මීගමුව බන්ධනාගාරයේ , නව පරිපාලනය ගැන අලුත් කතාවක්. …

0
19

(  10.30 ) මීගමුව බන්ධනාගාරය යනු දැනට වසර කිහිපයකට පෙරාතුව එනම් 2020 වසරට පෙර පුවත් මවන ස්ථානයක් බවට පත්ව තිබිණි. 2020 වසරට පසුව එහි පරිපාලනයේ සුවිශේෂී වෙනස්කම් කිහිපයකට ලක් ව ඇති බවට වාර්තා වුණි.

මේ පිළිබඳව සොයා බැලීමේදී මීගමුව බන්ධනාගාරයේ සිට නිදහස් වී පැමිණි රැඳවියන්ගෙන් සහ එහි අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් දැනගන්නට ලැබුණේ බන්ධනාගාරය තුළ යහපත් පරිපාලනයක් සහ විනයක් මේ වන විට ඇතිවී ඇති බවයි.

දීර්ඝ කාලීන සිර දඬුවම් විඳින සිරකරුවන්ටත් තාවකාලික ලෙස රක්ෂිත බන්ධනාගාර ගත වූවන්ටත් මානුෂීයව සලකන යහපත් ආකාරයක් මේ වන විට බන්ධනාගාරය තුළ ක්‍රියාත්මක වන බව එම ආරංචි මාර්ගවලින් වැඩිදුරටත් පැවසේ.

විශේෂයෙන්ම බන්ධනාගාරය තුළට මත්පැන් හා විෂ මත්ද්‍රව්‍ය වැනි දේ ද එමෙන්ම ජංගම දුරකථන වැනි දේ රැගෙන ඒමට නොහැකි වන සේ බන්ධනාගාරය තුල ක්‍රමවත් සහ සැලසුම් සහගත ආරක්ෂිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බවද දැන ගන්නට ලැබුණි. විශේෂයෙන්ම ජංගම දුරකථන බන්ධනාගාරය තුළට ගෙන ඒමට නොහැකි වන සේ ක්‍රියාත්මක කරන නව ආරක්ෂක වැඩපිළිවෙළ නිසා බන්ධනාගාරය තුළ සිට නීති විරෝධී කටයුතුවල සහ අයථා ගනුදෙනුවල යෙදීමට හෝ ඒවාට සහාය දීමට බන්ධනාගාරය තුළ සිටින රැඳවියන්ට නොහැකි වන සේ විශේෂිත ආරක්ෂක වැඩපිළිවෙලක් බන්ධනාගාරය තුළ ක්‍රියාත්මක වන බව එම ආරංචි මාර්ග වලින් වැඩිදුරටත් අනාවරණය වුණි.

එමෙන්ම සිරකරුවන්ගේ ප්‍රධාන අවශ්‍යතා වන සනීපාරක්ෂක පහසුකම් ද ඉහළ නන්වා ඇත. ඒ අනුව බන්ධනාගාරය තුළ ඇති වැසිකිලි පද්ධතිය මේ වනවිට නවීකරණය කර ඉතා හොඳින් එම වැසිකිලි පද්ධතිය නඩත්තු කරමින් පවත්වාගෙන යන බවද දැන ගන්නට ලැබුණි. එමෙන්ම රෝගී තත්ත්වයන් සඳහා නිසි වෛද්‍ය ප්‍රතිකාර සහ උසස් ප්‍රමිතියෙන් යුත් බෙහෙත් ඖෂධ ලබාදීමටද බන්ධනාගාර පරිපාලනය මේ වන විට ක්‍රියාත්මක වී තිබේ. එමෙන්ම එදිනෙදා ප්‍රධාන ආහාර වේල් සහ දෛනික තේ පානයන් අවස්ථාවලදීද පිරිසිදු සහ පෝෂ්‍යදායී ආහාර පාන ලබාදීමටද බන්ධනාගාර පරිපාලනය කටයුතු කර ඇතැයි ද අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වුණි . බන්ධනාගාරයේ සිට නිදහස් වී පැමිණි රැඳවියන් කිහිප දෙනෙකුම ප්‍රකාශ කළේ බන්ධනාගාරය තුළ ලබා දෙන ප්‍රධාන වේල් තුනම පෝෂ්‍යදායී සහ සමබර ආහාර වේල් ලෙස ලබා දෙන බවකි.

එමෙන්ම එම රැඳවියන් වැඩිදුරටත් පැවසුවේ එම සියලු ආහාරවේල් සෞඛ්‍යාරක්ෂිතව සහ පිරිසිදුභාවයෙන් යුතුව පිළියෙල කරන බවකි. අප වෙත එලෙස අදහස් දැක්වූ ඔවුන් විශේෂයෙන්ම පැවසුවේ ඉරිදා දිනවල බන්ධනාගාරයේ සිටින සියලු රැඳවියන්ට ප්‍රයිඩ් රයිස් සමග කුකුල් මස් ඇතුළු ව්‍යාංජන කිහිපයකින් සමන්විත ඉතා ප්‍රණීත හා රසවත් ආහාර වේලක් ලබාදෙන බවයි. එමෙන්ම විශේෂිත දිනවල කුකුල් මස් බිරියානි වැනි ප්‍රණීත හා විශේෂිත ආහාර වේල් ද ලබාදෙන බවද ඔවුන් වැඩිදුරටත් පැවසීය.

අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් අප වෙත වැඩිදුරටත් වාර්තා වූයේ බන්ධනාගාරයේ නව කළමනාකාරිත්වය බන්ධනාගාරය තුළ ආහාර නාස්තිය අවම කර ඇති බවයි. එමෙන්ම ඉවතලන ආහාර පිටත සත්ව ගොවිපළවල් ආදී ව්‍යාපාරවල යෙදෙන පුද්ගලයන්ට හොඳ මිලකට අලෙවි කර එයින් ද මුදල් ඉතිරි කිරීම සඳහාද බන්ධනාගාර කළමනාකාරීත්වය පියවර ගෙන තිබේ. ඒ අනුව ගත් කල රැඳවියන්ට ආහාර ලබා දීමේදී රජයෙන් ලබාදෙන මුදල්මය ප්‍රතිපාදන බොහෝ සේ ඉතිරි කර ඇති බවද වාර්තා වුණි.

මේ කරුණු සම්බන්ධයෙන් වැඩිදුරටත් කළ සොයා බැලීම් වලදී දැනගන්නට ලැබුණේ 2022 වසරේදී රුපියල් එක් කෝටි දහතුන් ලක්ෂයකට (රු.1 1 300 000) අධික මුදලක්ද 2023 වසරේ රුපියල් එක් කෝටි අනූපන් ලක්ෂයකට (රු 1 9 500 000) ආසන්න මුදලක්ද 2024 වසරේ ගෙවුණු මුල් මාස 11 ක කාලය තුළ රුපියල් කෝටි හතරකට
(රු 4 0 000 000) අධික මුදලක්ද මීගමුව බන්ධනාගාර පරිපාලනය විසින් රජයට ඉතිරි කර දී ඇති බවයි. රැඳවියන්ට ලබාදෙන ආහාර ඉතා ප්‍රණීතවත්, සෞඛ්‍යාරක්ෂිතව සහ පිරිසිදුවත් පිළියෙල කරමින් සහ රැඳවියන්ට ලබා දෙන ආහාර කිසිදු ප්‍රමාණයකින් අඩු නොකොට මෙලෙස විශාල මුදලක් රජයට ඉතිරිකර දීමට ක්‍රියා කිරීම මීගමුව බන්ධනාගාරයේ නව පරිපාලනයේ සුවිශේෂි දස්කමක් ලෙසද හැඳින්විය හැකිය.

එලෙසම 2018 වසරේ කරන ලද ගණන් බැලීමට අනුව බන්ධනාගාරයේ සේවය නියුතුව සිටින්නේ නිලධාරීන් 120 දෙනෙකු පමණ ප්‍රමාණයකි. සාමාන්‍යයෙන් බන්ධනාගාරයේ දීර්ඝකාලීන සිර දඬුවම් විඳින සිරකරුවන් සහ රක්ෂිත බන්ධනාගාර ගත කරන සිරකරුවන් ද ඇතුළුව රැඳවියන් 1800 දෙනෙකු මෙහි රඳවා තැබීමට හැකිය. ඒ අනුව ගත්විට රැඳවියන් 1800 කට පමණ නිලධාරීන් 120 ක ප්‍රමාණයක් සෑහේද ප්‍රශ්නය පැන නැගිය හැක. එහෙත් එවැනි සුළු නිලධාරීන් සංඛ්‍යාවක් මේ බන්ධනාගාරය තුළ පවතින නව කළමනාකාරිත්වය නිසා බන්ධනාගාරය තුළ රැඳවියන්ට ඉතා යහපත් වටපිටාවක්ද ඇතිකර නව ආරක්ෂිත වැඩපිළිවෙළවල් කිහිපයක්ද ක්‍රියාත්මක කරමින් බන්ධනාගාරය තුළ පෙරට වඩා වැඩි ආරක්ෂාවක් සලසා ඇති බවද දැනගන්නට ලැබුණි.

මේ අනුව ගත් කල බන්ධනාගාරය තුළ ක්‍රියාත්මක වන නව පරිපාලනය හේතුවෙන් දැනට සේවයේ නියුතු බන්ධනාගාර නිලධාරීන් සියලු දෙනා එක්ව ඉහත කාලවලදී සිදුවුණු නාස්තිය පිටු දකිමින්, දූෂණය අවම කරමින්, වියදම් පාලනය කර ගනිමින් රජයට විශාල මුදලක් ඉතිරි කර දීම ඉතා ප්‍රශංසනීය වේ.

එමෙන්ම සියලු රැඳවියන්ගේ මානසික සුභසාධනය වෙනුවෙන්, විශේෂයෙන් සිරගත වී සිටින රැඳවියන්ට නීති විරෝධී සහ විෂමාචාර ක්‍රියාවලින් මිදී තමන්ට පුනරුත්ථාපනය වීමට අවැසි වන ආගමික වටපිටාවකින් යුත් පරිසරයක් බන්ධනාගාරය තුළ මේ වනවිට ස්ථාපිත කර ඇත. මේ අනුව විශේෂයෙන්ම බන්ධනාගාරය තුළ නිරන්තරයෙන් සර්ව ආගමික ක්‍රියාකාරකම් සහ වැඩසටහන් පැවැත්වීම ඉතා හොඳ ප්‍රවනතාවයක් ලෙස දැක්විය හැක.

මේ අනුව වඩා යහපත් වටපිටාවක් බන්ධනාගාරය තුළ ඇති කිරීමෙන්ද ,එලෙසම නීති විරෝධී සහ විෂමාචාර ක්‍රියාවන් බන්ධනාගාරය තුළ සිදු නොවීමට අවශ්‍ය වන ආරක්ෂිත වැඩසටහන් ක්‍රියාත්මක කිරීමෙන් ද මීගමුව බන්ධනාගාර නව පරිපාලනය කටයුතු කර ඇති බව ද වැඩිදුරටත් වාර්තා වුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here