, ඒත් එක්කම මගේ ඇඟෙත් සංගීතයට යම් ආභාෂයක් තිබුණා. ඒත් එක්කම 1960 වගේ කාලේ ඉඳලාම වගේ තිබුණු ” මී මැස්සෝ” සහ ” සමනලයෝ ” කියන කැලිප්සෝ සංගීත කණ්ඩායම් කලෙත් ඔය රෝයි කාරියකරවනලාගේ මාමලා. ඉතින් ඔය සේරම දේවල් එකතු වෙලා තමයි මම හිතන්නේ මාව වෘත්තීය මට්ටමේ සංගීත ශිල්පියෙක් බවට පත්වෙන්නේ.

ඔබ රිදම් ගිටාර් වාදන ශිල්පියෙකු විදිහට සහ නියාමක ගායන ශිල්පියෙකු විදිහට කණ්ඩායම් සංගීත ක්ෂේත්‍රයට පිවිසුනේ කොහොමද ?.

මට අපේ රෝයි ලීඩ් ගිටාර් වාදනය කරනවා දැකලා, මට හිතුණා මම රිදම් ගිටාර් වාදනය කෙරුවොත් හොඳයි කියලා. ඒ අනුව මම රෝයිගෙන් එක කෝඩ් එකක් අහගත්තා. මොනවා වුනත් මගේ ඇඟේ මියුසික් රිදම් එක තියෙනවා. ඉතින් රෝයි මට කියලා දුන්නේ ඒක ගිටාර් කෝඩ් එකක්. එතන ඉඳලා මම ක්‍රම ක්‍රමයෙන් රිදම් ගිටාර් කෝඩ්ස් ටික හොඳට ප්‍රැක්ටිස් වුණා . පස්සේ ටික කාලෙකින් මට හොඳට රිදම් ගිටාර් ගහන්නත් පුළුවන් වුණා. මට පොඩි කාලේ ඉඳලා තිබුණා ගීත ගායනයට දක්ෂතාවයක්. ඒ නිසා මමයි ,රෝයි කතා කරලා අපි සංගීත කණ්ඩායමක් පිහිටුවා ගත්තා 1978 විතර වගේ කාලෙදි “සුපර් රිදම්” එන්ටටේර්ට්මන්ට් කියලා. ඒ බෑන්ඩ් එකේ 05 දෙනෙක් හිටියා . ඒක ඇත්තටම ෆුල් බෑන්ඩ් එකක්. මේ බෑන්ඩ් එකට සවුන්ඩ් සප්ලයි කෙරුවේ ඒ කාලේ හිටියා මීගමුවේ කුයින්ටන් අය්යා කියලා කෙනෙක්. දැන් නම් එයා මිය ගිහිල්ලා. එයාගේ සවුන්ඩ්ස් අරගෙන තමයි අපි මේ බෑන්ඩ් එක කරන් ගියේ. රෝයි ලීඩ් ගිටාර් කෙරුවා.මම රිදම් ගිටාර් කෙරුවා.අපිට සවුන්ඩ් සප්ලයි කරපු කුයින්ටන් අයියගේ මල්ලි කෙනෙක් හිටියා අයනර්ස් කියලා. එයා තමයි අපේ බෑන්ඩ් එකේ ඩ්‍රම්ස් කෙරුවේ. තව කුයින්ටන් අයියගෙම ගේ ගාව එරික් කියලා කෙනෙක් හිටියා ,එයා තමයි බේස් ගිටාර් කෙරුවේ. ඒත් එක්කම වෙන්නප්පුවේ හිටියා මෙරිල් කියලා එක්කෙනෙක්. එයා තමයි කීබෝඩ්ස් කෙරුවේ. ඔය විදිහට තමයි අපේ බෑන්ඩ් එක හැදුනේ

කුයින්ටන් අය්යාගේ සවුන්ඩ් වලින් කරගෙන යන තව බෑන්ඩ් එකක් තිබුණා . ඒකේ නම ” බේබි අනුෂා ඇන්ඩ් සුපර් රිදම් ” කියලා. ඒකත් ඉතාම දක්ෂ බෑන්ඩ් එකක්. ඉතින් අපේ බෑන්ඩ් එක පටන් ගන්න කාලෙත් මම පාසල් යනවා. මම මුලින්ම පාසල් ගියේ කුරන සාන්ත ආනා විදුහලට. පස්සේ මම මීගමුවේ ශාන්ත පීතර විදුහලට ආවා. මම සාමාන්‍ය පෙළ සමත් වුණා. නමුත් මම උසස් පෙළ කරන්න ගියේ නෑ. සංගීතයට සහ අපේ බෑන්ඩ් එකේ වැඩකටයුතු ඉදිරියට හොඳින් කරගෙන යන්න වැඩිපුරම උවමනා වුනේ. ඉතින් මම පාසල් යන කාලේ ඉඳලම වාදකයෙක් විදිහටත් ගායකයෙක් විදියටත් ජනප්‍රිය කෙනෙක් වුණා.

එතකොට ඔබ නායකත්වය දරන සහ දැනටත් හිමිකාරීත්වය දරන ” සන්ෂයින් ” සංගීත කණ්ඩායම පිහිටුවා ගත්තේ කොහොමද ?

ඉතිං මම අර කලින් කිව්ව විදිහට අපි පටන් ගත්තු සුපර් රිදම් එන්ටර්ටේට්මන්ට් කියන බෑන්ඩ් එක 1984/85 විතර වගේ වෙනකන් අපි කරගෙන ගියා. පස්සේ ඒකෙදී පොඩි පොඩි ප්‍රශ්න ටිකක් ඇවිල්ලා, රොයි, මමයි ඒකෙන් අයින් වුණා. ඊට පස්සේ ඔය කැනල් පාරේ හිටියා මෛත්‍රී කියලා හරි ඩ්‍රම්ස් ගහන කෙනෙක්. රොයි, මමයි එයාට ගිහින් කතා කෙරුවා,අපිත් එක්ක බෑන්ඩ් එකක් කරන්න එන්න කියලා. ඒ වෙද්දි මේ මෛත්‍රී කියන කෙනා සංචාරක හෝටල් වල ප්ලේ කරන බෑන්ඩ් එකක හිටියා “ෂෙරිඩන් ඇන් ද සන්ෂයින්” කියලා. ඒකේ නායකයා වුණේ ෂෙරිඩන්. මෛත්‍රී එතකොට අපිට කිව්වා, සුපර් රිදම් කියන නම ගන්නේ නැතුව වෙන නමකින් බෑන්ඩ් එකක් හදාගමු කියලා ඊට පස්සේ එයා යෝජනා කළා,

අපි මේ බෑන්ඩ් එකට ෂෙරිඩන් වත් ගමු කියලා.ඒ වගේම ෂෙරඩන් කියන නම කපල දාලා ඒ බෑන්ඩ් එකට සන්ෂයින් කියන නම දාමු කියලා..එහෙම තමයි සන්ෂයින් බෑන්ඩ් එක අපි පටන් ගත්තේ. ඉතින් බෑන්ඩ් එකේ නායකයා වුණේ මම. බෑන්ඩ් එක පටන් ගත්තෙි 1985 විතර වගේ. බෑන්ඩ් එකේ පළමු ඕපන් ෂෝ එක අපි කෙරුවේ බඩල්ගම පල්ලියේ මංගල්‍යයට. බෑන්ඩ් එකේ ලීඩ් ගිටාර් කෙරුවේ රෝයි. මම රිදම් ගිටාර් කෙරුවා. මෛත්‍රී තමයි ඩ්‍රමිස් කෙරුවේ. දැන් ඔය ඇරොස්ටාර් බෑන්ඩ් එකේ ඇන්ටන් තමයි කී-බෝර්ඩි කෙරුවේ. එතකොට අර්නි පීරිස් ගේ මල්ලි පන්චි පීරිස් තමයි බේස් ගිටාර් කෙරුවේ. ඒත් එක්කම චමින්ද විමලසේන කියලා හොඳට සිංදු කියන්න පුළුවන් කෙනෙක්වත් මම බෑන්ඩ් එකට සම්බන්ධ කර ගත්තා.

අවුරුදු කීපයක් ඔහොම යනකොට බෑන්ඩ් එකේ ඩ්‍රම්ස් ගහපු මෛත්‍රිට පිටරට යන්න වුණා.ඊට පස්සේ දැන් ඔය ඇරොස්ටාර් එකේ ඉන්න රොෂාන්ව මම ඩ්‍රම්ස් ගහන්න බෑන්ඩ් එකට ගත්තා.ඔය බෑන්ඩ් එකේ සිංදු කිව්වේ මමයි චමින්දයි විතරයි. ඇන්ටන් ඉඳලා හිටලා සින්දුවක් කියනවා . බෑන්ඩ් එකේ වෙන අය සින්දු කිව්වෙ නෑ. මමයි ,චමින්දයි තමයි බෑන්ඩ් එකේ සින්දු කිව්වේ. ඉතින් 1985 විතර පටන් ගත්තු බෑන්ඩ් එක තවම ලංකාවේ ජනප්‍රිය බෑන්ඩ් එකක් විදිහට කරගෙන යනවා.

ඔබ නායකත්වය දරන සන්ෂයින් සංගීත කණ්ඩායම පටන් ගත්තු 1980 දශකයේ කාලයේ මේ ප්‍රදේශයෙන් බිහි වුනු වෙනත් සංගීත කණ්ඩායම් ගැන කෙටියෙන් විස්තර කලොත් ?

ඒ කාලේ මට මතක විදිහට පෑලියගොඩ ඉඳලා මීගමුවට වෙනකල් තිබුනේ අපේ බෑන්ඩ් එකයි අර මම කලින් සඳහන් කෙරුව බේබි අනුෂා ඇන්ඩ් සුපර් රිදම් කියන බෑන්ඩ් එක විතරයි. මම මේ කිව්වේ ඕපන් ෂෝ කරන බෑන්ඩ් වලින්.තව පොඩි පොඩි බෑන්ඩ් තිබුණ ඒ කාලේ. මට මතක විදිහට ස්ටීරියෝ සොනික් වගේ නමකින් බෑන්ඩ් එකක් තිබුණා. තව මේ කොච්චිකඩේ පැත්තේ ඔය හියුගෝ ප්‍රනාන්දු මාස්ටර්ගේ පුතාලා හදාගෙන තිබුණා බෑන්ඩ් එකක් ” ස්පයිඩර්ස්” කියලා. ඒක හුඟක් ඔය කැලිප්සෝ විදිහට, හොටෙල් සයිඩ් එකේ ප්ලේ කෙරුවේ. එතනින් එහාට , ඒ කියන්නේ මේ ප්‍රදේශයේ ඉඳලා යාපනයට වෙනකන් එහෙම ජනප්‍රිය වුනු බෑන්ඩ් එකක් ඒ කාලෙ තිබුණෙ නෑ, මට මතක විදිහට .

දැන් ඔබ, කිව්වා තවමත් ඔබ තමයි සන්ෂයින් සංගීත කණ්ඩායමේ නායකයා සහ එහි හිමිකරු කියලා.නමුත් මෑතක ඉඳලා අපි ඔබව ප්‍රසංග වේදිකාව තුළ දැක්කේ නැහැ, වාදකයෙක් විදිහට හෝ ගායකයෙක් විදියට. ඇයි දැන් ඔබ සංගීත ප්‍රසංග වලට සහභාගි නොවෙන්නේ ?

ඔව් මම ඇත්තටම සන්ෂයින් සංගීත කණ්ඩායමේ නායකයා සහ හිමිකරු.ඒ වුණාට මං මේ වෙද්දි බෑන්ඩ් ෂෝ වලින් ටිකක් විතර ඉවත් වෙලා ඉන්නේ. මොකද කිව්වොත් මගේ බාල අක්කගේ පුතා සුපුන්. ඔහුට මම බාර දීලා තියෙනවා බෑන්ඩ් එක කරගෙන යන්න. ඔහු තමයි මේ බෑන්ඩ් එකේ මේ වෙද්දි ලීඩ් ගිටාර් ප්ලේ කරන්නේ.ඉතින් අර කතාවකුත් තියෙනවනේ, තරුණ අයට ඉදිරියට එන්න ඉඩ දෙන්න ඕන කියලා. අන්න ඒ නිසාත් තමයි මම තරුණයන්ට ටිකක් ඉඩ දීලා පැත්තකට වෙලා ටිකක් රෙස්ට් එකේ ඉන්නේ. ඒ වුනාට බෑන්ඩ් එකේ හැම දෙයක්ම මම හොයලා බලලා කරනවා, මේකේ නායකයා සහ හිමිකරුවා විදිහට.

දැන් මේ රටේ ඉන්න හුඟක් දක්ෂ ගායක ගායිකාවෝ, වාදකයෝ, සහ සංගීතඥයන් බොහොමයක් බිහිවෙලා තියෙන්නෙ මේ කතෝලික දේවස්ථාන තුළින්. දැන් මීගමුව ප්‍රදේශය ගත්තත් එහෙමමයි. උපතින්ම කතෝලිකයෙක් ලෙස ඔබ මේ තත්ත්වය දකින්නේ කොහොමද?

ඒක ඇත්ත කතාවක්.දැන් ගත්තහම මුළු රටේම ඉතාම ජනප්‍රිය ලතා වල්පොල මහත්මිය, රූකාන්ත ගුණතිලක මහත්මා වගේම ස්ටැන්ලි පීරිස් වැනි සංගීතඥයින් බොහෝ දෙනෙකු බිහිවෙලා තියෙන්නේ, කතෝලික දේවස්ථාන හරහා. මොකද අපි දේවස්ථානයකට ගියාම අපට ඇහෙන්නේ ගීතිකා ගායනාවන් . පූජාවන් වලදී කරණ යාඥාවන් පවා බොහෝ අවස්ථාල සංගීතය සමග තමයි ගායනා වෙන්නේ. දේවස්ථානයේ නිතරම අපට සුමියුරු සංගීතය තමයි කනට ඇහෙන්නේ. ඉතින් දේවස්ථානයට යන බොහෝ අයට ඔය සංගීතමය රිද්මය, ගායන විලාශයන් නිතරම ඇහෙනවා. ඉතින් ඒ බොහෝ දෙනෙකුට ආයේ සංගීතය කියලා අමුතුවෙන් ඉගෙන ගන්න දෙයක් නෑ. ඒ ආභාෂය ඇගේම තියෙනවා. මං මෙතැනදී අනිත් ආගම් වල අයට මේ දේවල් බෑ කියලා කියන්නේ නෑ. නමුත් මේක කතෝලික දේවස්ථාන වලට යන කතෝලිකයන්ට ලැබෙන විශේෂිත දෙයක් විදියට තමයි මම මේක දකින්නේ.

ඔබ සංගීත ක්ෂේත්‍රයට පිවිසෙන කාලේ හිටිය සංගීත ශිල්පීන් සහ වර්තමානයේ ඉන්න සංගීත ශිල්පීන් අතර වෙනස කොහොමද ඔබ දකින්නේ ?

ඔව් ඇත්තටම විශාල වෙනසක් දකිනවා.මොකද අපි මේ ක්ෂේත්‍රයට ආපු කාලේ අපිට හරි හමන් ගුරුවරයෙක් හිටියෙත් නැහැ. අපි හැම දෙයක්ම තනි තනියමම තමයි බොහෝ දේවල් අපි ඉගෙන ගත්තේ.කාගෙන් හරි දන්න කෙනෙකුගෙන් අහගෙන කරගෙන අපිම සමහරක් දේවල් අත්හදා බලලා ඒ ලබා ගත්තු අත්දැකීම් නිසා තමයි අපි මේ ක්ෂේත්‍රයට ආවේ. අපි ඒ කාලේ ඔය හැම දෙයක්ම කෙරුවේ . ඒ කාලේ අපිට ඕන දෙයක් කරන්න ලොකු නිදහසක් තිබුණා. ඒ වගේම අපට කිසිදු තරගකාරීත්වයක් තිබුණේත් නැහැ. නමුත් අද කාලේ ඉන්න අයට එහෙම නිදහසක් නෑ.

ආයේ අත්හදා බල බල ඉන්න වෙලාවකුත් නෑ. ඉහළ දැනුමක් ඇති ප්‍රවීණයන්ගෙන් හැකි පමණ ඉගෙන ගැනීම තමයි අද කාලේ අත්‍යවශ්‍යම දේ . මොකද අද කාලේ සංගීත ශිල්පීන්ට , ගායකයන්ට විශාල තරගකාරීත්වයකට මුහුණ දෙන්න සිදුවෙලා තියෙනවා. ආයේ බල බල ඉන්න වෙලාවක් නැහැ. බල බලා හිටියොත් ඒ අයව පාස් කරගෙන වෙන කට්ටියක් ඒ ගමන යනවා. ඒක නිසා අද සංගීත ක්ෂේත්‍රය විතරක් නෙමෙයි සෑම ක්ෂේත්‍රයකම තියෙන තරඟකාරීත්වයට මුහුණ දීලා ජයග්‍රහණය කළොත් තමයි සාර්ථක වෙන්න පුළුවන් වෙන්නේ. මොන ක්‍රමයකින් හරි අලුත් අලුත් දැනුම අත්දැකීම් වාගේ දේවල් එකතු කර ගැනීම තමයි වඩා වටින්නේ.ඒත් එක්කම උපරිම කැපවීම අද කාලේ සාර්ථකත්වයට අත්‍යවශ්‍යම දෙයක් විදිහටත් මම දකිනවා.

අද කාලේ බිහිවෙලා තියෙන දක්ෂ සංගීත කණ්ඩායම් සහ සංගීතඥයන් පිළිබඳව කෙටියෙන් පැවසුවොත්

අද කාලේ නම් ,අපි මේ ක්ෂේත්‍රයට එන කාලේ වගේ නෙවෙයි.සංගීත කණ්ඩායම් නම් බොහෝමයක් තියෙනවා. එවගේමයි සංගීත ශිල්පීනුත් විශාල ප්‍රමාණයක් අපේ ප්‍රදේශයෙත් ඉන්නවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ බොහෝ සංගීත ශිල්පීන්ට සහ සංගීත කණ්ඩායම් වලට ක්ෂේත්‍රයේ රැඳී සිටීමට නොහැකියි. සමහර වෙලාවට ඉක්මනට ජනප්‍රිය වෙලා ටික කාලෙකින් රසිකයන්ට ඒ නමත් අමතක වෙලා යනවා.
එහෙම ගත්තහම දැනට ක්ෂේත්‍රයේ කීපදෙනෙක් ඉන්නවා. දැන් මාත් එක්ක එකට වැඩ කරපු මගේ ඥාතියා රෝයි කාරියකරවන ඔහු තමයි මේ වෙද්දී ගැලැක්සීස් සංගීත කණ්ඩායම මෙහෙයවන්නේ. ඔහු නම් ඉතින් සැබෑම දක්ෂයෙක්. ඒ වගේමයි ප්ලෑෂ් බෑක් සංගීත කණ්ඩායමේ නායකයා රොෂාන් ප්‍රනාන්දු ඔහු ඉතා හොඳින් ඒ වගේම ඉතාම දක්ෂ ලෙස ඒ සංගීත කණ්ඩායම ජනප්‍රියත්වයට පත් කරලා තියෙනවා. ඒ වගේම දැන් සන්ෆලවර් සංගීත කණ්ඩායම කරගෙන යන සුදත් මාවලගේත් ඉතා හොඳින් ඒ කණ්ඩායම කරගෙන යනවා.
විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන සංගීත ශිල්පියෙක් තමයි අපේ මේරියන්ස් කණ්ඩායමේ නලින් පෙරේරා.නලින් කියන්නේ මගේ ළඟම හිතවතෙක් ඒ වගේම මගේ සහෝදරයෙක් වගේ කෙනෙක්. ඔහු දැනට කාලෙකට ඉස්සර ඔහු යම් තීරණයක් ගත්තා. ඒ තීරණය අද අති සාර්ථක වෙලා තියෙනවා. ඔහු තීරණයක් ගත්තා එතෙක් කරන් ආපු ඉලෙක්ට්‍රික් සංගීත භාණ්ඩ වෙනුවට තමන්ගේ කණ්ඩායම එකෝස්ටික් සංගීත භාණ්ඩ උපයෝගී කරගෙන ප්‍රසංග පවත්වන්න. ඒ කියන්නේ අන්-ප්ලග් ප්‍රසංග පවත්වන්න.මම හිතන්නේ නලින් තමයි එයාගේ මේරියන්ස් කණ්ඩායමත් එක්ක මේ අන්-ප්ලග් ප්‍රසංග කලාව මේ රටේ රසික ජනතාව අතර වැඩියෙන්ම ජනප්‍රිය කෙරුවේ. දැන් නලින් පෙරේරා ගත්තත් කණ්ඩායම් සංගීතය තුළින් බිහිවුණු හොඳ සංගීතඥයෙක්. ඒ වගේමයි සංගීත් විජේසූරිය . ඔහුගේ වායෝ සංගීත කණ්ඩායමත් අර මම කලින් කිව්ව අන්-ප්ලග් ප්‍රසංග රටාවට මේ වෙද්දී වැඩි නැඹුරුවක් තියෙන සංගීත කණ්ඩායමක්. ඒ වගේම සංගීත් ප්‍රසංග කලාව තුළ යමක් කරන්න පුළුවන් හොඳ දක්ෂයෙක් විදිහට මම දකිනවා. එතකොට මීගමුවේ දිනේෂ් සුබසිංහ දැනට ලංකාවේ ඉන්න දක්ෂතම සංගීතඥයෙක් ලෙස හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන්ම සංගීත අධ්‍යක්ෂණය තුළ ඔහු ඉතා දක්ෂයෙක්. වාදන ශිල්පියෙකු ලෙස ඔහු විශේෂ දක්ෂතා තියෙන කෙනෙක්. ඒ වගේම ඩී.ආර්.සී. මෙමිබර්ස් කණ්ඩායම කරන හෙක්ටර් ඩයස් හොඳ දක්ෂතා තියෙන සංගීත ශිල්පියෙක්.

මට මෙතැනදී විශේෂ කාරණා දෙකක් කියන්න තියෙනවා.ඒ තමයි මේ සියලුම සංගීත කණ්ඩායම් බිහිවෙලා තියෙන්නේ වෙරලාශ්‍රිත ප්‍රදේශවල . අද ලංකාවේ තියෙන ජනප්‍රියතම සංගීත කණ්ඩායම් සහ සංගීත ශිල්පියෝ බිහිවෙලා තියෙන්නේ මීගමුව වෙන්නප්පුව කටුනේරිය මහවැව හලාවත .වගේ වෙරළබඩ ප්‍රදේශවලින්. මේ සංගීත කණ්ඩායම් වල ඉන්න බොහෝමයක් අය මේ ප්‍රදේශවලින්ම බිහි වුණ අය. මට හි⁣තෙන විදිහට මේ ප්‍රදේශවල වැඩිපුරම ඉන්නේ ධීවර කර්මාන්තය තුළ නියැලෙන පිරිස්. මෙන්න මේ ධීවර කර්මාන්තය තුළ නියැලෙන බොහෝ අයට තියෙනවා විශේෂයෙන්ම සංගීත කලා හැකියාව කියන එක. ඒක එයාලගේ ඇඟේම තියෙන දෙයක් විදිහට තමයි මම දකින්නේ. දැන් බලන්න හලවත ප්‍රදේශයේ හිටපු සුප්‍රසිද්ධ මර්වින් මිහිඳුකුල කියන ගායකයා. එයා මොන තරම් ලස්සනට ගීත ගායනා කරනවද. එයාගේ කටහඬ, ගීත ගායනා කරන විලාශය. ඔහු ධීවර පවුලක කෙනෙක්. ඉතින් ධීවර කර්මාන්තය තුළ නියැලෙන ඒ පවුල්වල අයට, ඒ වගේම ඒ ප්‍රදේශවල ජීවත්වෙන අයට මේ සුවිශේෂී කලා හැකියාවන් සහජ⁣යෙන්ම පිහිටලා තියෙනවා කියලයි මම නම් හිතන්නේ.

අනෙක් කාරණාව තමයි දැන් අපි මීගමුවේ පිටිපන වගේ ප්‍රදේශයකට ගිහින් බලන්න, මොනතරම් කලා හැකියාවන් තියෙන අය ඒ ප්‍රදේශවල ඉන්නවද ? ගීත ගායනා කරන්න, සංගීත භාණ්ඩ වාදනය කරන්න, නාට්‍ය රඟපාන්න, පුළුවන් අය කොයිතරම් ඔය ප්‍රදේශවල ඉන්නවද . අනිත් එක තමයි මේ මීගමුව කියන්නෙම කලා පුරවරයක්. එදා රුක්මණි දේවි , හියුගෝ ප්‍රනාන්දු මාස්ටර්,එඩී ජයමාන්න වැනි සුවිශේෂ කලාකරුවෝ රැසක්ම බිහිවෙලා තියෙන්නේ මේ මීගමුව ප්‍රදේශයෙන්. ඉතින් මට හිතෙනවා මීගමුව කියලා කියන්නේ ම ඇත්තටම ලංකාවේ විශේෂිතම කලා පුරවරයක් කියලා.

වාදකයෙකු, ගායකයෙකු සහ සංගීත කණ්ඩායමක නායකත්වය උසුලන කලාකරුවෙක් විදිහට, සංගීත කලාව තුළ භාවිතා වන නව තාක්ෂණය ගැන ඔබේ අදහස් දැනගන්න කැමතියි ?

මේ වෙද්දි ඇත්තටම නව තාක්ෂණය විසින් සංගීත කලාව ආක්‍රමණය කරලා තියෙන්නේ. සංගීත කලාව තුළ අද කාලේ සැබෑ දක්ෂයින් බිහිවීම අවම මට්ටමකට පත්වෙලා තියෙන්නේ. සංගීත කලාව තුළ අද කාලේ බිහිවෙන බොහෝ අය බහුතරයක් ම සැබෑ දක්ෂයින් නෙවෙයි. සියයට අනූපහක්ම (95%) සැබෑ දක්ෂයින් නෙමේ. දැන් අපි සංගීත කණ්ඩායම පටන් ගන්න කාලේ බෑන්ඩ් එකේ එකොස්ටික් ඩ්‍රම්ස්. තමයි ප්ලේ කෙරුවේ. පස්සේ 1985 පසුව විතර වගේ ලංකාවට ඉලෙක්ට්‍රික් ඩ්‍රම්ස් ආවා . දැන් මේ වෙද්දි ආයෙත් රසිකයෝ එකොස්ටික් පැත්තට බර වෙලා. මේ වෙද්දි සංගීත කණ්ඩායම් පවා ඉලෙක්ට්‍රික් ඩ්‍රම්ස් වලින් අයින් වෙලා එකොස්ටික් ඩුම්ස් ගහන්න පටන් අරන් තියනවා. ප්‍රශ්නේ තියෙන්නේ ලංකාවේ ඉන්න ඩ්‍රම්ස් වාදකයන්ගෙන් සියයට අනූපහකටම ( 95%) එකොස්ට්‍ක් ඩ්‍රම් ස් ගහන්න බැහැ. මොකද එකෝස්ට්‍ක්ස් ඩ්‍රම්ස් ගහන එකත් වෙනමම කලාවක් . ඒක හැම කෙනෙකුටම කරන්න බෑ. දැන් ඉලෙක්ට්‍රොනික් ඩ්‍රම්ස් නම් ඕන කෙනෙක් ගහයි. අරක එහෙම හැම කෙනෙකුටම කරන්න බෑ. ඒකට හොඳ පුහුණුවක් සහ හොඳ පලපුරුද්දක් තියෙන්න ඕන.අනික ඇඟෙන්ම එන රිද්මයක් තියෙන්නත් ඕන.

මේ අද ගත්තහම කොම්පියුටර් ඇප්ස් දාගෙන තාලයකට රිද්මයකට ගීත ගායනාවන් කරන්න බැරි අය පවා , අද ජනප්‍රිය ගායකයෝ වෙලා තියෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ, ඒ අය ඕපන් ෂෝ එහෙකට ගිහිල්ලා සජීවීව ගීත ගායනා කරන්න ගියාම,ඒක කරගන්න බැරුව අනාගන්නවා. නව තාක්ෂණය භාවිතා කරලා කොමපියුටර් ඇපස් වලින් ගීත ගායනා කෙරුවට ඒ අයට සජීවීව ගායනා කරන්න බෑ.දැන් ලංකාවේ ජනප්‍රියත්වයට පත්වෙලා ඉන්න ගායකයන්ගෙන් බොහොම සුළු ප්‍රමාණයකට විතරයි ඒ විදිහට සජීවීව ගායනා කරන්න පුළුවන්. බොහෝ දෙනෙක් සජීවී ව ගායනා කරන්න ගියොත් ගයන්නෙම ශෘතියෙන් පිටම තමයි. ඒක නිසා බොහෝ දෙනෙක් අද කාලේ ගායකයෝ බවට පත්වෙලා තියෙන්නේ මේ නව තාක්ෂණය හරහා. තව ටික කාලෙකින් කතා කරන්න බැරි ගොළුවොත් ගායකයෝ වෙයි, දැන් තියෙන මේ දියුණු තාක්ෂණය නිසා.

ඔබේ මේ සංගීත දිවිය තුළ අමතකම නොවෙන සිදුවීම ක් ගැන දැනගන්න කැමතියි.?

ඔව් . මම මේ කියන්න යන සිදුවීම නම් මගේ ජීවිතයේ කවදාවත්ම අමතක නොවෙන සිදුවීමක්. මට මතක විදිහට මේක සිද්ධ වුණේ 1990 විතර වගේ. අපි ඕපන් ෂෝ එකක් කරන්න ගියා, නිට්ටඹුව , රන්පොකුණගම , කියලා ඇතුලට වෙන්න තියෙන ගමක. එතන නිවාස සංකීර්ණයක් ඒ කියන්නේ ස්කීම් එකක් තියෙනවා. මේ ෂෝ එක ටිකට් ෂෝ එකක්. අපි ෂෝ එක එක කරගෙන යද්දි අපිට දැනගන්න ලැබුණා , මේ ෂෝ එක කරන ඒ සංවිධායක අපිට සල්ලි දෙන්න තියෙද්දී , එතනින් හොරෙන්ම මාරු වෙලා ගියා කියලා. ඉතින් ඊට පස්සේ මම ෂෝ එක ටිකකට නතර කරලා මම ම එනවුන්ස් කරලා කිව්වා ඇවිල්ලා ඉන්න සෙනඟට,මට මෙහෙම ප්‍රශ්නයක් වෙලා තියෙනවා, මට විනාඩි 20 ක වගේ කාලයක් දෙන්න , මම මේක විසඳගෙන ඇවිල්ලා ෂෝ එක විනාඩි 20 කින් අයේ කරනවා කියලා. ඉතින් ෂෝ එක බලන්න ඇවිල්ල හිටපු සෙනඟත් කිසිම ප්‍රශ්නයක් නැතුව හිටියා. ඊට කලින් අපිට දැනගන්න ලැබුණා අර අපිට හොරෙන් මාරු වෙලා ගිය මේ ෂෝ එක සංවිධානය කරපු කෙනා ළඟපාත ගෙදරකට වෙලා ඉන්නවා කියලා.මම ස්ටේජ් එකෙන් බැහැලා, ඒ ගේ ගාවට ගිහින් එන්න කලින්, මේ සංවිධායක මේ ෂෝ එකේ එනවුන්සර්ට ඒ කියන්නේ නිවේදකයාට කියලා මෙතනින් මේ ෂෝ එක නතර කරනවා කියලා එනවුන්ස් කරලා කියන්න කියලා. ඒක කිව්වා විතරයි මිනිස්සු සේරම එකපාරටම කුපිත වෙලා වගේ ගල්වලින් ගහන්න පටන් ගත්තා. ඒක නම් මාර ගැහිල්ලක්. .ගහනවා ගහනවා ඉවරයක් නෑ.

පස්සේ මේක බලන්න ඇවිල්ලා හිටපු කොල්ලෝ ගල් ගහන්න ගත්තේ ජොලියටත් එක්ක. ගල් ගැහුවා කියන්නේ මාර ගැහිල්ලක් ගැහුවා .අපේ කීබෝඩ්ස් වයර් වලින් තමයි එල්ලිලා තිබුණේ. සවුන්ඩ්ස් වලට ගහලා ගහලා කුඩු පට්ටම් කරලා දැම්මා. ඒ එක්කම සවුන්ඩස් ගෙනාපු ලොරි දෙකක විනිස්ක්‍රීන් සහ ඒ ලොරි වල අනෙක් වීදුරු කණ්ණාඩි කුඩු කරලා දැම්මා. අපි යන වෑන් එකෙත් වින්ස්ක්‍රීන් , ෂටර්ස් කුඩු පට්ටම් කරලා දැම්මා.එතන හිටපු අපේ කොල්ලෝ ටික තමයි අපිව ගල් වලින් බේරගත්තේ. ඒ පිට්ටනියේ තිබුණා බුදුපිළිමයක්. ඒ බුදුපිළිමේ වටේට තිබුණා කළුගල් වගයක් සුදු පාට හුණු ගාලා. ඒ කළු ගල් වලිනුත් ගැහුවා.අන්තිමට බලපුවහම සවුන්ඩස් වලට වගේම ලොරි දෙකට , අපි යන වෑන් එකට ලක්ෂ ගානක පාඩුවක්. වෙලා තිබුණා. සවුන්ඩ් එකේ අයිතිකාරයා වුනේ නුගේගොඩ තිලක් කොටුගොඩ කියලා එක්කෙනෙක් ..අන්තිමට ඉතින් එයාට ඒ පාඩුව දරාගන්න සිද්ධ වුණා.එදාට පහුවෙනිදා අපි ගම්උදාව ගිහින් ෂෝ එකක් කරන්න හිටියේ. ඒකට අරන් යන්න තිබුණෙත් ඔය සවුන්ඩ් එකයි. ඉතින් පහුවෙනිදා ඒ ගම්උදාව ෂෝ එක අපිට කරගන්නත් බැරුව ගියා.නිට්ටබුව පොලිසියේ පැමිණිල්ලක් දැම්මා.ඒක ඉතිං එහෙම්මම තමයි.එදා ඉදලා නිට්ටඹුවේ ටවුන් එකේ ෂෝ වලට ගියා මිසක් නිට්ටඹුවේ ගම් ඇතුලේ තියෙන ෂෝ අපි භාර ගත්තේම නෑ. ඔය සිද්ධිය නම් මගේ ජීවිතයට කවදාවත්ම අමතක වෙන්නේ නෑ.

ඔබට ඔබේ බිරිඳව මුණගැසුනෙත් සංගීත ප්‍රසංගයක් නිසා නේද; ?

ඔව්, මාලඹේ අතුරුගිරිය පාරේ ,හෝකන්දර හැම අවුරුද්දකම ඕපන් ෂෝ එකක් කරනවා. අපි තමයි හැම අවුරුද්දෙම මියුසික් බෑන්ඩ් එක විදිහට යන්නේ. ඒ ෂෝ එක තියන්නේ මෙයාලගේ ගේ ඉස්සරහ. ඉතින් බෑන්ඩ් එකේ අපිට කන්න බොන්න ලෑස්ති කරන්නේ මෙයාලගේ ගෙදර. එහෙම ඉතින් ගිය වෙලාවේ මෙයාගෙන් ඇඩ්රස් එක ඉල්ලගෙන, පස්සේ ලියුම් ලියලා, සබඳතාවයක් ඇතිවුණා. ඉතින් ඒ දවස්වල අද කාලේ වගේ ෆෝන් තිබුකේ නැහැනේ. මෙයාලගේ ගෙදරින් ඒ කියන්නේ මෙයාගේ තාත්තා ඉතින් ටිකක් මේකට අදිමදි කරලා තියෙනවා. මොකද ඒ කාලේ සංගීතකාරයෝ කිව්වහම මේ මතයක් තිබුණා අර බීගෙන කරගෙන ඉන්න පුද්ගලයෝ තමයි මේ සංගීත කාරයෝ කියන්නේ කියලා. මොකද අද කාලේ වාගේ සංගීත කාරයාට සමාජයේ හොඳ තත්ත්වයක් එදා කාලයේ හැදිල තිබුණේ නෑ. ඉතින් කොහොමහරි අපි 1991 විවාහ වුණා.පස්සේ ඉතින් මම විවාහ වෙලා මාස කීපයක් යද්දීම මෙයාලගේ තාත්තා දැනගත්තා මගේ හැටි, මම කවුද කියලා. පස්සේ එයාගේ තාත්තා එයාටත් වඩා මට ආදරේ කෙරුවා. තාත්තා මේ වෙද්දි මියගිහිල්ලා මගේ බිරිඳගේ නම සරදානී මේනුවරගේ.

අවසාන වශයෙන් ඔබගේ පවුලේ විස්තර සහ ඔබේ අනාගත බලාපොරොත්තු ගැන දැනගන්න කැමතියි ?

මට දුවලා දෙන්නෙක් ඉන්නේ. ඒ දෙන්නම විවාහකයි. දැන් අපේ ගෙදර ඉන්නේ මමයි බිරිඳයි විතරයි. ඉතින් මගේ දුවලා දෙන්නා නම් ගීත ගායනයට ඉතා දක්ෂයි. ඒත් ඒ දෙන්නා සංගීත ක්ෂේත්‍රයට නැඹුරු වුණේ නැහැ.
ඉතින් මම සන්ෂයින් සංගීත කණ්ඩායමේ නායකයා සහ හිමිකරු .නමුත් මේ වෙද්දී සංගීත කණ්ඩායම මෙහෙයවීම සඳහා අර මම කලින් කිව්වා වගේ මගේ බාල අක්කගෙ පුතා සුපුන්ට සංගීත කණ්ඩායම භාර දීලා තියෙනවා. උදව් පදව් කරනවා. සුපුන් ඉතා හොඳින් තරුණ සහ නවක පිරිසක් එක්ක සංගීත කණ්ඩායම හොඳින් කරගෙන යනවා. බොහෝ අවස්ථාවල දැන් ඕපන් ෂෝ එකක් වගේ තියෙද්දි මමත් එයාලට සහායට ගිහිල්ලා , ගීත ගායනා කරනවා. ඉතින් අර මම කලින් කිව්වා වගේ අපි දැන් ටිකක් රෙස්ට් එකේ ඉඳලා සංගීත කණ්ඩායම ඉදිරියට ගෙන යෑමට සුපුන් වගේ තරුණයන්ට අවස්ථාව ලබා දීලා තියෙනවා.

සාකච්ඡා සටහන – තුෂාර රොහාන්