මෙවර නත්තලට මීගමුවේ පාරවල් සරසන්නේ වෙළඳ සංගම් වලින්ද ?? ..

0
110

 

( 4.00 pm ) සෑම වසරකම පාහේ  මෙවරද එළැඹෙන නත්තල සහ අලුත් අවුරුද්ද වෙනුවෙන් මීගමුව නගරයේ ප්‍රධාන මාර්ග විදුලි බුබුළු වලින් ආලෝකමත් කර අලංකාර කිරීම කල යුතු බව යම් පිරිසකගේ අදහසයි. පසුගිය වසර ගණනාවක් තිස්සේ නත්තල් සහ අලුත් අවුරුදු කාලයට මෙලෙස මීගමුවේ ප්‍රධාන මාර්ග විදුලි බුබුළු වලින් ආලෝකමත් කර සැරසීම සඳහා මිලියන ගණනක මුදලක් වැය කළේ මීගමුව මහ නගර සභාවේ මුදල් වලිනි. 

                එහෙත් මේ වන විට මීගමුව මහා නගර සභාව තුළ පවතින දැඩි මුදල් හිඟයත් පසුගිය වර්ෂා කාලයෙන් පසු මුළු රටේම ඇතිවූ ගංවතුර තර්ජනයත් හමුවේ සහ  පොදුවේ ගත් කල මුළු රටම මුහුණ පා සිටින දැවැන්ත ආර්ථික පීඩනය තුළ නත්තලට සහ අලුත් අවුරුද්දට එලෙස මාර්ග විදුලි බුබුළු වලින් ආලෝකමත් කර සරසන්නට නගර සභාව කටයුතු කරන්නේ ද යන්න පිළිබඳව බොහෝ දෙනකු විවිධ මත පලකර තිබුණි.

               ඒ අනුව මෙවර නත්තල සහ අලුත් අවුරුද්ද නිමිත්තෙන් මීගමුව ප්‍රධාන මාර්ග විදුලි බුබුළු වලින් ආලෝකමත් කර සැරසීම සඳහා මීගමුව නගරයේ සක්‍රීය ලෙස ක්‍රියාත්මක වන වෙළඳ සංගම් 03 ක් ඇති අතර ඒ වෙළඳ සංගම් තුළින් නගරය විදුලි බුබුළු වලින් සරසා ආලෝකමත් කර දෙන ලෙස  නාගරික කොමසාරිස්වරිය විසින් ඉල්ලීමක් කර ඇති බවද වාර්තා වුනි.
ඒ සඳහා එක් වෙළඳ සංගමයක් දැනටමත් කැමත්ත පල කර ඇති අතර අනික් වෙළඳ සංගම් දෙක තවමත් නාගරික කොමසාරිස් වරියගේ මේ ඉල්ලීම පිළිබඳව එකඟතාවයකට පැමිණ නොමැති බවද වැඩිදුරටත් වාර්තා වුණි.

            මේ පිළිබඳව අප වෙත අදහස් දැක්වූ මීගමුව නගරයේ වෙසෙන ජ්‍යෙෂ්ඨ පුරවැසියන් කිහිප දෙනෙකුම සඳහන් කළේ මීගමුව නගර සභාවත් පොදුවේ ගත් කල රට තුලත් දැඩි ආර්ථිකමය කඩා වැටීමක්  ඇති බවත් ජනතාවට සුභසාධන සහ සහන ක්‍රියාවන් සිදු කිරීමට ප්‍රමුඛත්වය දිය යුතු බවත්, නගර සැරසීම වැනි දෑ වෙළඳ සංගම් වෙත පැවරීම මෙවැනි කාලයක නගර සභාව විසින් කළ යුතු ඉතාම යහපත්  දූරදර්ශී ක්‍රියාවක් බවයි. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here