වේලාව සවස 6 පසුවූවා පමණි. මා යා යුත්තේ අංක 907 දරණ හලාවත මීගමුව මාර්ගයේය. බස් රථ ගාල් කරන ස්ථානයට ගිය විට 907 පුද්ගලික බස්රථ ගාල්කර තිබුණි. පුවරුව තිබෙන්නේ වෙන්නප්පුව දක්වා පමණි. කොන්දොස්තරගෙන් විමසූවේ වෙන්නප්පුවට එහා යන බස්රථයක් ඊළගට පැමිණේවිද කියායි. ඔහු දිගටම පැවසූවේ නැහැ මොන බස් එක ආවත් දැන් මිස් වෙන්නප්පුවෙන් එහාට යන්නේ නැහැ කියායි.
ඔහුට ඕනා වුයේ ඒ වනවිටත් සුලූ පිරිසක් සිටි බස් රථයට මාද එක්කරගැනීමයි. නමුත් කොන්දොස්තර කියූ දේ ඇත්තය.
ඊළගට මම බස් පාලකවරයාගෙන් විමසා සිටියේ ලංගම බස්රථයක් ව.ත් නැද්ද හලාවතට යන කියායි. ඔහු පැවසූවේ ‘අර තියෙන එක බලන්න -ඒක මාරවිල නේමේ ද කියලා ‘ මම නැවතත් ඔහුට කිවේ නැහැ ඒ බස් එකෙත් පුවරුවේ වෙන්නප්පුව තිබූ බැවිනි. ඊළගට ඔහු මට පැවසූවේ මිස් ඔයාට හලාවතට හරි වෙන්නප්පුවෙන් එහාට යන්ඩ ඕනා නම් තෙල්වත්ත හන්දියට ගිහින් කොළඹ ඉදන් එන බස් එකක නගින්ඩ කියායි. මගෙන් පසුව පැමිණි මගී කාන්තාවන් කීපදෙනෙකුටම මෙම බස් පාලකවරයා සහ බස් කොන්දොස්තරවරු එසේම පවසන ලදී. මහා දැවැන්ත මුදලක් වියදම් කළ සුපිරි බස්නැවතුම්පළේ ගොම්මන් වන විට මා වැනිම තවත් මගීන් බස් සොයමින් එහෙ මෙහෙ ඇවිදිති. අඩුම ගණනේ මුළු බස්නැවතුම් පළේම මගීන් 50ක්වත් නැත. ඔවුන් සියල්ලම ෂුවර් එකටම කොළඹ පාරට ගොස් තමන්ගේ ගම්වලට යන බස් සොයනවා ඇතැයි මම සිතුවෙමි.
මම නිහඩවම එතන තිබූ වෙන්නප්පුව බෝඩ් එක ගසා තිබූ ලංගම බස් රථයේ නැංගෙමි. වෙන්නප්පුවට එන තෙක්ම පැමිණියේ මගීන් 6 දෙනෙකි. ඒ අතර හලාවත දක්වා ගමන් ගන්නා මවක් සහ දියණියක් ද විය. ඔවුන්ට ඒ වැරදීම සිදුවී ඇත්තේ මීගමුව බස්නැවතුම්පළෙනි. මීගමුව බස්නැවතුම්පලේ ලංගම බස්රථ ගාල්කර ඇති ස්ථානයේ ‘හලාවත, පුවරුව ගසා ඇති ස්ථානයේ තිබූ ලංගම බසයට ඔවුන් ගොඩවී ඇත. මදක් දුරවිත් ටිකට් කඩන විට කොන්දොස්තරවරයා ඔවුන්ට පැවසූවේ මෙම බසය යන්නේ වෙන්නප්පුව දක්වා බවයි.
මග දිගටම ඔවුන් පැමිණියේ ඉස්සරහ බලාගෙන නොව පිටුපස බලමිනි. ඒ හලාවත බසයක් පැමිණෙනවාදැයි බලමිනි. ඒ අතර හදිසියේම වෙන්නප්පුව ඩිපෝව ලගදී අපේ ලංගම බසයට තවත් මගියෙක්ව නංවා කිව්වේ මොහුව ඉස්සරහින් යන ඉන්ටර් සිටියට නග්ගන්ඩ කියායි. කිසිදු ගානක් නැතිව පැමිණී බසය දැන් ඉතිරි හෝල්ට් දෙක කඩාගෙන දුවයි. ඒ මගියා මාධ්‍යෙව්දි මගියෙකි. ඔහුගේ හිසේ හෙඩ් හෙඩ්ෆෝන් එකක් පැළද සිටි අතර ඔහු කාටදෝ තිනයම කතාකරමින් බසයෙන් පනින්නට සැරසෙයි. වෙන්නප්පුව ටවුමේදී ලංගම බසයෙන් පැනගත් ඔහුද ඉදිරියෙන් ගිය ඉන්ටර්සිටියට ඇතුල්විය. සමහර විට ඔහුට ඕනෑවූයේ ඒ බසයේ යන FM චැනල් එක දැනගෙන මුදල් දෙන්නට වන්නට ඇති.
මමද වෙන්නප්පුව ටවුමෙන් බැස නැවත බසයක නැගී නැවත හෝල්ට් දෙකකින් බැස ගෙදර ගියෙමි.
ඇත්තටම මම මීගමුවේ සිට එන ගමන ්කල්පනා කරමින් ගියේ ලංකාවේ ගුවන් තොටුපලක් හදන්නට ආයෝජනයක් කරන ජනාධිපතිවරයාට මේ රටේ දුප්පත් මගීන් විදින දුක නිවා දමනන්ට ඒ වෙනුවෙන් පියවර ගන්නට නොහැකි ඇයිදැයි සිතමිනි. මේ රටේ පුද්ගලික බස්රථ සේවාව තරම් අපාගත වූ සේවයක් මේ රටේ තිබෙනවා දැයි මම සිතමි. මීගමුව සිට හලාවත දක්වා ඇති ලංගම බස් ඩිපෝ කීයක් නම් අපේ බදු මුදල් වලින් නඩත්තු වනවා ඇති ද ? මෙම ඩිපෝවකට අඩුම ගානේ රාත්‍රී 8 දක්වාවත් හලාවත දක්වා බසයක් යෙදවීමට නොහැක්කේ මන් ද? ඒ කියන්නේ මේ ඩිපෝවල් ඒ තරම් බංකොලොත්ය. මෙම ආයතන වල වැඩිපුරම ඉන්නේ දේශපාලකයින්ගේ පරගැත්තන්ය. ඔවුන් සේවාවේ විණයවත් හදුනන්නේ නැති අර්ථ ශූන්‍ය නිලධාරීන් වෙති.
චන්ඩිපාට් දමති. කිසිදු සදාචාරයක් නැතිව මිනිසුන් බස්රථ තුළ තලාපෙලා පොඩිකර පටවාගෙන යයි. සමහරුන් ටිකට් දෙන්නේම නැත. බුලත්විට හපති. ඒ කිසිදු පුද්ගලික බස්රථයක (907) නම් කිසිදාක වත් පොතක් පතක් කියවීමටවත් , දුරකථන ඇමතුමක් ගැනීමටවත් ඉස්පාසුවක් නැත. කණ පැලෙන්නට කැසට් එක දාගෙනය. ඒ නැතත් බස්රථයේ අබලන් කැබලි ගැස්සෙන සද්ද ගෝෂාව තවත් හිරිහැරකි. මේ මහජනතාව මේ අපාගත බස්සේවයෙන් ගැලවෙන්නේ කවදාද ?
ගුවන් තොටුපළවල් තැනීමට පෙර අප රටේ බහුතරයක් ජනතාව විදින අපාදුක් ගමනාගමන සේවයට අයෝජනය කරන්නට ආයෝජකයෙකු සොයාගැනීමට මේ රජයට හැකියාවක් ලැබෙනවානම් එය මේ රටේ මිනිසුන්ගේ සැබෑ ජයග්‍රහණයක් වනු ඇත.