මීගමුව රෝහල් සංවර්ධන පදනම මොකද කරන්නේ ?

0
199

ක්‍රිශාන්ත දල්පදාදු මහතා මීගමුව ප්‍රදේශයේ  ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකි. මීගමුව, මීරිගම පාරේ සංජානා ඇඩ්ඩටයිසින් මෝටර්ස් ඔටෝ ක්ලීන් පාර්ක්  ආයතනයේ අධිපති වන්නේද ඔහුයි. එලෙසම ඔහු සමාජ ක්‍රියාකාරියකු ලෙස සමාජ සේවයේදී සිටි.මීගමුව රෝහල් සංවර්ධන පදනමේ සභාපතිවරයා ලෙස ද කටයුතු කරන ඒ මහතා ශ්‍රී ලංකා මානව හිමිකම් සංවිධානයේ සහ ශ්‍රී ලංකා මූලික අයිතිවාසිකම් සහ සියලු  අයිතිවාසිකම් පිළිබඳ සංවිධානයේ අධ්‍යක්ෂකවරයා ලෙසද කටයුතු කරයි. එලෙසම පොලිස් මහජන ආරක්ෂක කමිටු  සභාපතිවරයෙකි.දළුපත එළිමහන් සිර කඳවුරේ  සුභසාධක සංගමයේ සහ අක්කර පනහ ආවේ මරියා ශාඛා විදුහලේ පාසල් සුභසාධක සංගමයේ භාණ්ඩාගාරිකවරයා වශයෙන්ද ඔහු කටයුතු කරයි. ඒ වගේම මිගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව ඇති ප්‍රාදේශීය සිවිල් සමාජ සම්මේලනයේ උප සභාපතිවරයා ලෙසද සමාජ සේවයේ යෙදී සිටියි.

මෙවැනි ආකාරයේ සමාජසේවා රැසකට සිය දායකත්වය සපයන ක්‍රිෂාන්ත දල්පදාදු මහතා ,ඔහුගේ සමාජ සේවා කාර්යයන් පිළිබඳව  මීපුර වෙබ් අඩවිය සමගින් සිදුකළ කෙටි පිරිසදර පහත පළවේ.

ඔබේ සභාපතිත්වය යටතේ ක්‍රියාත්මක වන මීගමුව රෝහල් සංවර්ධන පදනම විසින් පසුගිය කාලයේ සිදු කරන ලද විශේෂිත ව්‍යාපෘති වැඩසටහන් ගැන දැනගන්න කැමතියි ?

අපි රෝහල් සංවර්ධන කමිටුව හැටියට දැකපු ලොකුම අඩුපාඩුවක් තිබුණා. මේ රෝහලට මෙතෙක් අංග සම්පූර්ණ හෘද රෝගී ඒකකයක් තිබුණේ නැහැ. මේ පිළිබඳව එවකට රෝහල් පරිපාලනයට අපි දැනුවත් කෙරුවා. ඒ කාලේ ඇත්තටම සිදු වුණේ රාගම මහා රෝහලින් හෘද රෝග සම්බන්ධව ඉන්න වෛද්‍යවරු දෙන්නෙක් විතර සතියකට සැරයක් විතර වගේ ඇවිල්ලා  ඔය ඊ.සි.ජී. වගේ රීපෝට් බලලා, වැඩි අවශ්‍යතාවයක් තිබුණොත් රාගම රෝහලට පැමිණෙන්න කියලා යන වැඩේ තමයි සිදු වුනේ.

ඇත්තටම අපිට අවශ්‍ය වුණේ අපේ රෝහලටම අංග සම්පූර්ණ හෘද රෝගී ඒකකයක් ස්ථාපිත කරගන්න. ඒකට ඉතින් හරිහමන් තැනක් තිබුණෙත් නෑ.ඔහොම ඉන්න අතරතුරේදී , අපි දැක්කා රෝහලේ අතහැරලා තිබූනු අර වානේ වලින් හදපු  දෙමහල් ගොඩනැගිල්ලක් . ඒකේ වර්ග අඩී 8000 ක් විතර වගේ ප්‍රමාණයක් තිබුණා  අපි ඒක රෝහල් පරිපාලනය දැනුවත් කරලා ගොඩනැගිල්ල මේ කාර්යය සඳහා වෙන් කරගත්තා.;

ඊට පස්සේ මේ ගොඩනැගිල්ලේ පහත මාලය මේ කාර්ය සඳහා අපි තෝරා ගත්තා. මේ වැඩේ අපි අදියර 03 ක් යටතේ තමයි ක්‍රියාත්මක කෙරුවේ ඒ අනුව පළමු අදියර හැටියට මේක ටයිල් කරලා තිබුණා සමහර තැන් වල සමහර තැන්වල ටයිල් කරලා තිබුණේ නෑ. අපි ඒ ටයිල් කරපු නැති තැන්වල ටයිල් කෙරුවා. ඊට පස්සේ ඒ/ සී කෙරුවා. පාටිෂන්ස් කරලා සමහර ස්ථාන වෙන් කරගත්තා  ඒ අනුව මේ ගොඩනැගිල්ලේ ඉස්සරහම තියෙන කොටස මේ හෘද රෝගී ඒකකයේ ඕ.පී. ඩී  (OPD) එක විදිහට ස්ථාපිත කෙරුවා. ඒ අනුව මේ ඒකකයේ සායන  කටයුතු ඊ.සී.ජී.සහ එකෝ පරීක්ෂණ කරන්න පහසුකම් සැලසුවා .මේ හෘද රෝගී එකකගේ මුල් අදියර විදිහට මේ ඕ.පී.ඩි. එක 2019 දී විවෘත කළා.

එතකොට 2020 අවුරුද්දේ අපි මේක දෙවැනි අදියර මෙහි වාට්ටු සංකීර්ණය ආරම්භ කරන්න බලාපොරොත්තුව හිටියේ. නමුත් ඒ කාලේ කොරෝනා වසංගතය ආවා. දෙවන අදියරේදී බලාපොරොත්තු වුනේ  ඇඳන් 16 කින් පමන වාට්ටුවයි, හදිසි ප්‍රතිකාර ඒකකයක් ඒ කියන්නේ අයි.සී.යූ.  එකක් ස්ථාපිත කරන්න.

ඒ සඳහා මූලිකවම අවශ්‍යතාවයක් වුණා මේකේ වයරින් එක කරගන්න, ඒකෙදි අපේ සංවර්ධන කමිටුවේ ඉන්න නලින්ද කියන ඉංජිනේරුවරයා එයාගේ කාර්යමණ්ඩලය කීපදෙනෙක්ව දාලා ඇස්තමේන්තු කරපු මුදලට වඩා සෑහෙන මුදලක් අඩුවෙන් අපිට ඒ වැඩේ කරලා දුන්නා. ඒ සඳහා අපිට  මුස්ලිම් දේවස්ථානවල අරමුදල්වලින් ආධාර ලැබුණා. එයාලා බලාපොරොත්තු වුනේ මීට වඩා අපිට ආධාර කරන්න. නමුත් කොරෝනා වසංගතය නිසා ඒ වෙලාවේ අසරණ වෙලා හිටපු මුස්ලිම් ජාතිකයන්ට ආධාර උපකාර කරන්න ඒ අයට සිදුවුණා. කොහොම වුණත් ඒ අය මේ වැඩේ අපිට කරගන්න  ඒ වෙලාවේ අපිට උදව් කෙරුවා.ඒ වාගේම තවත් කිහිප දෙනෙක්ම අපට උදව් කෙරුවා., එහෙම උදව් කරපු කෙනෙක් තමයි පාස්ටර් ඒඩ්‍රියන් කියන්නේ. කිතු සෙවන කියලා එයාලගේ මූලස්ථානය තියෙන්නේ  රාගම ප්‍රදේශයේ.

ඒ පාස්ටර්ගේ පුතා මම පෞද්ගලිකව හඳුනන , මගේ හිතවතෙක්. ඉතින් මේ සමහර වැඩ එයාලා ලවා අපි කරගත්තා. රුපියල් කෝටියක් විතර වගේ වැඩ,අපි එයාලා ලවා කරගත්තා. එහෙම කරලා අපිට පොඩි හිරවීමක් වුණා. මේ ඒකකයට අවශ්‍ය ඇඳන් ටික සපයා ගන්න වැඩේදි.  මේකට අවශ්‍ය ඇඳන් ටික ඒ වෙලාවේ හිටපු එස්.එස්.පී. සමන් සිගේරා මහත්මා මේ කොට්ඨාශයේ පොලිස් ස්ථානාධිපතිවරුන්ව දැනුවත් කරලා ඒ අය හරහා ඇඳන් එක දෙක  ගානේ මේ වාට්ටුවට අවශ්‍ය ඇඳන් ටික අපිට  මාස දෙකක් වගේ කාලයක් යන්න කලින් අපිට ලබා දුන්නා. ඒ අනුව ඒ වාට්ටුව 2021 අවුරුද්දේ විවෘත කරන්න අපට හැකි වුණා.

අපි මේ ඒකකය පටන් ගද්දි හිටපු වෛද්‍යතුමිය දිස්නා අමරතුංග මහත්මිය මේ වෙද්දි ජාතික රෝහලට මාරු වුණා.පසුව මේ සඳහා ආවේ වෛද්‍ය  සඳමාලි මහත්මිය එයාටත් මාරුවීමක් ලැබුණා ගිය සතියේ. මේ වෙද්දී අලුත් කෙනෙක් ඇවිල්ලා ඉන්නවා ඒ අජිත් කියලා වෛද්‍යවරයෙක්.
මේ ඒකකයේ තුන්වෙනි අදියර හැටියට අපිට තව එක කොටසක් ආරම්භ කරන්න තියෙනවා.  ඒ කොටසේ තියෙනවා, දැඩි සත්කාර ඒකකයක් වගේ දැඩි නිරීක්ෂණ ඒකකයක් ඒ කියන්නේ අයි.සි.යු. ඒකකයකින්  කරනවාට වඩා රෝගීන්ව දැඩි ලෙස නිරීක්ෂණය කිරීම මෙම ඒකකය මගින් සිදු කරනවා මේ වෙද්දි ඒ කොටසෙත් අපි ටයිල් කරලා, පාටිෂන් ගහලා වෙන් කරලා, ඒ/සී කරලා,අවශ්‍ය ඇඳන් එහෙම ඒකට දාලා තියෙන්නේ. මේක තවම ආරම්භ කරන්න බැරුව ඉන්නේ ඒකට පුහුණු කාර්ය මණ්ඩලය නොමැති හින්දා  රෝහල් පරිපාලනය හරහා අපට ඒ පුහුණු කාර්ය මණ්ඩලය ලැබුණා නම් මේ තුන්වෙනි අදියරත් ඉතා ඉක්මනින්ම මේ හෘද රෝග ඒකකය තුළ ආරම්භ කරන්න පුළුවන් වෙනවා.මේ වෙද්දි මේ ඒකකයේ රෝගීන් 16 දෙනෙකු දැනට නේවාසිකව ප්‍රතිකාර ලබනවා. තුන්වන අදියර සඳහා ඇඳන්  දාසයකින් පමණ දැඩිසත්කාර ඒකකයක් සහ දැඩි නිරීක්ෂණ ඒකකයක් සෑදීමට අවශ්‍ය ස්ථානය පාටිෂන් කර සම්පූර්ණයෙන් AC කර වැඩ අවසන් කර ඇත. පුහුණු කාර්ය මණ්ඩලය ලැබුණොත් ඉතිරි අත්‍යාවශ්‍යම වැඩ ටික සති කීපයක් තුළ අවසන් කර රෝහලට භාර දීමේ හැකියාව ඇත.

ඇත්තටම මේ වැඩකටයුතු සියල්ලක්ම වාගේ අපිට කරගන්න පුළුවන් වුනේ  අප මේ රෝහල් සංවර්ධන කමිටුව කරපු ඉල්ලීම් වලට ප්‍රතිචාර දක්වලා උදව් කරපු පිරිස සහ ආයතන නිසයි.  අපි බොහෝ විට මේ වැඩකටයුතු කර ගනිද්දි අපි ඒ මුදල් පරිහරණය කෙරුවේ නෑ
ඒ අයගෙන් සේවාවන් විදිහට එයාලටම කියලා තමයි කරගත්තේ. බැලුවොත් මේ වෙද්දි රුපියල් කෝටි 10 කට ආසන්න  මුදලක් මේ හෘද රෝග රෝග එකකය සඳහා වැය වෙලා ඇති .කියලා මම හිතනවා

ඒ වගේම දැන් මේ මීගමුව රෝහලේ සෑහෙන කාලෙක ඉඳලා ප්‍රශ්නයක් තිබුණා,  රෝහලේ සායන වලට එන වැඩිහිටි , වයෝවෘද්ධ ඇයට. මොකද එයාලා මේ සායන වලට ආපුවාම එයාලට රෝහලේ ඉන්න තැනක් නෑ. මොකද එයාලව රෝහල ඇතුලට ගන්නේ උදේ 7.00 න්  පස්සේ .  ඉතින් එයාලා ප්‍රධාන පාරේ එහේ, මෙහේ  තමයි උදේට ඇවිල්ලා ඉන්නේ . සමහර වෙලාවට වාහනවලටත් හැප්පෙන්න යනවා. ඉතින් රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ප්‍රියන්ත මහත්මා අපෙන් ඉල්ලීමක් කෙරුවා මෙයාලට ඉඳගන්න  බංකු ටිකක් හදලා දෙන්න කියලා . ඒ අනුව අපි ඒ කාර්යය කරලා දුන්නා. දැන් උදේට සායන වලට එන අයට අමාරුවෙන් එහෙ මෙහෙ ඉන්න අවශ්‍ය නැහැ, රෝහලේම වාඩිවෙලා ඉන්න පුළුවන් සායන පටන් ගන්නකම් .

වෛද්‍ය ශ්‍රී දරන් මහතා 2017 අධික ඩෙංගු වසංගතය පැවති මොහොතේ රෝගීන්ට සිටීමට තැනක් නොමැති කමින් නව වාට්ටු දෙකක් ලෙස 20/21ආරම්භ කළා. ඒ සඳහා ඇදන් පනහක් පමණ ඉවත දමා තිබූ ඇඳන් අලුත් අලුත්වැඩියා කර සහ අවට රෝහල්වලින් ඉල්ලා ගැනීමට රෝහල් සංවර්ධන පදනමට හැකිවුණා.
ඒත් එක්කම පල්ලෙහා තට්ටුවේ අමතර බෙහෙත් ශාලාවක් ඒ කියන්නේ බෙහෙත් දෙන ස්ථානයක් (ෆාමසි) ස්ථාපිත කරලා මේ වෙද්දි රෝහලට භාර දීලා තියෙනවා.

රෝහල් සංවර්ධන කමිටුව මගින් ගර්භණී මව්වරුන් සඳහා සිදුකළ කාර්යභාරයන් මොනවාද ?

ඔව් මීගමුව රෝහලේ  ගර්භනී මව්වරුන් සඳහා තියෙන වාට්ටු දෙක තමයි වාට්ටු අංක 10 සහ 12 කියන්නේ. මෙන්න මේ වාට්ටු දෙකයි, ප්‍රසූතිකාගාරයයි රෝහල් සංවර්ධන කමිටුවේ ආරාධනයෙන් කටුනායක පිහිටා තියෙන ඒ.ටී.ජී ( ATG ) කියන කර්මාන්තශාලාවේ ෆසල් ආබ්දීන් මහත්මයාට කියලා  මේ වාට්ටු දෙක සහ සූතිකාගාරය ලක්ෂ 138 ක විශාල මුදලක් වැය කරලා නවීකරණය කළා. අපි ඒ මහත්තයාගෙන් මේ ඉල්ලීම කරපුවම බොහොම කැමති වුණා, මේ කාර්යභාරය ඉටු කරන්න. මව්වරුන්ට උපහාරයක් විදියට තමයි, මේ කාර්යභාරය සිදු කළේ. ඒ අනුව මේ වාට්ටු සහ ප්‍රසූතිකාගාරය ඒ/සී කරලා, ටයිල් කරලා, සිවිලිං ගහලා අර පරණ  ටොයිලට් වෙනුවට අලුතෙන් කොමඩ් හයි කරලා  මේ වාට්ටු දෙක සහ ප්‍රසූතිකාගාරය ඉතාමත් හොඳට මේ වෙද්දි නවීකරණය කරලා තියෙනවා

ඒත් එක්කම මේ රෝහලේ  තියෙන “නොමේරූ ළදරු ඒකකය ” අපේ සංවර්ධන කමිටුවේ ඉන්න බාමා ජුවලරස්  සහ පුෂ්පා ජුවලර්ස් කියන ව්‍යාපාරික ස්ථානවල අධිපතින් ලවා නවීකරණය කරලා තියෙනවා ඒ  වගේම මේ රෝහලේ 07 වෙනි වාට්ටුව, ඒ වාට්ටුවත් ගර්භනී මවුවරුන් සඳහා වෙන්වුණු වාට්ටුවක්. මේ වාට්ටුව අපේ හදිසි මරණ පරීක්ෂක  ජයන්ත වෛද්‍යතුමා මැදිහත්ව කටුනායක, කර්මාන්තශාලාවකට ආරාධනා කරලා ඒ අයගේ ප්‍රතිපාදනවලින් මේ 07වැනි වාට්ටුව අංග සම්පූර්ණ විදිහට මේ වෙද්දී නවීකරණය කරලා තියෙනවා.

.
මේ අපි  රෝහල් සංවර්ධන කමිටුව විදිහට කරපු කාර්යභාරයන්  වලින් කීහිපයක් විතරයි. අපි තව ගොඩක් වැඩ කරලා තියෙනවා. ඒත් එක්කම මට පොඩි දෙයක් මෙතනදි පවසන්න ඕන මීගමුව  රෝහල් සංවර්ධන පදනම මගින් විශාල සේවාවක් කිරීම සඳහා මා නායකත්වය ගත්තත් මට යෝධ ශක්තියක් වුනේ  මේ රෝහල් සංවර්ධන කමිටුවේ ලේකම් ලෙස කටයුතු කරන මාර්කස් කාරියකරවන මහතා සහ මාගේ කණ්ඩායම බව මෙහිදී මම මතක් කර සිටිනවා

රෝහල් සංවර්ධන කමිටුවේ සභාපතිවරයා විදිහට මේ රෝහල තුළ තව තියෙන අඩුපාඩු විදිහට දකින්නේ මොනවද?

දැන් කරන්න තියෙන කාර්යයක් තමයි. මේ රෝහලේ ගොඩනැගිල්ලේ ප්‍රශ්නයක් නිසා අතහැරලා දාලා තියෙන පෙර භාවිතා කළ ශල්‍යාගාරය නැවත සක්‍රීය කරන එක.මේ ශල්‍යාගාරය පහුගිය දවස්වල වෙනත් තැනක ස්ථාපිත කෙරුවා.නමුත් එතන ටිකක් ඉඩ මදි. ඒ නිසා මේ වෙද්දී මීගමුව රෝහලේ ප්‍රධාන මහල් ගොඩනැගිල්ල දැන් යථා තත්ත්වයට පත්වෙලා තියෙනවා. ඒ නිසා ශල්‍යාගාරය  නැවත සක්‍රීය මට්ටමට ගන්න රෝහල් අධ්‍යක්ෂකවරයා සහ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා යම් උත්සාහයක් ගන්නවා. ඉතින් ඒක නවීකරණය කරලා, භාවිතා කරන්න හැකි වුනොත්, මේ ශල්‍යාගාරය  රෝහලේ ප්‍රධාන ශල්‍යාගාරය බවට නැවත
පත්කරගන්න පුළුවන් වෙනවා.

රෝහලේ මෝචරියේ තත්ත්වය

ඒ වගේමයි රෝහලේ මෝචරියේ තත්ත්වය. පහුගිය කාලයේ මෘත ශරීර තැන්පත් කරන  ශීතකරන කැඩිලා තිබුණා .ඒ වෙලාවෙදි අපි මසුන් ප්‍රවාහනය කරන ලොරි රථ වලට සවි  කරන කූල් රූම් ( cool room) එකක් ඒකට කන්වර්ට් කෙරුවා. එහි යම් සාර්ථකත්වයක් තිබුණා. ඉන්පස්සේ කොරෝනා කාලේ ඔය ක්‍රමය වෙනත් රෝහල්වලත් කරන්න පටන් ගත්තා, ඒ කාලේ දිනපතා මෘත ශරීර වැඩි වුණු ප්‍රවණතාවය නිසා.

ඒ වගේ ක්‍රමයක් හදිසි අවස්ථාවකදී භාවිතා කලාට ප්‍රශ්නයක් නෑ.  නමුත් මීගමුව වැනි සුපිරි නගරයක තියෙන රටේ ප්‍රධාන රෝහලක තියෙන මෝචරියකට ඒ වගේ දෙයක් හැමදාටම ඒතරම් ගැලපෙන්නේ නෑ හිතන්නකෝ ගුවන්තොටුපලේ හරි ගුවන් යානයක හරි ප්‍රභූවරයෙකුගේ මරණයක් සිදුවෙනවා, එතකොට ඒ මෘත දේහය ගෙනත් දාන්න සිදුවෙන්නේ මේ මෝචරියට.  එතකොට මේ මෝචරිය මේ වගේ  දැන් තියෙන තත්වයට තිබුනොත් එක මේ රෝහලට විතරක් නෙවෙයි මුළු රටටම විශාල අපකීර්තියක් වෙනවා. ඒ නිසා මේ මෝචරිය නවීන  පහසුකම් සහිතව නවීකරණය කර ස්ථාපිතව තිබිය යුතුයි. එසේ නොවුනහොත් අර මම කලින් කිව්වා වගේ ඒක අපේ රටටම විශාල අපි කීර්තියක් වෙන්න පුළුවන්.  ඉතින් මෝචරිය පහසුකම් සහිතව  නවීකරණය වීම අත්‍යවශ්‍යයි.

මිගමුව රෝහලේ වැදගත්කම

මීගමුව  රෝහලෙන් තමයි තවමත් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ වෛද්‍යමය කටයුතු සහ සේවාවන් සිදුවන්නේ. ඒත් එක්කම ආයෝජන මණ්ඩලය,ඒවගේම සංචාරක පුරවරය, පොලිස් අභ්‍යාස විද්‍යාලය, ගුවන් හමුදා කඳවුර මේ සෑම දෙයක්ම තියෙන්නේ මීගමුව නගරය ආශ්‍රිතව , ඒ නිසා හදිසි තත්වයක්  ඇති වුවහොත් මීගමුව රෝහලේ වෙනත් සෑම අංශයක් වගේම මෝචරියත් නවීකරණය වී තිබිය යුතුයි.

දැන් මේ රෝහලේ මෝචරිය, මෝචරි සංකීර්ණයක් විදිහට ගොඩනගන්න පටන් අරන් බොහෝ කල් වෙනවා. මීගමුවේ රොයිස් විජිත මහතා පළාත් සභා මන්ත්‍රීවරයෙක්ව සිටින කාලේ එතුමාගේ ප්‍රතිපාදන මත තමයි මේක පටන් ගත්තේ.

නමුත් මේ වෙද්දී රෝහල මධ්‍යම රජයට පවරගෙන. එතකොට මේ ස්ථානයේ මෝචරියට අමතරව, උප්පැන්න මරණ රෙජස්ටර් කිරීම ඇතුළු ඒ කටයුතුත්, ඒ වගේම රෝහල් පොලිසිය, හදිසි මරණ පරීක්ෂක, අධිකරණ විශේෂඥ වෛද්‍ය ඇතුළු සියලුම සේවාවන් එකම ස්ථානයකදී කරගන්න හැකි වෙනවා. ඉතින් ඒ නිසා මෙය ඉක්මනින්ම ගොඩනැගිය යුතුයි කියලයි මම හිතන්නේ. දැන් මේ ගොඩනැගීමේ කටයුතු සිදු වෙන්නේ මධ්‍යම රජය මගින්. ඉතින් වැඩ ටිකක් මන්දගාමීව තමයි සිදුවන්නේ. ඉතින් මෙහි වැඩ ඉක්මනින්ම අවසන් වෙනවා නම්, ඒ තුළ විශාල සේවාවක් මහජනතාවට සිද්ධ වෙනවා.