මීපුරයේ නවවෙනසකට පුරෝගාමී මෙහෙවරක් ඉටුකළ ගුරුපියා !

0
204

DSC_0856තිඹිරිගස්කටුව,  දවටගහවත්ත,  ශාන්ත  ආනා  මාවතේ  ඇල්සඳර  නම්වූ  නිවස  අද  පාළු  ගතියකින්  යුතු  වුවද  වසර  ගනනාවකට  ඉහතදී  මෙය   නිතර  මිනිසුන්ගෙන්  පිරී  පැවතුනු  ස්ථානයකි.  මෙහි  කලක්  ජීවත්වූයේ  ප්‍රමුඛපෙළේ  විදුහල්පති වරයෙකුය.  ඉන්පසු  ඔහු  ප්‍රමුඛපෙළේ  දේශපාලනඥයෙකු  බවට  පත්විය   දක්ෂ  ගුරුවරයෙකු  මෙන්ම  මානවහිතවාදී  සමාජසේවකයෙකුද  වන  ඔහු  නමින්  කව්රුත්  දන්නේ  ජෝන්  සර්  යනුවෙනි.  මේ  නගරයේ  විවිධ  චරිත  පිළිබඳව  තොරතුරු  සොයායන  ගමනේදී   මෙම  පරිනත  පුද්ගලයා  හමුවීමට  අදහස්  කළේ   ඔහු  සතුව  පවතින  යම්  දැනුම්  සම්භාරයක්  සමාජගත  කිරීම  වැදගත්වේ  යැයි  කල්පනා  කළ  බැවිනි.  මෙම  නිවසට  ගොඩවී   ඔහු  සමඟ  කරන  සාකච්ඡාව තුළ  මීගමු  නගරයේ  විවිධ  දේවල් ගැන  අදහස්   මතුවන්නේ  මැණික්  පතලකින්  ඉල්ලමක්  මතුවන්නාසේය.මේ  අනුව  අපි  පුද්ගලික  ජීවිතයේ  තොරතුරු  සමඟ   කථාබහ  ආරම්භ කළේ මෙසේය.

මම  ජෝන්  ඇන්ටනි  ප්‍රනාන්දු.  මගෙ  බිරිඳ ඩබ්.  ඒ.  කමලා. දරුවො  හතර දෙනයි. වැල්ලවීදිය  ඉස්කෝලෙ  අවුරුදු  3ක් විතර  ඉගෙනගත්තා. පස්සෙ කෙහෙල් කැන් කඩේ  කියල හඳුන්වපු  සෙන්ට් පීටර්ස්  කොලේජ් , කොච්චිකඩේ මහවිද්‍යාලය,  සෙන්ට්මේරිස් කොලේජ්  යන  පාසැල්වල  ඉගෙන ගත්තා. නමුත්  හරියට  ඉගෙනගන්න  අඩිතාලම  වැටුනෙ  සෙමනේරියේදි.  පස්සෙ  ලන්ඩන්  විශ්වවිද්‍යාලෙ  කරන  විභාගය  මෙහෙ  ඉඳල  කළා. ඒ  විභාගයෙන්  මම  සමත්වුනා.  මේ  අනුව  භාෂා  හතරක්  හැදෑරීමටත්  ඒ  අනුව  අධ්‍යයන  කටයුතු කිරීමටත්   හැකිවුනා. ඒ  ඉංග්‍රීසි ,  ලතින්,  පාලි,  සිංහළ  යන  භාෂා  හතරෙන්. ලන්ඩන්  වි. වි.යෙන් පාලි,  සිංහල(ගෟරව)  සහ  මනෝවිද්‍යාව  ඩිප්ලෝමා  කළා.

ඔබේ ගුරු  සේවය  ගැන  යමක්  කිව්වොත්.

ඇත්ගාල  ක.වි. විද්‍යාලයේ  ඉංග්‍රීසි  උපගුරු  සේවයේ  කටයුතු  කළා. අවුරුදු  6ක් කුරුණෑගල  පිලැස්ස මහ විද්‍යාලයේ  නියොජ්‍ය  විදුහල්පති  ලෙස  කටයුතු  කළා. එහිදි  නව  සංකල්ප ටිකක් ක්‍රියාත්මක  කළා.ඒ  1960 දි.ඊට  පස්සෙ  ඉඹුල්ගොඩ මහ විද්‍යාලෙ  අවුරුද්දක්  වැඩ  කළා. ඊට  පස්සෙ හෙට්ටිපොළ  මහවිද්‍යාලය අවුරුදු 10ක්, වාරියපොල ශ්‍රීසුමංගල  අවුරුදු  3ක්,මීගමුව  ශාන්තපීතර අවුරුදු  10ක්(  1978- 1988)  ආදී  වශයෙන්  විදුහල්පති  ලෙස  සේවය  කළ අතර එහි  විදුහල්පතිව  සිටින  කාලයේම  බෝලවලාන  ට්‍රේනින්  කොලේජ්  එකේ  මනෝවිද්‍යාව  කථිකාචාර්්‍ය වරයා   ලෙස( ඉංග්‍රීසි මාධ්‍යය) අමතරව  කටයුතු  කළා.

දේශපාලනය  ජීවිතය ගැන තොතුරු  ගැන   කොහොමද?

මම  මිගමුව  නගරසභාවෙ  නාගරික  මන්ත්‍රී වරයෙක්  ලෙසත්, නියෝජ්‍ය  නගරාධිපති ලෙසත්, බස්නාහිර  පළාතෙ මන්ත්‍රීවරයෙක්  ලෙසත්  කටයුතු  කළා.

ඡන්දය  හරියට   අයිස්ක්‍රීම්  එකක් වගෙයි.  රස  තියෙන්නෙ  එකඑක විදිහට.  එකඑක්කෙනා  තමන් කැමති  රසයට  අනුව  තමයි  ඡන්දය  පාවිච්චි  කරන්නෙ. ඒකියන්නෙ  සාධක  කිහිපයක්  මත  තමයි  ඡන්දය  පාවිච්චි කරන්නෙ. එක  අවස්ථාවක  සේයා  නම්  දරුවා  දූෂණය  කළ  පුද්ගලයාගෙන්  මාධ්‍යවේදියෙක්  ප්‍රශ්ණයක්  අහනව ( වොයිස්  කට්  එකක්  ගැනීමේ දී)  ඉදිරි  බලාපොරොත්තු  ගැන.  ඔහු  කිව්වෙ මම  දේශපාලනය  කරනව  කියලයි.  ඒ  කථාවෙන්   ඔහු  හිටපු  තැනින්  ඉහළට  එසවුනා. ප්‍රසිද්ධවුනා.  ඒ  නිසා  ඡන්දය  ඇතුවත් බැරි  නැතුවත් බැරි  දෙයක්.

මීගමුව  ගැන  මිනිස්සු   කළකිරිල  ඉන්නෙ.  තියෙන  ප්‍රශ්ණ  ගැන  කථාකරන්න  කැමති නෑ.   යුක්තිය  වෙනුවෙන්කථාකරන්නෙ  නෑ.  නිහඬව  ඉන්නව.  සමහරු  රට  දාල  යනව. ඒ අය  පීජි,  නවසීලන්තය,  ඕස්ට්‍රේලියාව  වගේ  රටවල්  වලට  යන්නෙ  මෙහෙ  ජීවත්වීම  එපාවෙල  හින්ද?   දේශපාලනය  තුළ  මිනිස්සු  තමන්ට  ගැලපෙන  මිනිහව  තෝර ගන්නව. මෙහිදී  කුපාඩියට  කුපාඩියව  මුණගැහෙනව. තමන්ට  ගැලපෙන  කෙනාව  තෝරගන්න  මිනිස්සු  දන්නව. දේශපාලනඥයා    මිනිසුන්   තුළ  පෙළඹවීම්  ඇති කරනව.  නූගත්  මිනිහා  මේ  පෙළඹවීම්   වලට  නතුවෙනව.  අනික  තමයි  එකම  මිනිහා  තුළ  යකා  සහ  දෙවියා  යන  දෙන්නම  එකට  ජීවත් වෙනව. මින්ස්සු  කරන්නෙ අවශ්‍ය නපුර  තෝර ගන්නඑකයි.(Nessary  eral)

මීගමුවෙ  පැවතුනු  තත්වය  ගැන  යමක්  කිව්වොත්.

මම  කුඩාකාලෙ  චරිත  සහතිකයක්  ගන්න  අබේසිංහ  කියල  මහත්තයෙක්  ලඟට  ගියා. මිනිහ  බෟද්ධයා. ඉතින් අපිටත්  තේ එහෙම  දුන්නා. එයා  තමයි  යූනියන් එකට  ගොඩනැගිල්ල  දුන්නෙ. ඒක  නිකං  දුන්නෙ.  ඔහු  පුළුවන් තරම්  දුන්නා. ඉස්සර  තමන්ගෙ  දේවල්  දීල  තමයි  දේශපාලනය  කළේ.  එහෙම  අය  ඒ  කාලෙ  හිටියා. තමන්ට  දෙයක්  ගන්නයි  අද  දේශපාලනය  කරන්නෙ. අපිත්  තිබෙන  දේවල් නැතිකරගෙන  තමයි  දේශපාලන  කටයුතු  කළේ. අන්තිමට  තිබුනු  කාර් එකත් විකුණුවා.  අද  අපි  ගමනක්  යන්නෙ  ත්‍රීවිල්  එකක්  ගෙන්න ගෙන.

මිගමුවෙ සංවර්ධනය   සඳහා  ඔබේ  දායකත්වය  ගැන  යමක්  කිව්වොත්.

මම නියෝජ්‍ය   නගරාධිපති  වශයෙන්  කටයුතු  කරපු  කාලෙ  විවිධ  යෝජනාවල්  ගෙනාව.  බස් නැවතුම්පල,  මීගමුව ,  කාමච්චෝඩය  පොල,  බන්දුල මාකට්එක  මේව  නවීකරණය  කරල  ආදායම්  උපද්දල  ගන්න. ආසියානු  සංවර්ධන  බැංකුවෙන්  ආධාර ලබාගන්නත් පුළුවන්කම  තිබුනා.  ඒකාලෙ  මම  යෝජනාකළා  දැන්  බන්ධනාගාරෙ  තියෙන තැන   සංස්කෘතික  මධ්‍යස්ථානයක්  කරල  බන්ධනාගාරය  දැන්  වැඩකඳවුර  තියෙන  තැනට  ගෙනියන්න.  එහෙම  කරල  ඒ  ස්ථානයේ  සිරකරුවන්  මගින්  කෘෂිකාර්මික  කටයුතු  වලට  යෙදවීමෙන්  ආදායමක්  ලබන්නත්  පුළුවන් කම  තිබුනා. 

මේ  කටයුතු වලට අමතරව  ක්‍රියාත්මකවූ  දේවල්  මොනවද?

ඉඩම්  හා  ජනපදකරණය  ගැන  ඩිප්ලෝමා  එකක්  කරන්න මට ශිෂ්‍යත්වයක්   ලැබිල   තායිවානයට  ගියා.  ඒක  කළේ  ඇමරිකන්  විශ්වවිද්‍යාලයකින්.  ඒවගේම  ජනපද  සංවර්ධන  අධ්‍යයනයක්  සඳහා  චීනයට  ගියා.  රෝමයේ  තානාපති කාර්්‍යාලයේ  අවුරුදු  තුනහමාරක්  කොන්සල්පදවිය  දැරුවා.  මේව  තමයි  අමතර  වැඩ. පසුකාලෙදි  පාසැල්  විනය  ගැන පොතක්  ලිව්වා. ඒ  පොතේ  ගොඩක්  ඇතුලත්  කළේ  බෟද්ධ  ඉගැන්වීම්.  පිටකවරෙ  තියෙන්නෙ  මිනිසා  තුළ  සිටින  යක්ෂයා  සහ  දෙවියා  අනුව  සමාජයේ  දෙපැත්තක්  ක්‍රියාත්මකවන  ආකාරය  ගැනයි. ඊට  පස්සෙ  තවත්  පොතක්  ලිව්ව  දේදුනු  සමාජය  කියල  පොතක්. ලංකාවෙ  ආගම්  4  පදනම්කරගෙන  තමයි  ඒ  පොත  ලිව්වෙ.

දේ    –    දේශපාලන

දු        – දුරාචාරයන්

නු       –  නුරුස්සන   සමාජයක් ,  නැත්නම්  යහපත්  සමාජයක්  ගොඩනැගීම  ගැන  තමයි  ඒකෙන්  බලාපොරොත්තු වූනේ.

ඒ  වගේම  මීගමුව  රජයේ  විශ්‍රාමිකයින්ගේ  සංගමයේ   සාමාජිකයෙකු  ලෙසත්,  අනුශාසක වර‍යෙකු  ලෙසත්  කටයුතු  කරනවා.

 

මෙසේ   සමාජයේ  විවිධ  පැති  නියෝජනය  කරමින්   යම්  සේවාවක්  ඉටුකළ  ජෝන්  සර්  අද  වයෝවෟධ  තත්වයේ  සිටියත්  තම  සමාජ  කටයුතු  තවමත්  අතහැර  නැත.  විවිධ  බලාපොරොත්තු  සහිතව  නිතර  විවිධ  සමාජ  අවස්ථාවන්ට  සහභාගී  වෙයි. ඉදිරියේදී  තවත්  පොතක්  ලිවීමේ  අදහසක්  ඇතිව  අධ්‍යනයේ  යෙදෙයි. මේ  අනුව  ජෝන්සර්   බුද්ධිමතෙක්,  මානවහිතවාදියෙක්   වශයෙන්   මීගමුවට  වටිනා  සම්පතක්වූ  බව  කිවයුතුය. 


සටහන – සැම්සන් ඥානසිරි
gnanasirisamson@gmail.com