(1.00pm )මීගමුව වෙරළ උද්‍යානය හෙවත් බීච් පාර්ක් එක සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් හෙට නාගරික සංවර්ධන අධිකාරියේදී පැවැත්වෙන බව මීගමුව නාගරික කොමසාරිස්වරිය ප්‍රකාශ කරයි.
පසුගිය 07 වැනිදා (07/03/2025) මීගමු නගර ශාලාවේ පැවැති සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී තීරණය වූ පරිදි මීගමුව බීච් පාක් හී ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම, නගර සභා සේවකයන් ලබා සිදු කිරීමට තීරණය වී තිබිණි.
ඒ අනුව පසුගිය 10 වැනි ( 10/03/2025) සඳුදා දින මීගමුව බීච් පාර්ක් හී ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ කාර්යය සඳහා එදින උදෑසන කොමසාරිස්වරියගේ නියමයෙන් මහා නගර සභාවේ සේවකයන් පිරිසක් බීච් පාර්ක් එකට පිටත් කර හැර තිබිණි. එහෙත් කාලයක් තිස්සේ බීච් පාර්ක් හී ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ කාර්යයයේ යෙදී සිටින පෞද්ගලික ආයතනයක සේවකයන් යැයි කියා ගන්නා පිරිසක් එහිදී නගර සභා සේවකයන්ට සිය විරුද්ධත්වය ප්‍රකාශ කර තිබිනි. ඒ අනුව එම පෞද්ගලික ආයතනයේ සේවකයන් යැයි කියාගන්නා පිරිස නගර සභා සේවකයන්ට ප්‍රකාශ කර ඇත්තේ බිච් පාර්ක් හී ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ කාර්යයෙන් තමන්ට ඉවත් වන ලෙස නාගරික සංවර්ධන අධිකාරියේන් කිසිදු ලිඛිත දැනුම් දීමක් කර නොමැති බවයි. එනිසා එවැනි තත්ත්වයක් තුළ මේ කාර්ය සඳහා තම විරුද්ධත්වය ප්‍රකාශ කරන බවද ඔවුන් විසින් එහිදී ප්‍රකාශ කර තිබුණි.
මේ පිළිබඳව එදින අප කළ විමසීමකදී මීගමුව නාගරික කොමසාරිස්වරිය පැවසුවේ මේ පිළිබඳව නාගරික සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරිවරයා ඇතුළු වගකිව යුතු නිලධාරීන්ට සහ එය අයත් වන අමාත්‍යාංශ ලේකම්වරයාට ද මෙම තත්ත්වය සම්බන්ධව තමා විසින් දැනුම් දී ඇති බවයි. ඒ අනුව ඇය වැඩිදුරටත් අප වෙත පැවසුවේ නාගරික සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කරන පරිදි එම ආයතනයටත් දැනට බීච් පාර්ක් හී ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ කාර්යයේ යෙදෙන ආයතනයටත් යම් ගිවිසුමක් ඇති බවයි. ඒ අනුව එම ගිවිසුම් ප්‍රකාරව එම පෞද්ගලික ආයතනයෙන් එම කාර්යය ඉවත් කිරීම සඳහා අවශ්‍ය වන ලිඛිත අවසරය අද දින තමන් වෙත ලැබෙනු ඇති බවයි. ඒ අනුව කොමසාරිස්වරීය පවසා සිටියේ ලිඛිත අවසරය ලද සැණින් බීච් පාක් එකේ දැනට ප්‍රවේශපත්‍ර නිකුත් කරන අදාල ආයතනයේ සේවකයන් එම කාර්ය්‍යයෙන් ඉවත්කර නගර සභා සේවකයන් ලවා ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ කාර්යය කරගෙන යාම සිදු කරන බවයි.
ඒ අනුව එම සතිය මේ වනවිට ගෙවී ගොස් අවසන් වී ඇත.
ඒ පිළිබඳවද අප අද දින (17/03/2025) නාගරික කොමසාරිස්වරියගෙන් විමසූ අවස්ථාවේදී ඇය ප්‍රකාශ කළේ නාගරික සංවර්ධන අධිකාරියේ, සාමාන්‍යාධිකාරිවරයාගේ ප්‍රධානත්වයෙන් හෙට දිනයේ දී (18/03/2025) දැනට බීච් පාක් එක සම්බන්ධයෙන් නාගරික සංවර්ධන අධිකාරිය සහ දැනට එහි ප්‍රවේශ පත්‍ර නිකුත් කරන පුද්ගලික ආයතනය අතර යම් ගිවිසුමක් ඇති නිසා, එම ගිවිසුම අවලංගු කිරීම වැනි කරුණු කාරණා පිළිබඳ වූ සාකච්ඡාවක් එම පෞද්ගලික ආයතනයත් සමඟ හෙට දිනයේදී පැවැත්වීමට නියමිතව ඇති බවයි.
ඒ අනුව නාගරික කොමසාරිස් වැඩිදුරටත් අවධාරණය කරන්නේ හෙට දිනයේ නාගරික සංවර්ධන අධිකාරියත්, එම පෞද්ගලික ආයතනත් අතර පැවැත්වෙන සාකච්ඡාවෙන් පසුව මීගමුව බීච් පාර්ක් හී ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම සහ අනෙකුත් සෙසු කටයුතු කිරීම සඳහා මීගමු මහ නගර සභාවට නීත්‍යානුකූල අවසරය ලැබෙි ද ? යන්න තීරණය වන බවයි.