මුස්ලිම් තරුණ කවියකු රඳවාගැනීම ගැන TID ලොක්කාට ප්‍රශ්න

0
107

කවිපොතක් ලිවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින තරුණ මුස්ලිම් කවියකුගේ අයිතිවාසිකම්  සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයෙන් කරුණු විමසා  තිබේ.  

 අප්‍රේල් 1 බ්‍රහස්පතින්දා ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්ෂ වෙත ලිපියක් යොමු කරමින් එම විමසීම කර  ඇත්තේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ ලේකම් වෙනුවට ටී.ඩී විමලසුරිය විසිනි.

   දස මාසයකට ඉහතදී අත් අඩංගුවට ගන්නා ලද අහ්නාෆ් ජසීම්  (Ahnaf Jazeem) තරුණ කවියා පිළිබදව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් 2020.12.09 දින ඉදිරිපත් කරන ලද පැමිණිල්ලක් කරුණු විමසීමට හේතුවී තිබේ.  
‘අන්තවාදී මත සහිත’ කවි ලිවූ බවට චෝදනා කරමින් අත් අඩංගුවට ගන්නා ලද මන්නාරම පදිචිය කොටගත් තරුණයාට එරෙහිව වෙනත් විමර්ශනයක් කරගෙන යාමද එම ලිපියෙන් ප්‍රශ්න කර ඇත.   

ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ රඳවාගෙන සිටින අහ්නාෆ් ජසීම් “මුණ ගැසීමට නීතිඥවරුන්ට අවස්ථාව ලබා නොදීම, අත්අඩංගුවට ගෙන රැදවුම් නියෝග මත රදවා සිටියදී මීයකු සපා කෑම, ඔහුව මුලින්ම අත්අඩංගුවට ගෙන ඇත්තේ නවරසම් පොතේ අන්තවාදී සිදුවීම් තිබීම නිසා බව කීවද මේ වන විට ඔහුට එරෙහිව වෙනත් විමර්ශනයක් කරගෙන යාම,” යන කාරණා ජනමාධ්‍යවේදීන්ගේ පැමිණිල්ල මගින් ප්‍රශ්න කර ඇති බව කොමිසම විසින් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ අවධානයට යොමු කර තිබේ.  

ඊට අදාලව 2021.03.29 දින ඉහත සංගමය විසින් සවිස්තරාත්මක ලිපියක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත යොමු කර තිබු  අතර එහි පිටපතක්ද ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත යොමු කර තිබේ.  

එබැවින් ඒ පිළිබදව පරීක්ෂා කර සිද්ධියට අදාළ වාර්තාවක් 2021.04.08 දින හෝ ඊට පෙර ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ‌ෆැක්ස් මගින් ඉදිරිපත් කරන ලෙස ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ වරයාගෙන් එම ලිපිය මගින් ඉල්ලා තිබේ.
theleader.lk