මුහුදු ඛාදනයෙන් මාරවිල කටුනේරිය ධීවරයන් දුෂ්කරතාවයක

0
650
Marawila
මාරවිල – කටුනේරිය,ගල්මල් පදුර ප්‍රදේශයේ මුහුදු ඛාදනය වැළැක්වීම සඳහා යෙදූ කළු ගල් වැටි මත අතුරා තිබූ වැලි නැවත් මුහුදට සේදී යාම නිසා තමන්ට රැකියාවන් කරගෙන යාමට නොහැකි තත්ත්වයක් උදාවී ඇතැයි එම ප්‍රදේශයේ ධීවරයින් පවසයි.
පසුගිය කාලයේදී කටුනේරිය වෙරළ තීරය පසුගිය කාලයේ සීඝ්‍ර ලෙස මුහුදු ඛාදනයට ගොදුරු  වූ අතර ඊට පිළියමක් වශයෙන් එම වෙරළ තීරය තුළ විශාල ප්‍රමාණයේ කළු ගල් වැටියක් යෙදීමට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කලේය. නමුත් එම කළු ගල් වැටිය හේතුවෙන් ධීවරයින්ට බෝට්ටු සහ තෙප්පම් මුහුදට දියත් කිරීමට සහ ආපසු ගොඩ බිමට ඒමට නොහැකි විය. ඒ ගැටළුවට විසදුමක් වශයෙන් ධීවරයින් කළු ගල් වැටිය මතට වැලි අතුරා වෙරළ සකස් කර ගැනීමට කටයුතු කල  නමුත් මෑතක සිට මුහුද රළු වීමත් සමඟ කළු ගල්  මත අතුරා තිබූ වැලි මුහුදට සේදී යාමට පටන් ගෙන තිබෙන අතර  වෙරළ මත අතුරා ඇති විශාල ප්‍රමාණයේ කළු ගල් මතු වන්නට පටන් ගෙන තිබේ.
මේ නිසා තම යාත්‍රා වෙරළේ සිට මුහුදට දියත් කිරීමටත්,මසුන්  මැරීමෙන් පසුව නැවතත් ගොඩට පැමිණීමටත් නොහැකි තත්ත්වයක් උදා වී ඇති බව ධීවරයන් පවසයි.මේ ප්‍රදේශයෙන් ධීවර පවුල් 50ක් පමණ ජීවත් වන අතර පවතින තත්ත්වය නිසා ඔවුන් දැඩි අසීරුතාවයකට පත්ව සිටින බවත් මුහුදු යාමට නොහැකි නිසා ඇතැම් ධීවර යාත්‍රා වෙනත් ස්ථාන වලට ගෙන යාමට තමන්ට සිදුවී ඇති බව ධීවරයින් පවසයි.
මෙම ගැටළුවට විසදුමක් වශයෙන් වෙරළ තීරයේ සිට මුහුදට “ටී” අකුරක හැඩයට ගල් වැටියක් යොදා දෙන ලෙස ගල්මල් පදුර ආරෝග්‍යාමාතා ධීවර සමිතිය විසින් වයඹ පළාත් ධීවර අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර ඇති අතරඑම ඉල්ලීම කර මාස කීපයක් ගත වී ඇතත් නිසි විසදුමක් මෙතෙක් ලැබී නොමැති බවද ඔවුන් චෝදනා කර සිටිති..