මීගමුව මුලස්ථාන පොලිස් පරීක්ෂකගේ ‘‘අපේක්ෂිත ඇප අයදුම’’ , අවලංගුයි.

0
83

උසස් පොලිස් නිලධාරියෙකුගේ නිවසින් රන් භාන්ඩ, මැණික් සහ ලක්ෂ ගනනක මුදල් කොල්ලා කෑ යුවලක් මීගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගැනූණු අතර එහිදී එම කොල්ල කෑ රන් භාන්ඩ ඇතුළු වටිනා දෑ පොලිසිය භාරයේ තිබියදී අස්ථාන ගත වී තිබේ. මෙම සිද්ධියට සම්බන්ධ යැයි  මේ වන විට අධිකරණයට අවශ්‍ය සිටින මීගමුව මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා විසින් පසුගියදා අධිකරණයට අපේක්ෂිත ඇප ලබා ගැනිමේ අයදුම්පතක් යොමු කර තිබිණි. මීගමුව මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා විසින් ඉදිරිපත් කර තිබු එම අපේක්ෂිත ඇප අයදුම්පත පිලිබදව සලකා බැලීම,  අගෝස්තු 08 වැනි සදුදා දින පෙවරුවේදී මීගමුව මහේස්ත‍්‍රාත් අධිකරණයේදී සිදුවිය. ඒ මීගමුව,  මහේස්ත‍්‍රාත් අධිකරණයේ වැඩ බලන මහේස්ත‍්‍රාත් ස්වර්ණා පෙරේරා මෙනවිය ඉදිරියේදීය.

මීගමුව මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ මෙම අපේක්ෂිත ඇප අයදුමට අදාලව මෙම සිද්ධියේ විමර්ෂන කටයුතු මෙහෙය වන මිරිහාන , විශේෂ පොලිස් විමර්ෂන ඒකකයේ සහකාර පොලිස් අධිකාරි නිශාන්ත සොයිසා මහතා අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කලේය. සහකාර පොලිස් අධිකාරිවරයා එහිදී පැවසුවේ, මෙම සිද්ධිය පිලිබදව අධිකරණයට ඉදිරිපත් කෙරුණු ‘‘ බී ’’ වාර්තාවේ මීගමුව, මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා සම්බන්ධයෙන් චෝදනා සහ කරුණු අනතර් ගත වන බවයි. ඒ නිසා යම් පුද්ගලයෙකුට අධිකරණයෙන් අපේක්ෂිත ඇප අයදුම්පතක් යොමු කල හැක්කේ එම තැනැත්තාට අදාලව අධිකරනයට එතෙක් ‘‘ බී ’’ වාර්තාවක් මගින් චෝදනා සහ කරුණු ඉදිරිපත්ව නොමැති නම් පමනක් බවද සහකාර පොලිස් අධිකාරි නිශාන්ත සොයිසා මහතා පැවසීය. එහෙයින් මේ වන විටත් මෙම සිද්ධියට අදාලව අධිකරණයට ඉදිරිපත් ව ඇති ‘‘ බී ’’ වාර්තාවේ මීගමුව මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා පිලිබදව සටහන් වීම මත මෙම අපේක්ෂිත ඇප අයදුම අවලංගු විය.

එලෙසම මෙම සිද්ධියට අදාලව මීගමුව පොලිස් ස්ථානයේ සේවයේ නියුතු පොලිස් නිලධාරීන් තිදෙනෙකුව පසුගිය අගෝස්තු මස 05 වැනි දින මීගමුව මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි. එහිදී  මීගමුව ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ඒ.එම්.එන්.පී. අමරසිංහ මහතා නියෝග කලේ මෙම සැකකාර පොලිස් නිලධාරීන් තිදෙනාව ලබන අගෝස්තු 17 වැනි දින හදුනා ගැනිමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙසයි. තවද එදින දක්වා මෙම සැකකාර පොලිස් නිලධාරීන් තිදෙනාව රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසද මහේස්ත‍්‍රාත්වරයා නියෝග කලේය.

කෙසේ වෙතත් වාර්තා වන පරිදි මීගමුව මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා පිලිබද මෙතෙක් කිසිදු තෙරතුරක් නොමැත.