මීගමු කලපුවට කරවල අපද්‍රව්‍ය මුදා හැරීමට එරෙහි නඩුව කල්යයි.

0
307

 lagoon 4

මීගමුව  පිටිපන  පැදිමංකඩ  ප්‍රදේශය  විශාල  ජන  පිරිසක්  වාසය  කරන  ගම්මානයකි.  මේ  අසල  පුද්ගලයින්  කිහිප දෙනෙකු   කරවල නිපදවීම  සඳහා  කරවල  වාඩි  කිහිපයක්  පවත්වාගෙන  යාම  නිසා  මෙම  ගම්මානයේ  වැසියන්  හට  එම  දුර්ගන්ධයටත්,  එම   අපද්‍රව්‍ය  කලපුවට  මුදාහැරීම  මත  පාරිසරික  ප්‍රශ්ණයකටත්   මුහුණ  දීමට සිදුව  ඇත.  මේ  සම්බන්ධව  අප  අවස්ථා  කිහිපයකදී  කරුණු  පැහැදිළි   කරමින්  ලිපි  පළ කළෙමු.

කලපුවට  කරවල  අපද්‍රව්‍ය  මුදාහැරීම  ගැන  මතුව  ඇති  පාරිසරික  ප්‍රශ්ණය  පදනම්  කර  ගනිමින්  ඉහත  සඳහන්  පැදිමංකඩ   ප්‍රදේශවාසීන්  විසින්  කරන ලද  ඉල්ලීමකට අනුව  මීගමුව  නගරසභාවේ  මහජන  සෞඛ්‍ය  පරීක්ෂක වරු  විසින්  නඩුවක්   පවරා ඇති අතර    මෙම  නඩුව   මීගමුව  මහාධිකරණ  සංකීර්ණයේදී  අද දින  ( 26)  විභාගයට  ගන්නා ලදී.  මෙහිදී  දෙපක්ෂයෙන්ම  ඉදිරිපත්වූ  තර්ක  සළකා  බැලූ  නමුත් අධිකරණය  මගින් තීන්දුවක්  ප්‍රකාශයට  පත්කළේ  නැත.

පැමිණිළි  පාර්ශවයෙන්  සියයක  පමණ  පිරිසක්  සහභාගී වී  සිටි  අතර  කරවල  වාඩි  අයිති  අය  අතර  ශ්‍රීමාල්  පැටී වාස්( නඩු  අංක – L  83926 ) ,  රසන්ත  බොනිපස්  ප්‍රනාන්දු(  නඩු  අංක  – L  83924)   ,  ලසන්ත  ප්‍රනාන්දු  (  නඩු  අංක  – L 83925)  ,     ඩිල්ෂාන්  චතුරවාස්   (  නඩු  අංක  – L  83927) , යන  අය  විත්තිකාර  පාර්ශවය  ලෙස  ඉදිරිපත්විය.  මොවුන්ට  එරෙහිව  චෝදනාව  ලෙස  ඉදිරිපත්  වන්නේ  මහජනතාවට  පීඩා  වන  අයුරින්  කරවල  නිපදවීම  යනුවෙනි.  මෙහිදී  විත්තිකාර  පාර්ශවයෙන්  ඉදිරිපත්  වන්නේ  රාජ්‍ය  ආයතන  වලින්  මෙකී  ස්ථාන  පරීක්ෂා  කළ  බවත්,  එහිදී  මෙවැනි  අපද්‍රව්‍ය  මුදා හැරීමක්  සිදුවී  නැති බවත්ය.  ඊට  විරුද්ධව  කරුණු  දැක්වූ  ජනතාවගේ   පැත්තෙන්  ඉදිරිපත්වූ  තර්කය  වූයේ  එකී  ආයතන  වලින්  පැමිණෙන  නිලධාරීන්  එන්නට  පෙර  මේ  කරවල  වාඩි  වලට  දැනගන්නට  ලැබෙන  හෙයින්  ඔවුන්  ඒ සඳහා  සූදානම් වන  බවයි.  මේ  අතර  කරවල  මුදලාලිලා  ගෙන්  කරදර  සිදුවීම  ගැන  පැමිණිළි  පාර්ශවයෙන්  ඉදිරිපත්වූ  චෝදනාව  සළකා  බැලූ  විනිසුරු  තුමිය  ඉදිරියටත්  එසේ වුවහොත්  ඇපදීම   වළකාලමින්  රිමාන්ඩ්  භාරයේ  තබන  බවට  අනතුරු  අඟවන ලදී.  එසේම   ජූලිමස  4වන  දිනට  නැවත විභාගය  සඳහා  දින  නියම  කරන  ලදී.

මේ වනවිට  මීගමුව  පුරා  සිටින  ධීවර  ජනතාව  අපද්‍රව්‍ය  දමා  කලපුව සහ මුහුද  විනාශකිරීමට  එරෙහිව  පෙළ  ගැසෙමින්  සිටිති.  මුහුදේ  සහ  කලපුවේ  සුළු  ආම්පන්න  යොදා  රස්සාව  කරන  ධීවරයින්ට  දැලක් එලා ගැනීමට  නොහැකි වන සේ  මාළු  කටු  ,  ඔළු  සහ  වෙනත්  අපද්‍රව්‍ය  වලින්  පිරී  ඇත.  මේ  අනුව  පැහැදිළි  වන්නේ   ප්‍රශ්ණය  ඉතාමත්  බරපතල  බවයි.  මේ  තත්වය  තේරුම්  නොගෙන  කටයුතු  කළ හොත්  ඉහතකී  යථාර්තය  ඉදිරියේ  සියළු දෙනාම  මෙම  තත්වයට  වගකිවයුත්තෝ  වනු  ඇත.