මීගමුවේ මංකොල්ලකාරයෝ කව්ද ?ලංසාද ? සරත්ද ?රොයිස්ද ?

0
103

(දෙවන සංස්කරණය )මේ දිනවල මීගමුව යනු අලෙවිය අඩුවෙමින් යන ඇතැම් මුද්‍රිත මාධ්‍යයන්ට ඉහල ලංසුව තබා අලෙවි කෙරෙන පුවත් මවන තැනකි.
දැන් කටගැස්සම වි ඇත්තේ මීගමුවේ හැබෑ මංකොල්ලකාරයෝ කව්ද යන්නයි.පත්තර පිටුපුරා මේ දිනවල ඇමතිවරු දෙදෙනෙක් එකිනෙකා හට චෝදනා කරගනු ලබයි.
මීගමුවේ සහ රටේ පාඨකයන් හට මේ දෙදෙනා විසින්ම ඉතිරි කර තබනුයේ හොදම හොරා සොයා ගැනිමේ අභියෝගයයි.
ලංසා සහ සරත් ඇමති වරුන් විසින් පසුගිය කාලය තුල මීගමුවේ ජනතාවගේ ඡන්දයෙන් තේරි පත්වි ඇත්තටම සේවය කර ඇත්තේ කාටදැයි දැන් හොදින් වැටහේ.
මීට වසර 5 කට පෙර අප විසින් ඇමති ලංසාගේ ශේෂ පත්‍රය නමින් මීපුර පවත් පතේ පළකරන ලද ලිපිය ගැන මීගමුවේ කුලියට ලියන, ලියන අප්පු පට්ටම දරන දිවයින බෝතල් පත්තර කාරයාගේ කිම අසා මීපුර පුවත් පත් කාර්යාලයේ දුරකථනයට කථා කරමින් ඇමති ලංසා පවසා සිටියේ ඔවුන්ගේ වැරදි තවදුරටත් හෙළිදරව් කරන්නේ නම් මාව ඝාතනය කරන බවය.ඒ සදහා කිසිදු කොන්ත්‍රාත්තුවක් නොදෙන බවත් තමන් විසින්ම කරන බවත් එදා ඇමති ලංසා මට කිවේය.
කෙසේ වෙතත් ඇමති ලංසා වෙත පසුව එල්ල වු විවිධ බලපෑම් ( ඇතැම් කතෝලික පියතුමන්ලා විසින්) සහ ඒ ලිපිය ඇත්තටම කියවිමෙන්  පසු ලංසා නිහඩ වු බවක් කාලයකට පසුව අපි නිරික්ෂණය කළෙමු.
සෙරප්පු පැළද පාපැදියකින් පැමිණ තරුණයෙකු කෝටි පතියෙකු වුයේ කෙසේ දැයි මුලින්ම ප්‍රශ්ණ කරන ලද්දේ අප විසිනි.එමෙන්ම එහිදි ඇමති ලංසා විසින් කරන්නට යෙදුන ප්‍රයෝජනවත් දැ ගැන කියන්නටද අප අමතක නොකෙළෙමු.( ඒවායේන් විශාල කොමිස් කුට්ටි ගත්තද )
කෙසේ වෙතත් අපි විසින් මීගමුවේ දේපල  විවිධ සල්ලිකාරයන්ට බදු දෙමින් ගෙන ගිය චාරයක් නැති පාලනයට එරෙහිව කොන්දේසි විරහිතව අපේ මාධ්‍ය වගකිම ඉටු කළෙමු.
මේ නිසා මිය ගිය ඇමති ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ පමණක් නොව ඇමති සරත් ගුණරත්න පවා අප ව ප්‍රසිද්ධියේත් දුරකථන ඇමතුම් මගිනුත් තර්ජනය කරන්නට යෙදුනි.
කෙසේ වෙතත් අප එදා පටන් මීගමුව බෙදාගෙන මංකොල්ල කන සැම ගැන මීගමුවේ ජනයා හට එදා සිටම  හෙළි කළෙමු.
අපි එදා පටන් කියු සියළු දේ අද මීගමුවේ ජනතා නියෝජිතයන් විසින්ම එකිනෙකාට එරෙහි කියා ගනිති.
කිනම් ආශ්චර්යක්ද ?අපට ඇත්තේ දැන් බලා සිටින්නටය.
අප ලියු තවත් දැ හෙටත් මේ දෙදෙනා විසින් සනාථ කරනු ඇත.
මේ සියල්ල මෙසේ සිදුවෙද්දි ජුවෙල් ලංකා ආයතනය මංකොල්ල කෑමේ මහමාලකරු ලෙස කොස්තාපල් පුඤඤසෝම හෙවත් පොලිසි මාධ්‍ය ප්‍රකාශක විසින් නම් කරනු ලබමින් 2014 පෙබරවාරි 22 වනදා සිට සිර අඩස්සියට පත්කරනු ලැබු රොයිස් විජිතට සිය වයස්ගත මවගේ දුක සැප බලන්නට අද ( 2014 සැප් 01)අවසර ලැබුණි.
ඒ ඇය සිය අවසන් සුස්ම පොද වාතලයට එක් කර විසිහතර පැයකුත් ඉක්ම ගිය පසුවය.
රොයිස් විජිතට එරෙහි නඩුව තවත් දින කිපයක් ඇහෙන්නට නියමිතය. ඇප ලබානොදෙන්නට තරම් කිසිදු නිතිමය හේතුවක් නැතත් රජයේ නිතිඥයා ඊට අකමැතිය.
ත්‍රස්තවාදය වැලැක්විමේ පණත උපයෝගි කරගනිමින් මාස 3 ක් ඇප ඉල්ලනටවත් ඉඩක් නොදි කටයුතු කළ පොලිසිය ඒ හරහා මුළු පළාත් සභා මැතිවරණ ක්‍රියාදාමයෙන්ම ඔහුව ඉවත් කරතබන්නට කටයුතු කළේය.පසුව ඇප ලබානොදෙන්නට තරම් වරදක් සෙවු පොලිසිය ගිනි අවි ලගතබාගත්තේ යැයි කියා ඇප ඉල්ලා සිටිමට මග අහුරාලමින් කටයුතු කලේය,
දැන් ඒ ගිනි අවිය  ලි පිස්තෝලයක් යැයි අධිකරණය හමුවේ හෙළිදරව්ව තිබේ.
හම්බන්තොට එරාජ් පිස්තෝලයක් අතදරා ලෝකයාටම පෙන්නුවද ඔහු අත්අඩංගුවට ගැනුනේ නැත.
පිස්තෝලයක් ලබතබාගත්තේ යැයි කිමට කිසිදු සාක්කියක් නොමැතිවම රොයිස් විජිත මහතා දැන් මාස 6 කටත් වඩා බන්ධනගාරයේය.
මහමොලකරු රොයිස් යැයි නම් තැබු මංකොල්ලයේ වටිනාකම රු ලක්ෂ 150 ක් පමණය.
මේ දිනවල ඇමතිවරු විසින් එකිනෙකා විසින් ගසා ගෑ මුදල් ගණන් කරන්නේ නම් ඒවායේ වටිනාකම ජුවෙල් ලංකා කොල්ලයට වඩා සිය ගුණයකින් වැඩිය.
ඇමති ලංසාද හවුල්ව ඉදිකරන්නට යන කුරණ ගැලිසන් උත්සව ශාලාවේ ඇස්තමේන්තු ගත වියදම පමණක් රුපියල් කෝටි 35 ක් ඉක්මවනු ඇත.
මීගමුවේ බිච් පාක් එක අසල කොකනට් ග්‍රොව් නම් හෝටලය මිළට ගෙන මාස 8 ක් ඇතුලත විකිණිමෙන් ඇමති ලංසා ලැබු ශුද්ධ ලාභය රුපියල් කෝටි 20 ක් යැයි අද මීගමුවේ ප්‍රසිද්ධ රහසකි.
එමෙන්ම ඇමති සරත් ගුණරත්නගේ පුතා විසින් කුඩු පාඩුවට ඔබ්බෙන් හෑරු වැලි වලෙන් පමණක් හෙවු අදායම කොපමණද?
රොයිස් විජිතට එරෙහිව ඇති මංකොල්ල චෝදනා පිළිබදව අධිකරණය විසින් සිය තින්දුව ඉදිරියේදි ප්‍රකාශයට පත් කරනු ඇත.
එහෙත් මාස 6 ක් ගියද කිසිදු චෝදනාවක් පොලිසියට ගොනුකරගැනිමට නොහැකිවිම යනු කුමක්ද ?1

(පහත පළවන්නේ මාධ්‍ය විසින් මේ දිනවල කටගැස්මක් කරගත් සරත් ලංසා ගැටුම පිළිබදව පළව ඇති එක් ලිපියක් පමණි)

ගෝඩ් ෆාදර් නිමල් ලන්සාද සරත් කුමාරද දෙන්නගෙන්ම’ ප්‍රශ්න කරයි
සරත් කුමාර
• ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙට තර්ජන තිබුණු කාලෙ රටින් පැනලලු නේද හිටියෙ?
මට එහෙම කිසිම අවශ්‍යතාවක් තිබුණෙ නෑ.
• රට ගියානෙ?
ඔව් 88-89 කාලෙ රටේ තිබුණු භීෂණය ගැන මුළු රටම දන්නවා. ඒක කටානට, මීගමුවට තදින් බලපෑවා. අසූ නවයෙ මම මැතිවරණයට ඉදිරිපත් වුණාට පස්සෙ මට ඉන්න පුළුවන් තත්ත්වයක් තිබුණෙ නෑ.
• ඉතින් පක්ෂෙ කට්ටිය අතරමං කරලා දාලා පැන්නා…
නෑ… මෙහෙමයි එක පැත්තකින් ජනතා විමුක්ති පෙරමුණේ භීෂණය. මම විතරක් නෙවෙයි අපේ මුළු ප්‍රදේශයේම අය කළපුවල, කැලෑවල හැංගිලා තමයි හිටියෙ.
• කොහොමහරි ඔබ පැනලා ගියා කියන එක පිළිගන්න වෙනවා.
නෑ… සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ඇතුළු කට්ටිය මට උපදෙස් දුන්නා රටින් පිටවෙන්න කියලා.
• ඒ කියන්නෙ ශ්‍රීලංකාකාරයා, යූ.ඇන්.පී. කාරයගෙ උපදෙස් පිට රටින් පැන්නා.
බොහොම නීත්‍යනුකූලව මම ඉතාලියට ගියා. රටින් පැන්නා කියන එක වැරැදියි.
• ඔය කියන තරම් නීත්‍යනුකූලව ගිහිල්ලත් ඉතාලියෙ බල්ලො නෑව්වලු නේද?
ඉතාලියෙ මිනිස්සු දන්නවා මම කොහොමද වැඩ කළේ කියලා.
• ඇත්තටම මොනවද කළේ?
මම ගරාජ් එකක පාලකවරයෙක් විදියට වැඩ කළා. ඒක මුළු ඉතාලියම දන්නවා. මම ඉතාලියෙ ගොඩක් වැඩ කළා. අදටත් ඉතාලියෙ මිනිස්සු මට සරත් අයියෙ කියලා කතා කරනවා.
• ඉතාලියෙන් ලංකාවට ආවෙ කීයක් විතර හම්බ කරගෙනද?
මෙහෙමයි ඔය විස්තර හාරන තත්ත්වෙට මම වැටෙන්නෙ නෑ. මම කවදාවත් කැත ව්‍යාපාර කරලා නෑ.
• ඇයි ඔබට මගේ ප්‍රශ්නෙට උත්තර දෙන්න බැරි?
ඒක අවශ්‍ය නෑනෙ මෙතැනට.
• ‘ජින් බෑන්ඩ් කල්ලිය’ හැදුවෙ ඔබ.
මෙහෙමයි අපිට කටානෙ, මීගමුවෙ තිබුණු භීෂණයට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒකට තරුණ කණ්ඩායමක් හැදුවා. ඔය ජින් බෑන්ඩ් කියන නම දැම්මෙ පත්තරවලින්නෙ.
• ඊට පස්සෙ ඔය කල්ලියෙ මංකොල්ල කල්ලියක් වුණා.
නෑ. කිසිම වැරැදි වැඩක් කළේ නෑ. හැබැයි ගුවන්තොටුපොළේ තිබුණු භීෂණයට අපිට භීෂණකාරී විදියට මූණ දෙන්න සිද්ධ වුණා.
• භීෂණකාරී විදිහට කිව්වෙ කුලී රථ පැහැර ගත්ත එකද?
නෑ. ගුවන්තොටුපොළේ තිබුණු කුලී රථ ඒකාධිකාරය කඩලා අලුතින් හාරසිය ගාණක් දැම්මා. ඒකට මූලිකත්වය ගත්තෙ ජෙයරාජ් ඇමැතිතුමා. ඒවා තේරුවෙ ආසනවලින්, නීත්‍යනුකූල විදිහට.
• ඔබේ වාහන කීයක් දැම්මද?
මම අද වෙනකම් එක කුලී රථයක්වත් ඔතෙන්ට දාලා නෑ. මුළු කුලී රථ සංගමයම දන්නවා මම සත පහක්වත් ඒගොල්ලන්ගෙන් අරගෙන නෑ.
• ඔබේ නමින් දැම්මෙ නැතිවට ගෝලයන්ගෙ නම්වලින් දාන්න ඇති?
නෑ. මගේ කිසිම ගෝලයකුගෙ නමින් දාලා නෑ. මගේ එක කුලී රථයක්වත් එතැන තියෙනවද කියලා ඔප්පු කරන්න පුළුවන්. එහෙම ඒවා නෑ. ගෝලයන්ගෙ නම්වලින් නම් දාලත් නෑ.
• මීගමුවෙ විදේශ මුදල් හුවමාරු මධ්‍යස්ථාන කොල්ලකෑවලු නේද?
මේ වගේ අභූත චෝදනා කරන්නෙ ඇයි කියලා මට පුදුම හිතෙනවා. මීගමුවෙ ජනතාවගෙනුයි, කටානෙ ජනතාවගෙනුයි අහන්න මම කවුද කියලා.
• එතකොට ජින් බෑන්ඩ් කල්ලිය කිසිම වරදක් කරලා නෑ.
මේක ඇතුළෙ කට්ටිය වෙඩි තියාගෙන ගැටුම් ඇති කරලා තියෙනවා. ඒත් ඒ කිසිම දේකට මම සම්බන්ධ නෑ.
• ගුවන්තොටුපොළේ මඩකළපු හයර් පැහැර ගත්තනෙ.
එයාර්පෝට් මැනේජර්ගෙන්, ඔය හැමෝගෙන්ම අහන්න මම කියලා තියෙන්නෙ මගෙ නම පාවිච්චි කරලා කිසිම දෙයක් කරන්න ඉඩ දෙන්න එපා කියලා.
• ඔබේ බෑනා මේ කුලී රථ අතරට හයිබි්‍රඩ් කාර් විස්සක් දැම්මද නැද්ද?
මගේ බෑනා කියන එක නෙවෙයි අපේ තියෙනවා වෙනම එතැන ටෙන්ඩර්වලින් ගත්තු කවුන්ටරයක්. ඒකෙ යම්කිසි රථ ප්‍රමාණයක් එක එක්කෙනාගෙ නම්වලින් ලියාපදිංචි කරලා තියෙනවා. එච්චරයි.
• එක එක්කෙනාගෙ නම්වලින්
ඔව්.
• හරියට ටෙන්ඩර් පටිපාටියට අනුකූලවනෙ වැඩේ කරලා තියෙන්නෙ.
ඔව්. ඒ කවුන්ටරය තමයි එතැන තියෙන හොඳම කවුන්ටරය.
• බලෙන් එතැන වැඩ කරනවා එහෙම නෙවෙයිනෙ?
ගුවන්තොටුපොළේ එහෙම කරන්න පුළුවන්ද?
• ඔබට විරුද්ධව මිනීමැරුම් නඩු තියෙනවලු නේද?
මම නම් දන්නෙ නෑ. 2001 මැතිවරණයෙන් පස්සෙ මගේ තරුණයො විසි එක් දෙනෙක් එක්ක මාව ඇතුළට දැම්මා. බොරු චෝදනා දාලා. ඒකෙන් මාව නි‍ෙදාස් කොට නිදහස් කළා. අද වෙනකම් වෙන කිසිදු චෝදනාවක් මට නෑ.
• එතකොට මීගමුවෙ භීෂණය පතුරුවපු ප්‍රධානියා ඔබ නෙවෙයි.
භීෂණය පතුරුවපු නෙවෙයි භීෂණය නැති කරපු ප්‍රධානියා. මීගමුවෙ, කටානෙ ජනතාව කියයි මේ සරත් කුමාර ගුණරත්න කියන්නෙ කවුද කියලා.
• ඔබේ පුතාට ගෙස්ට් හවුස් තියෙනවා.
පුතා හොටෙල් එකක් කරනවා. බොහොම ලස්සනට කරනවා. ඒකෙ සම්බාහන කියලා වෙන වෙන දේවල් කරන්නෙ නෑ. මට කාටවත් මඩ ගහන්න අවශ්‍ය නෑ.
• ඔබේ සල්ලිද හෝටලේට යට කළේ.
නෑ. මගේ පුතා රට ගිහින් සල්ලි හම්බ කරගෙන ඇවිත් මේක පටන් ගත්තෙ.
• ඔබේ බිස්නස් පටන් ගත්තෙ ඉතාලි සල්ලිවලින් එතකොට?
මම කිසිම ව්‍යාපාරයකට අද වෙනතුරු සම්බන්ධ වෙලා නෑ. මගේ පුතා හෝටලය කරනවා. මගේ බෑනා කාමර දාහතක හෝටලයක් කරනවා ගුවන්තොටුපොළ ළඟම. ඔය මීගමුවෙ තියෙනවා කියන නීති විරෝධී වැඩ කිසිම දෙයක අයිතිකාරයෙක් නෙවෙයි මම.
• ඉතින් ඒ අයිතිකාරයා කවුද කියලා නමින් කියමුකෝ.
නෑ. ඒක මීගමුවෙ ජනතාව දන්නවා
• ඇයි නම කියන්න බයද?
නෑ. මට අවශ්‍ය නෑ. අනිත් එක අංශ ඉන්නවා ඒවා හොයන්න.
• ඉතින් ඒවා කවදාවත් නතර වෙන්නෙ නෑනෙ.
ඒක තමයි ජනතාවටත් තියෙන ප්‍රශ්නෙ. බීච් එක අල්ලගෙන ඉන්න අය එහෙම අල්ලන්නෙ නැත්තෙ ඇයි කියන ප්‍රශ්නෙ තියෙනවා.
• නිමල් ලංසා ඇමැතිතුමා ඔබට නම් කෙළින්ම නම කියලම චෝදනා කරනවා?
ඒකට මට කමක් නෑ.
• ඒවා බොරු නම් අපහාස නඩු දාන්න පුළුවන්නෙ.
මට අවශ්‍ය නෑ. මම නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශයේ ලේකම්තුමාට ලිපියක් ලිව්වා. මේ කරුණුවලට අදාළව මැදිහත් වෙන්න කියලා.
• ඒ ඇතිද?
ඔව්.
• උත්තර ආවද ඒ ලියුමට?
නෑ. තවම නෑ. මට තේරෙනවා පොලිසියෙන් යම් යම් දේ කරන්න පටන් අරන් තියෙනවා කියලා.
• ඔබට මොනවා කිව්වත් එතකොට පාඩුවේ අහගෙන ඉන්නවා.
වැඩක් නෑනෙ. ඕවට නඩු කිය කියා කාලෙ කන එකේ තේරුමක් නෑ. මිනිස්සු තීරණය කරයි ඇත්ත මොකක්ද කියලා.
• ඔය චෝදනා පිටිපස්සෙ කවුරුහරි ඉන්නවා කියලා හිතෙනවාද?
ඒක ඉතින් ජනතාවගෙන්ම තමයි අහන්න ඕන.
• ඇයි මේ හංගලා කතා කරන්නෙ?
මට වැඩක් නෑනෙ. මම පුද්ගලයන්ට පහර ගහන්නෙ නෑ. අද වෙනකම් එක පාරකින් සත පහක කොමිස් අරගෙන නෑ.
• නිමල් ලංසා ඇමැතිවරයට එතකොට මොකක්ද ඔය තියෙන තරහ?
ඒක මගෙන් අහලා හරියන්න නෑනෙ. මම එතුමා කරන කිසිම වැඩකට බාධා කරලා නෑ. මට වැඩ කරලා නම ගහගන්න ඕනෙත් නෑ. ඒවා ජනතාවගෙ මුදල්.
• ගම්පහ දිස්ත්‍රික්කෙ ප්‍රධානියා බැසිල් රාජපක්ෂ ඇමැතිවරයා මොකද මේ ගැන කිව්වෙ?
ඒ ගැන කතා කරන්න අවශ්‍යතාවක් එතුමට තිබුණෙ නෑ. මට බැසිල් ඇමැතිතුමා හම්බ වුණා. මේ මට කරන චෝදනාවලින් දේශපාලනඥයකුගේ චරිතය කොහොමද කියන එක ජනතාවට තේරුම් ගන්න පුළුවන්. එච්චරයි.
• ඇයි මේ ආණ්ඩුව ඇතුළෙ කට්ටිය ගහගන්නෙ මේ විදියට.
ඒක හැම තැනම තියෙනවනෙ. කුණු තියෙනවානම් තමයි ඕවා වදින්නෙ.
•මේ චෝදනා ඔප්පු කළොත් ඔබ මොකද කරන්නෙ?
එකක්වත් ඔප්පු කරන්න බෑ කියලා මම දන්නවා.
•බැරි වෙලාවත් එකක් හරි ඔප්පු වුණොත්?
එහෙම වුණොත් මට දඬුවම් කරයි.
•සමහර ඇමැතිලා කියනව වගේ ඇමැතිකමින් ඉල්ලා අස්වෙනවද?
ඒ වගේ විහිළු කරන්න මම සූදානම් නෑ. මේ රටේ නීතියක් තියෙනවනෙ.
නිමල් ලන්සා
• සරත් කුමාර ගුණරත්න නියෝජ්‍ය ඇමැතිවරයාට ගහන එක කාගෙ කොන්ත්‍රාත් එකක්ද…?
කිසිම කෙනෙක්ගෙ කොන්ත්‍රාත් එකක් නෙවෙයි. එතුමා තමයි මට ගෝඩ් ෆාදර් කියලා හංවඩු ගහලා තිබුණෙ.
• ආ… මේ පළිගැනිල්ලක් එතකොට…?
නෑ. උත්තර දීමක්.
• එතකොට ඇයි ඔබට ගෝඩ් ෆාදර් කිව්වෙ…?
මට කිව්වට එතුමා තමයි ගෝඩ් ෆාදර්. ඉතාලිවල ගෝඩ් ෆාදර් කියන්නෙ මිනී මරන අයට.
• ඔප්පු කරන්න පුළුවන්ද මිනී මරලා තියෙනවා කියලා…?
ඔව්. එතුමට මිනී මැරුම් නඩු තියෙනවා.
• එහෙනම් ඇයි ඔබට ඇඟිල්ල දික් කරන්නෙ…?
ඒක මටත් හිතාගන්න බෑ. අවුරුදු හතරක් බුදියගෙන ඉඳලා දැන් ඡන්දෙ මතක් වෙලා වෙන්ඩ ඇති ඔය කෑ ගහන්නෙ.
• ඔබ සරත් කුමාර ගුණරත්න නියෝජ්‍ය ඇමැතිවරයට එල්ල කරන චෝදනා හිතලුද කියලත් සැකයි…?
නෑ. ඒ ඔක්කොම මට ඔප්පු කරන්න පුළුවන්.
• එහෙම බැරි වුණොත්…?
මගේ මේ ඇමැතිකම දාලා ගෙදර යනවා.
• මීගමුවෙ ඇතැම් පිරිස් කියන්නෙ ඔබ තාත්තගෙ බිස්නස් ප්‍රශ්න හින්දා හැංගිලා හිටියා මිසක්, කිසිම තර්ජනයක් තිබුණෙ නෑ කියලයි…?
කාටද එතකොට තර්ජනේ තිබුණෙ.
• කාට තිබුණත් ඔබට තිබුණෙ නෑ.
ඒ කියන්නෙ තර්ජන තිබුණු අය ඔක්කොම පැන්නා. නැති අය හිටියා. ජනාධිපතිතුමාට එහෙනම් කිසිම තර්ජනයක් තිබිලා නෑනෙ.
• ඔබ ඔහොම චෝදනා කළාට, එතුමව රටින් පිට කළේ සිරිමාවෝ මැතිනිය කියල දන්නවද…?
ඔව්. මම අහලා තියෙනවා. එතුමා ගිහින් වැඳ වැටිලා, පිටරට යවන්න කිව්වහම යැව්වා. නැතිව අනේ ඔයාට තර්ජන තියෙනවා කියලා යැව්වෙ නෑ. එතුමා පාක්‍ෂිකයො පාවලා දීලා, පවුලත් එක්ක රට ගියා.
• එතකොට ශ්‍රී ලනිප පාක්‍ෂිකයන් වෙනුවෙන් හදපු ජින්බෑන්ඩ් කල්ලිය…?
ඒක වැරැදියි. කටුනායක ගුවන් තොටුපොළේ තිබුණු ෂොප්, කුලී රථ පවරා ගන්න, කොල්ල කන්න පිහිටුවපු කල්ලිය තමයි ජින් බෑන්ඩ් කල්ලිය.
• ඇත්තටම කවුද මෙහෙයෙව්වෙ ඔය කල්ලිය…?
සරත් කුමාර ගුණරත්න. ඒ කාලෙ පත්තරවල හැමදාම ඔය කල්ලිය ගැන හෙඩ්ලයින් තිබුණා. ඔය වැඩ හින්දා තමයි ජෙයරාජ් ඇමැතිතුමා එතුමව අයින් කළේ.
• නෑ. ඒක වැරැදියි. සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියත් ඔබේ ඔය කතාව ප්‍රතික්‍ෂේප කරනවා…?
එතුමිය කියන්නෙත් සරත් කුමාර ගුණරත්න භීෂණ කාලෙ පිටරට ගියා කියලා.
• හරි. ඒත් ඔබ මේ කියන්න හදන්නෙ එළවපු කතාවක්නෙ…?
පැහැදිලිවම. මේ කල්ලිය කරපු වැඩ හින්දා ජෙයරාජ් ඇමැතිතුමා එතුමව අයින් කළා.
• සුදර්ශනී මන්ත්‍රිවරියත් දන්නෙ නෑ, ඔබ දන්නවා එතකොට…?
ඔව්. මම පැහැදිලිවම දන්නවා සුදර්ශනී මැතිනියට අභියෝග කරනවා, මාත් එක්ක ඔය ගැන විවාදෙකට එන්න කියලා. ඔය එයාර්පෝට් එකේ සිද්ධ වුණු වැඩ ගැන, කප්පම් ගන්න හැටි මට සාක්‍ෂි ඇතිව කියන්න පුළුවන්.
• ලෑස්තිද සරත් කුමාර ගුණරත්නත් එක්කත් වාදෙකට යන්න…?
අනිවාර්යයෙන්ම. දැනුත් ගිහිල්ලා අහන්න, කටුනායක ගුවන් තොටුපොළේ කුලී රථ රියැදුරන්ගෙන් එයා කොහොමද කට්ටිය දාලා බලෙන් හයර් උස්සන්නෙ කියලා.
• එතුමගෙ එක වාහනයක්වත් කටුනායක ගුවන්තොටුපොළේ කුලී රථ සේවයෙ නෑ කිව්වොත්…?
මම ඒ මිනිසුන්ව ගෙනැල්ලා ඔප්පු කරලා පෙන්වන්නම්. එතුමගෙ වාහන මෙතැන දුවනවා කියලා මුළු ලංකාවම දන්නවා. එයා කොහොමද නෑ කියන්නෙ. එතුමට, එතුමගෙ බෑනා, පවුලේ අයට මේ වාහන තියෙනවා. එතුමා ඒ කුලී රථ සංගමය හරහා මාසික වැටුපකුත් ගන්නවා.
• වැටුපක්…?
ඔව්. ඒකත් මට ඔප්පු කරන්න පුළුවන්.
• ඔබ කරන තවත් චෝදනාවක් තමයි, එතුමගෙ බෑනගෙ වාහන ගැන කරන චෝදනාව.
ඔහු පවුලට එකතු වුණේ පිටින්. මේවා ගැන නියෝජ්‍ය ඇමැතිවරයා දන්නෙවත් නැතිව ඇති…?
ඔය බෑනා ඒත්තුකාලෙ රෙස්ටුරන්ට් එකක් අරගෙන, ඒකෙන් යන්නෙ නැතිව ගහලා එළෙව්වා. තව ඔය වගේ උදාහරණ තියෙනවා. ඊළඟට පුතා හෝටලයක් අරගෙන ඒකෙන් යන්න දැන් ලක්‍ෂ හයසීයක් ඉල්ලනවා.
• ඔබේ පවුල ගැනවත් හොයන්නෙ නැති තරම්, සරත් කුමාර ගුණරත්න ගැන හොයනවා වගේ…?
මේ ජනතාව කියන ඒවා. ජනතාව දෙන සාක්‍ෂි.
• අර එතුමයි, ඉතාලියයි, බල්ලොයි ගැන කියපු කතාව මොකක්ද…?
එතුමා ඉතාලියෙ බල්ලෙක් බලා ගත්ත එක තමයි කළේ.
• නෑ. එතුමා ගරාජ් එකක වැඩ කළේ…?
එහෙම තාක්‍ෂණික දැනුමක් තියෙන්නෙ ඕනැනෙ ඒකට. එතුමාට එහෙම දැනුමක් නෑ. එතුමාට ගරාජ් එකක් තිබුණාද නෑනෙ. සපත්තු විකුණ විකුණා හිටියෙ.
• ඔබට මීගමුවෙ සංවිධායකකම ඕනෙ වෙලා වගේ ඔය කෑගහන්නෙ…?
මෙහෙමයි, මට කිසිම ආසන සංවිධායකකමක් නැතිවට මම වැඩ කරනවා. මගේ ඡන්ද එන්න එන්න වැඩි වෙනවා. සරත් කුමාර ගුණරත්න ඇමැතිතුමා මගෙන් ඉල්ලුවා ආසන සංවිධායකකම දෙන්න කියලා.
• ඒ මොකටද ඔබෙන් ඉල්ලන්නෙ…?
මීගමුවේ නගරාධිපති කාලෙ මධ්‍යම සංවිධානෙ හිටපු ලේකම් මම. මම තමයි අස්සන් කරලා චන්ද්‍රිකා ජනාධිපතිතුමියට යැව්වෙ, මේ ආසන සංවිධායකකම දෙන්න කියලා. එතකොට මීගමුවෙ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ලොක්කා මම.
• සරත් කුමාර ගුණරත්න මහත්තයා ගැනම කියන්නෙ ඔබ ගැනත් ටිකක් කතා කරමු. මොනවද ඔබට තියෙන බිස්නස්…?
මම ඉස්සරලම කළේ සංචාරක ව්‍යාපාරය. ඒත් දැන් කිසිම සංචාරක ව්‍යාපාරයක් කරන්නෙ නෑ. අද මම දේපොළ වෙළෙදාම කරන්නෙ.
• එතකොට තිබුණු හෝටල් ගෙස්ට් හවුස් පිනට දුන්නද…?
එහෙම කළා නම් කමක් නෑ. මගේ දේශපාලනයට වියදම් කරන්න මේ ඔක්කොම විකුණන්න වුණා.
• ඔබේ නමට බිස්නස් නැති වුණාට ඥාතීන්ගෙ නම්වලට ලොකු ලොකු බිස්නස් ඇති. ඒකනෙ දැන් හොරට කරන විදිය…?
කාගෙවත් නම්වලට නෑ. අපේ මල්ලිට ඉන්න ගෙයක් නෑ, කුලියට ඉන්නෙ. අපේ තාත්තට එදිනෙදා ආදායමක් විතරයි දැන් තියෙන්නෙ. පසුගිය කාලෙ මම මගෙ ඉඩම් හතරක් විකුණුවා. අද සරත් කුමාර මැතිතුමාට එහෙමද, හෝටල්, ගෙස්ට් හවුස් බලෙන් ගත්ත ව්‍යාපාර කොච්චර තියෙනවද.
• ඔබ බිස්නස් නොකළට, වටේ ඉන්න ගජ මිතුරු සමාජයක් හරහා වැඩේ කරවනවා. ඇත්ත ඒකනෙ…?
නෑ. මම ව්‍යාපාර කරන්නෙ නෑ. අනෙක මට දැන් දේශපාලන මිතුරොත් නෑ. මම තමයි පසුගිය කාලෙ වැඩියෙන්ම පාරවල් හැදුවෙ දිස්ත්‍රික්ක එකොළහක.
• ඒවගෙන් හොඳට කොමිස් ගහන්නත් ඇති එහෙනම්…?
නෑ. කොමිස් ගැහුවනම් මට ඉඩම් විකුණන්න ඕන නෑනෙ.
• ඒවා රට්ටුන්ට පේන්න කරන වැඩ වෙන්න ඇති…?
රට්ටුන්ට පේන්න කරන වැඩ මගෙ නෑ. මම කියන මේ ඔක්කොම ඇත්ත. අපි ඔය වැඩ කරන තැන්වලින් හොරකම් කරන්නෙ නෑ. කොමිස් ගහන්නෙ නෑ.
• එතකොට නිමල් ලන්සා කුඩුකාරයෙක්…?
නෑ. ඒකත් ඔය සංවිධායකතුමා කරන චෝදනාවක්නෙ. එතුමා තමයි මගේ ගෙදර බට් කරපු වාහන තියෙනවා කියලා එස්.ටී.එෆ්. එක මගේ ගෙදරට එවන්නෙ. ඊළඟ දවසෙ ඔවුන් මාධ්‍ය හරහා කියනවා, අපේ අතින් වරදක් වුණේ, සමාවෙන්න කියලා. මොකුත් ලැබුණෙ නෑනෙ.
• දැන් එස්.ටී.එෆ්. එක තියෙන්නෙ සරත් කුමාර ගුණරත්න යටතෙද එතකොට, එහෙම කරන්න පුළුවන්ද…?
සාමාන්‍ය මිනිහකුට වුණත් ඔත්තු දෙන්න පුළුවන්. නියෝජ්‍ය ඇමැතිවරයකුට විතරක් නෙවෙයි.
• සාමාන්‍ය කෙනකුට එහෙම ඔත්තු දෙන්න නම් පුළුවන්. හැබැයි සාමාන්‍ය කෙනකුගෙ ගෙදරත් පරීක්‍ෂා කරලා වැරදුණොත් ආරක්‍ෂක අංශ ඔබෙන් වගේ සමාව ගන්නවද…?
එහෙම පැමිණිල්ලක් විභාග කරලා සමාව ගන්න ඕනෙ නම් පොලිස්පතිතුමා සමාව ගන්නවා.
• මේ රටේ…?
ඔව්.
• ඔය සිද්ධිය වෙච්ච ගමන් ජනාධිපතිතුමත් ගෙදරට ආවනෙ…?
එතුමා ආවෙ ඊළඟ දවසෙ. වෙච්ච ගමන් නෙවෙයි. මම කරන සංවර්ධන වැඩත් එක්ක හැරෙන්න බැරි වුණහම ඔය වගේ චෝදනා කර කර ඉන්නවා.
• දැන් බූරු පොළවල් කරවන්නෙ නැද්ද ඇමැතිතුමා…?
ඔය ඔක්කොම සංවිධායකතුමා හදන බොරු. මම එහෙම කරනවා නම් ආසනයේ සංවිධායක විදියට ඇයි එතුමට මේවා නවත්වන්න බැරි. දෙන්න කියන්නකො සති දෙකකට සංවිධායකකම. මම ඔය කියන ඔක්කොම නවත්වලා පෙන්වන්නම්.
• අන්න බළලා මල්ලෙන් එළියට පැන්නා. ඔබට ඕනෙ ආසනේ සංවිධායකකම. ඒකටයි මේ ඔක්කොම කරන්නෙ…?
නෑ. මම එහෙම එකක් කිව්වෙ නෑනෙ. මම කිව්වෙ එතුමා චෝදනා කර කර ඉන්නවා, වැඩක් කරන්නෙ නෑ කියලා. මට දුන්නොත් මම හරියට කරලා පෙන්වන්නම් කියලා.