මීගමුව රෝහලේ කාන්තා නේවාසිකාගාරයට ඇතුළුවී (27 වන දින ) හෙදි නිලධාරිනියකගේ කාමරයක තිබුනු මුදල් සහ ලියවිලි කිහිපයක් රැගෙනයාමෙන් පෙනී යන්නේ රෝහලේ සමහර ස්ථාන ගැන නිසි අවධානයක් නොමැති නිසා ආරක්ෂාව පිළිබඳව ප්‍රශ්ණයක් පැනනැගී ඇති බවයි . කාන්තා නේවාසිකාගාරයට හොරු පැනීම මෙහිදී සිදුවූ එක් සිදුවීමක් පමණි .මීට පෙරද බොරු වෛද්‍යවරයකු ලෙස වෙස්වලාගෙන හොරකමේ යෙදුණු අයෙකු පිළිබඳව තොරතුරු ලැබී තිබිණ .පසුගිය කාන්තා නේවාසිකාගාරයේ හොරකම සිදුවී ඇත්තේ මාරිස්ටෙලා විදුහල සහ රෝහල අතර ඇති ප්‍රදේශය මුල්කරගෙනය. මාස දෙකක පමණ කාලයක සිට මෙම කාන්තා නේවාසිකාගාරයට අදාලව කාන්තා ආරක්ෂකයෙකු නොසිටි බව පොලීසිය සඳහන් කරයි. එසේම රෝහලේ ccTV කැමරාද නිසියාකාරව ක්‍රියාත්මක නොවන බව සඳහන්ය.
ඉහතකී රෝහල සහ විදුහල අතර ඇති මෙන්ඩිස් මාවත හොරුන් සහ මංකොල්ල කරුවන්ට කදිම පරිසරයකි. එම ප්‍රදේශයේ පවතින පාළු හුදෙකලා ස්වභාවය තුළ රාත්‍රියකදී ඕනෑම දෙයක් සිදුවීමේ ඉඩකඩක් ඇත. මීගමුව පොලීසිය ප්‍රකාශ කරන ආකාරයට මෙහි ඇති තාප්පය කෙටි නිසා හොරෙකුට රෝහල් භූමියට පැනගැනීමේ හැකියාවක් ඇත. විශේෂයෙන් නව මෘතශරීරාගාරයට අදාල ගොඩනැගිල්ල පැත්තෙන් ඇති නිවස ඉදිරිපිට තාප්පය ඉතා කෙටිය. මෙම ස්ථානය පිළිබඳව මීගමුව පොලීසිය සාකච්ඡා කර ඇති බවත් පොලීසියේ ස්ථානාධිපති වන වුඩ්ලර් මහතා මේ පිළිබඳව කරුණු දක්වා වාර්තාවක් ඉදිරිපත් කර ඇති බවත් පොලීසියේ නිලධාරියෙකු අප සමඟ පැවසීය.
මෙම පාරේ වාහන නතර කිරීම තහනම් බවට දැන්වීම් පුවරු සවිකර ඇති නමුත් විකල්පයක් නැති බව කියමින් මෙම ස්ථානයේ වාහන නතර කරති.
මේ නිසා මෙම ස්ථාන පිළිබඳව දැඩි අවධානයක් යොමු කර රෝහලේ ආරක්ෂාව තහවුරු කිරීම වගකිවයුත්තන්ගේ වගකීමක් බව අප මින් අවධාරණය කරන්නෙමු .