මීගමුව රෝහලේත් හොර දොස්තර කෙනෙක්.

0
58

      ( 8.00am )    පසුගිය සතියේ දිනක උදෑසන මීගමුව මහා රෝහලේ  06 වැනි වාට්ටුවේ විශේෂඥ වෛද්‍යවරුන් සහ එම වාට්ටුවේ සේවයේ නියුතු සාමාන්‍ය වෛද්‍යවරුන් සුපුරුදු ලෙස එම වාට්ටුවේ සිටින රෝගීන් බැලීම හෙවත් වාට්ටුවේ නේවාසික රෝගීන් නිරීක්ෂණය කිරීම සිදුවිය.

විශේෂඥ වෛද්‍යවරුන් සහ වාට්ටුවේ සිටින සාමාන්‍ය වෛද්‍යවරුන් එලෙස වාට්ටුවේ රෝගීන්  නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ඔවුන් සැම වාට්ටුවෙන් පිටව ගිය පසු මීට පෙර රෝහලේදී දැක නැති වෛද්‍යවරයෙකු ලෙස සිතිය හැකි පරිදි හොඳින් හැඳ පැළඳගත් පුද්ගලයකු එම වාට්ටුවට පැමිණ තිබිණි.

අත් දිග කමිසයකින් හා ඊටම ගැලපෙන දිගු කලිසමකින් සැරසී සපත්තු මේස් පැළඳ සිටි මේ පුද්ගලයා විටෙක අතේ සහ තවත් පිටක සිය කලිසම් සාක්කුවේද වෛද්‍යවරයකු අත නිතර දැකිය හැකි වෙදනලාවක් හෙවත් ස්තෙස්කෝපයක්ද තිබී ඇත. ඒ අනුව බැලූ බැල්මටම ඔහු වෛද්‍යවරයකු සේ දිස් විය.

එහෙත් ඔහුව මීට පෙර මේ රෝහල තුළදී කලින් දැක නොමැති නිසා හෙද කාර්යය මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ හෙද නිලධාරිනියක ඔහුගෙන් ප්‍රශ්න කර ඇත්තේ ඔහු මෙම රෝහලේ වෛද්‍යවරයෙක් නොවන බව පවසමිනි. එහිදී ඔහු පෙරලා එම හෙද නිලධාරිණියට  උස් හඬින් දොස් පවරා ඇත්තේ තමා මේ රෝහලේ සේවයේ නියුතු වෛද්‍යවරයෙකු බවත් ,එවැනි වෛද්‍යවරුන්ගෙන් ප්‍රශ්න කරන්නට එම හෙද නිලධාරිනියට විනයක් නැති බවය.
වඩාත් උස් හඬින්  ඇසුණු මේ සංවාදය සඳහා පසුව වාට්ටුවේ සිටි තවත් හෙද නිලධාරීනියන්  පිරිසක්ද මේ වෛද්‍යවරයා ලෙස පෙනී සිටි පුද්ගලයා සිටින තැනට  පැමිණ තිබිණි.

එහිදී එක් හෙද නිලධාරිනියක පවසා ඇත්තේ ඔහු ළඟ ඇති වෛද්‍යවරයෙකුට නිකුත් කරන රාජකාරි හැදුනුම්පත් ඉදිරිපත් කරන ලෙසයි.එහිදී ඔහු ජංගම දුරකථනයක් ගෙන එහි ඇති රාජකාරී හැඳුනුම්පතක ඡායාරූපයක් පෙන්වා ඇත. එහෙත් ඒ බව පිළිනොගත් එම වාට්ටුවේ හෙද නිලධාරීනියන් ප්‍රකාශ කර ඇත්තේ ඔහුගේ අනන්‍යතාවය පෙන්වා දෙන ලෙසයි.  එහිදීද ඔහු වෛද්‍යවරයෙකුගෙන් ප්‍රශ්න කරන්නට මේ වාට්ටුවේ හෙද නිලධාරිනියන්ට විනයක් නැති බව පවසමින් එම වාට්ටුවෙන් පිටවී ඉක්මන් ගමනින් විදුලි සෝපානය වෙත ගොස් තිබේ. එහිදී වාට්ටුවේ හෙද නිලධාරිනියන්ගේ කෑ ගැසීම හේතුවෙන් රෝහලේ ආරක්ෂක අංශය විසින් ඔහු අල්ලා ගෙන රෝහල් පොලිසිය වෙත භාර දී තිබේ.

රෝහල් පොලිසිය කරන ලද ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු ව්‍යාජ වෛද්‍යවරයෙකු හෙවත් හොර දොස්තරවරයෙකු බව හෙළිදරව් වී තිබේ. රෝහල් පොලිසිය මගින් පසුව ඔහුව මීගමු පොලිසියේ අපරාධ අංශය වෙත යොමු කර ඇති බවද පසුව වාර්තා විය.

රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ විශේෂඥ වෛද්‍යවරුන් හා වාට්ටුවේ සාමාන්‍ය වෛද්‍යවරුන් රෝගීන් නිරීක්ෂණය කර යෑමෙන් පසු මෙම ව්‍යාජ වෛද්‍යවරයා පැමිණ ඇත්තේ ස්කෑන් පරීක්ෂණ සඳහා යන කාන්තා රෝගීන්ගේ රන් ආභරණ කොල්ලකෑමේ අදිටනින් විය යුතු බවයි. මීගමු රෝහල  තුළ එවැනි සිද්ධියක් මීට කලකට පෙරද සිදුවූ  අතර සොරකමට ද මේ පුද්ගලයාගේ යම් සම්බන්ධයක් ඇතැයි රෝහල් කාර්ය මණ්ඩලයේ බොහෝ දෙනා මෙහිදී සැක පළ කරති.

ස්කෑන් පරීක්ෂණ සඳහා සහභාගි වන කාන්තා රෝගීන්ගේ කණකර ආභරණ ගලවා ඒවා  සොරකම් කිරීමේ කාර්යයක යෙදී සිටි වෛද්‍යවරයකු සේ වෙස්වලාගත් පුද්ගලයෙකු කොළඹ මහා රෝහලින්ද පසුගියදා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි. පසුව සොයා බැලීමේදී වාර්තා වූයේ වෛද්‍යවරයෙකු සේ සිටියත් එම තැනැත්තා කොළඹ මහ රෝහලේ කාර්ය සහායකයකු හෙවත් ඇටෙන්ඩන්ඩරයකු බවයි.

මීගමුව රෝහලේ කාර්යමණ්ඩල  සිටින වැඩි පිරිසක් ප්‍රකාශ කරන්නේ මේ තැනැත්තාද ව්‍යාජ වෛද්‍යවරයෙකු එනම් හොර දොස්තර කෙනෙකු ලෙස පැමිණ ඇත්තේ අහිංසක රෝගීන් සතු වටිනා කියන දේවල් සොරාගෙන යාමට බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here