මෛත්‍රි පඹගාලක ..ගෙදර ඇතුලෙත් කචල් ….

0
62

ජනපතිවරයකුට තම රටේ ජනතාව ගේ සිත්වල එකවර දුකත්, සතුටත් ඇතිකරන්නට ලැබෙන අවස්ථා විරල ය. නමුත් පසුගියදා අප ජනපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා එවැනි අවස්ථාවකට හිමිකම් කීවේ ය.
විනාඩි 62 ක් පුරාවට ජනතාව අමතමින් ඔහු කළ කතාවේ හරය වූයේ ජනවාරි මස 8 වැනිදා වෙනස දිගටම පවත්වාගෙන යා හැකි කණ්ඩායමක් පාර්ලිමෙන්තුවට පත්කරන ලෙස ජනතාවගෙන් කළ ඉල්ලීම ය. මෙය ශී‍්‍රලංකා නිදහස් පක්ෂයට නොව එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ නව සන්ධානයට මනාපය ලබාදෙන්නයි නොකියා කීමක් වැනි විය.

‘ඔබ පත්කර දෙන පිරිස සමග මා ජනවාරි මස 8 වැනිදා අප කරන්නට පොරොන්දු වූ දේවල් එලෙසම ඉටුකරන්නට පොරොන්දු වෙනවා.එවිට මා කවුරුන්දැයි අවසන් තීරණයකට එන්නට ඔබට හැකියි’ .ජනපති සිරිසේන කී ය.

ජනපතිවරයා ගේ මෙම ප‍්‍රකාශය ඔහු නායකත්වය දරන ශී‍්‍රලංකා නිදහස් පක්ෂ සාමාජිකයින් කිසිසේත්ම අපේක්ෂා නොකළක් විය. පක්ෂය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මවු පක්ෂය වීම නිසාවෙන් ද ජනපතිවරයා ගේ ප‍්‍රකාශය සියලු අපේක්ෂකයන් හා ආධාරුකරුවන් මහත්සේ කළකිරවීමට සමත්වූවක් විය. මැතිවරණ වේදිකාවේ දී ජනපතිවරයා විවේචනය නොකිරීමට ඔවුන් මුල සිටම සිතාගෙන සිටියත් වත්මන් තත්ත්වය හමුවේ එසේ නොකර නොසිටිය හැකි බව ඇතැමුන් ගේ අදහස විය. නමුත් ඒවා අදහස්වලට ම පමණක් සීමා විය. එසේවුව ද පසුගිය දා අනුරාධපුරයේ පැවති සන්ධාන රැලියේ දී ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ නොවන සන්ධාන සාමාජිකයකු ජනපති සිරිසේන  සිංහ හමක් පොරවාගත් නරියකුට සමාන කරමින් ඔහු දැඩිව විවේචනය කළේ ය.

එක්සත් ජාතික පක්ෂ කඳවුරේ තත්ත්වය මීට හාත්පසින්ම වෙනස් ස්වරූපයක් ගත්තේය. විශේෂයෙන් යහපාලනය සඳහා වන එක්සත් ජාතික පෙරමුණේ සාමාජිකයෝ ජනපතිවරයා පිළිබඳ දරමින් සිටි අදහස් වෙනස් කරගනිමින් ඔහු පැසසීමේ යෙදී සිටින අයුරු දැකගත හැකි විය. බදාදා උදයේ පැවැත්වුණු කැබිනට් රැස්වීමට ජනපති සිරිසේන සහභාගී වූ අවස්ථාවේ පැමිණ සිටි අමාත්‍යවරුන් ඔහුව පිළිගත්තේ අත්පොලසන් දෙමිනි. මෙය බැරෑරුම් ස්වරූපයෙන් සිටි ජනපතිවරයාගේ මුහුණට සිනාවක් නැංවීමට ද සමත් විය.

අගහරුවාදා සවස්වරුව වෙන්වූයේ ජනපති සිරිසේන ජාතික අමතා සිදුකරන විශේෂ ප‍්‍රකාශය සම්බන්ධ කටයුතු සංවිධානය කිරීමට ය. ජනපති මාධ්‍ය අංශය දිවයිනේ මාධ්‍ය සියල්ලටම පාහේ ආරාධනය කර තිබිණ. ජනපතිවරයා කලින් සකස් කරගෙන සිටි ලියවිල්ලක කරුණු එකින් එක ගෙනහැර දැක්වූ අතර එම ලියවිල්ලේ පිටපත බැගින් පැමිණ සිටි මාධ්‍යවේදීන් අතට ද ලබා දුනි. ජනපතිවරයාගේ ප‍්‍රකාශයේ විශේෂ සඳහනක් වූයේ ජනවාරි මස 8 වැනිදා ඇති කළ වෙනස දිගටම පවත්වාගත හැකි කණ්ඩායමක් පත්කරගැනීමට මැදිහත්වන්නයි ඔහු ජනතාව ගෙන් කළ ඉල්ලීමයි. ඊට අමතරව හිටපු ජනපති රාජපක්ෂ මහතා මෙවර මැතිවරණයට ඉදිරිපත් කිරීම, පාර්ලිමේන්තුව විසිරුවා හැරීම, අගමැති වික‍්‍රමසිංහට එරෙහිව ඉදිරිපත් කිරීමට තිබූ විශ්වාසභංග යෝජනාව ඇදී කරුණු ති‍්‍රත්වය සම්බන්ධයෙන් ද ජනපති සිරිසේන විශේෂ අදහස් දැක්වීමක නිරත විය. අවසානයට සදහන් කළ අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගය ගැන අදහස් පළ කළ ජනපතිවරයා කියා සිටියේ රනිල් වික‍්‍රමසිංහ යනු පිරිසිදු දේශපාලන චරිතයක් ඇත්තකු හෙයින් එය අපිරිසිදු වීමට ඉඩ නොතබා වහාම මහ බැංකු අධිපතිවරයාව සේවයෙන් ඉවත් කරන්නැයි තමා ඔහුට නොයෙක් වර උපදෙස් දුන් බවයි. ජනපතිවරයාගේ මේ ප‍්‍රකාශයෙන් එක්සත් ජාතික පක්ෂය කුමක් කීවද මහබැංකුවේ ගැටලූවක් තිබෙන බව මනාව ගම්‍ය වේ.

mahinda-rajapakse

ගෙවුණු සමයේ ජනපති සිරිසේනට මහත් පීඩනයක් එල්ල වී තිබුණු බව කිසිවකුටත් රහසක් නොවේ. මේ පිළිබඳව ද ඔහු තම කතාවේ දී සදහන් කළේ ය. දේශපාලන විචාරකයන් වගේම ඇතැම් මාධ්‍ය ආයතනත් මාව අපරාධකරුවකු, ද්‍රෝහියෙකු හැටියට අද හඳුන්වනවා’ ඔහු කියා සිටියේ ය. තමන් එම විවේචන කිසිවක් ගණනකට නොගත්තද එයින් අදහස් වන්නේ මාධ්‍යවලට ලැබී තිබෙන නිදහස අවභාවිතා කිරීමට අවස්ථාවක් ලබාදී ඇති බව නොවේ යැයි ඔහු අවධාරණය කළේ ය. ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක් භුක්තිවිඳින මාධ්‍ය නිදහස යහපත වෙනුවෙන් භාවිත කරනු විනා පෞද්ගලික වාසි තකා භාවිතා නොකරන මෙන් ඔහු ඉල්ලා සිටියේ ය. රජයේ ඇතැම් මැති ඇමතිවරුන් දැන් මාධ්‍යයන්හි ‘වල්බූරු’ නිදහසක් ලැබී ඇතැයි අවස්ථා කිහිපයදීම ප‍්‍රකාශ කර ඇතත් ඔවුන් මෙන් නොව මාධ්‍යට එරෙහිව අදහස් දැක්වීමට හෝ තම විධායක බලය භාවිත කර මාධ්‍ය මර්දනය කිරීමට හෝ ජනපතිවරයා කටයුතු කර නොතිබීම අගය කළ යුත්තකි. මාධ්‍යයට චෝදනා කරන බොහෝ දෙනෙක් ඔවුන්ගේ යටගියාව සම්බන්ධ විවිධ විමර්ෂණ වලට අවශ්‍යව හෝ දැනට මුහුණදෙමින් සිටින පුද්ගලයෝ වෙති.ඔවුන් චෝදනා කරන ලෙසට කිසියම් මාධ්‍ය ආයතනයක් ඔවුන්ට අසාධාරණ ලෙස චෝදනා එල්ල කරයි නම් ඊට එරෙහිව නීතිය ඉදිරියට යෑමට හැකි ය. නැතිනම් බොහෝමයක් මාධ්‍ය වල සම්ප‍්‍රදාය වන චෝදනාවලට ලක්කෙරෙන පුද්ගලයකු වේ නම් නිදහසට කරුණු දැක්වීමට ඔහුටම ලබාදෙන අවස්ථා ද ප‍්‍රයෝජනයට ගැනීමට ඔවුන්ට හැකි ය. පසුගිය රජය සමයේ රාජ්‍ය මාධ්‍ය ඉතාම පහත් ලෙස භාවිතා කළ අයුරු, මාධ්‍යවේදීන්ට තර්ජනය කරමින්, ඇතැම් අවස්ථාවල ඔවුන් ඝාතනය කරමින් ඇතැමුන් හැසිරුණු අයුරු, සියලූ මාධ්‍ය ආයතනයන්ට එම ආයතනයන් ස්වයං වාරණයකට ලක්කරගැනීමට සිදුවූ අයුරු අද වැඩි දෙනකුට මතක නැත.

මේ තත්ත්වය හමුවේ පසුගිය රජය සමයේ බොහෝ දෙනා සාම්ප‍්‍රදායික මාධ්‍ය වෙනුවට තෝරාගත්තේ අන්තර්ජාලයයි. එනිසාම ඇතැම් වෙබ් අඩවිවලට වාරණයන් පැනවීමට හිටපු රජය කටයුතු කළ ද බලයට පත්වීමෙන් පසු ජනපති සිරිසේනගේ නියෝගය පරිදි ඒ වාරණයන් සියල්ලක් ම මේ වන විට තිබෙන්නේ ඉවත් කර ය.

තම ප‍්‍රකාශය අතරතුරුදී ජනපති සිරිසේන පවසා සිටි කාරණා දෙකක් විවාදාත්මක ස්වරූපයක් ගනී, ඉන් එකක් වන්නේ ඔහුගේ ප‍්‍රතිවාදියා වූ මහින්ද රාජපක්ෂට මෙවර මැතිවරණයට තරග කිරීමට අවස්ථාව ලබාදීමයි. මම පක්ෂයේ නායකයා තමයි.නමුත් මහින්ද රාජපක්ෂට නාමයෝජනා ලබාදුන් යෝජනාව ගෙනාවේ ඔවුන් ඔහු පැවසී ය. මමත් මේකට විරුද්ධයි. ඔහු වැඩිදුරටත් කී ය. රාජපක්ෂගේ මැතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් රාජපක්ෂ හා ජනපති සිරිසේන අතර සාකච්ඡා කිහිපයක්ම පැවති බව දැන් සියලු දෙනා දනිති. මැතිවරණ අපේක්ෂකයකු ලෙස රාජපක්ෂ යෝජනා කළේ ඔවුන් යැයි පවසන ජනපතිවරයා ඒ අනුව රාජපක්ෂට නාමයෝජනා ලබාදීම තමන්ගේ කැමැත්ත යටතේ සිදුවූවක් බව ද වක‍්‍ර ව පිළි ගනී. එනිසා මමත් මේකට විරුද්ධයි කීමේ ඵලක් නැත.

පාර්ලිමේන්තුව විසිරුවීම ගැන ද සදහන් කළ ජනපතිවරයා තමන් එසේ කළේ හදිසියේවත් විශ්වාසභංගය පරාජය වුවහොත් රනිල් වික‍්‍රමසිංහට අගමැති ධූරය අහිමිවන නිසා ඒ හමුවේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණ අගමැති ධූරය වෙනුවෙන් ඉදිරිපත් වීමට රාජපක්ෂට තිබුණු අවස්ථාවට බාධා පැමිණවීම යැයි කීවේ ය.

අගොස්තු 17 වැනිදා පැවැත්වීමට නියමිත මැතිවරණයෙන් කවරකුට ජය අත්වේදැයි පැවසීමට තවමත් කල් වැඩි ය. නමුත් කරුණු පැහැදිලි කරගනු වස් රාජපක්ෂ ප‍්‍රමුඛ එක්සත් ජනතා පක්ෂ සන්ධානයට ඉහළ ජයග‍්‍රහණයක් හිමිව ඔහු රටේ අගමැති ලෙස පත්කිරීමට සුදුසුකම් සැපිරූයේයැයි සිතමු.සිහියට ගතයුතු පළමු කරුණ වන්නේ ජනපති සිරිසේන මුල සිට ම අගමැති අපේක්ෂක ලෙස රාපක්ෂ නම් කිරීමට විරෝධය පෑ බව ය. අනෙක් කරුණ වන්නේ එසේ සුදුසුකම් සැපිරූව ද දැන් ජනපති සිරිසේන පවසා සිටින අන්දමට නම් ඔහු රාජපක්ෂව අගමැති පුටුවේ හිදුවීමට සූදානම් නැති වීම ය. අගමැතිවරයකු පත්කිරීම සම්පූර්ණයෙන් ම රටේ ජනපතිවරයා සතු වන රාජකාරියක් වන අතර ඔහු කුමන පක්ෂයේ නායකයා වන්නේය යන කරුණ එතැනට අදාළ නොවේ. 19 වැනි ව්‍යවස්ථාවේ සදහන් පරිදි කිසියම් පක්ෂයක නායකයා රටේ නායකයා ද වන්නේ නම් ඔහුට තම පක්ෂයේ සාමාජිකයකු අගමැති ලෙස නම් කිරීමේ අවසරය හිමි ය. පාර්ලිමෙන්තුව විසිරුවා හැරීම තවත් ප‍්‍රමාද කර රනිල් වික‍්‍රමසිංහට එරෙහිව ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ විශ්වාසභංගය පාර්ලිමෙන්තුවේ විවාදයට ලක්වීමට ඉඩ හැරියේ නම් බොහෝ විට ජනපති සිරිසේනට නව අගමැතිවරයෙකු තම පක්ෂයෙන්ම 19වැනි ව්‍යවස්ථාවෙන් හිමිව ඇති බලතල යටතේ පත් කර ගැනීමට අවස්ථාව ලැබෙන්නට ඉඩ තිබිණි. අගමැතිකම රාජපක්ෂට නොව පක්ෂයේම තවත් සාමාජිකයකුට ලබා දිය හැකිව තිබිණි. නමුත් ජනපති සිරිසේන එවන් කි‍්‍රයාමාර්ගයකට එළැඹුණේ නැත. ඔහු තමන් නායකත්වය දරන පක්ෂයට නොව වෙනත් පක්ෂයකට සහය දක්වන බව තේරුම් ගැනීමට මේ කරුණු ප‍්‍රමාණවත් ය.

susil

තම පක්ෂයේ ගැටලඅ ගැන ජනපති සිරිසේනගේ අවධානය යොමුව තිබෙන බව ගෙවුණු සතිවල මෙම තීරුවේ සදහන් විය. එම කටයුතු සම්බන්ධයෙන් ද ජාතිය අමතමින් කළ ප‍්‍රකාශය අතරතුර දී හෙතෙම සඳහන් කළේ ය.

1970 1977 හා 2010 වසරවල මැතිවරණ ජයකින් පසු සමහර දේශපාලන පක්ෂවලට අත් වූ ඉරණම අද දවසේත් දකින්නට ඉඩ නොතැබීමටයි මා කටයුතු කරමින් සිටින්නේ.රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත වන්නට නම් අනිවාර්යයෙන් ම ප‍්‍රබල පක්ෂ දෙකක් පැවතීම අවශ්‍යයි. ඔහු පැවසී ය.

ජනපතිවරයා සදහන් කළ වසරවල පැවැත්වුණු මැතිවරණවලදී සිදු වූයේ එක් පක්ෂයකට ඉතාම ඉහළ මනාප සංඛයාවක් ලැබීම නිසා ප‍්‍රතිවාදී පිල සම්පූර්ණයෙන් ම අඩපණ වීමයි. මෙනිසා ජයග‍්‍රාහකයන්ට ඔවුන්ට වුවමනා හැටියට කටයුතු කිරීමේ අවස්ථාව හිමි විය. අනාගතයේ මෙවන් තත්ත්වයක් ඇතිවීම වැළැක්වීම විධායකය සතු කාර්යභාරයක්දැයි එසේත් නැතිනම් තත්ත්වයට පිළියමක් දීමට පිළිගත හැකි යාන්ත‍්‍රණ කි‍්‍රයාත්මක කිරීම සදහා ව්‍යවස්ථාවේ ඇතිකෙරෙන සංශෝධන මත තීරණය වන්නක්දැයි එසේත් නැතිනම් මැතිවරණ නීති වෙනස් කිරීම මත රදාපවතින්නක්දැයි යන්න ගැටලුවකි. අනෙක් අතට පාර්ලිමෙන්තුවේ තුනෙන් දෙකක බලය සමඟ බැඳුණු විධායක ජනපති ධූරයක් රටේ අනාගයට කිසිසේත්ම සුබදායක නැත. එනිසා මෙවැනි තත්ත්වයක් ඇතිවීම වැළැක්වීමට නිසි වැඩපිළිවෙළක් වහාම කි‍්‍රයාත්මක කළ යුතුව ඇත.

ජනපති සිරිසේනගේ ප‍්‍රකාශය ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකයන් මොන තරම් දුරට කෝප ගන්වා ඇත්දැයි බදාදා උදැසන රාජපක්ෂගේ මිරිහාන ප‍්‍රදේශයේ පිහිටි නිවසේ පැවැත්වුණු විශේෂ රැස්වීමකදී දැකගත හැකි විය.

සිරිසේන අපිව කෑවා යැයි එක් අයෙක් පවසා සිටි අතර අනෙක් අය හිස් සොලවමින් එය අනුමත කළෝ ය. සන්ධාන මහලේකම් සුසිල් පේ‍්‍රමජයන්ත, නිදහස් පක්ෂ මහලේකම් අනුර පි‍්‍රයදර්ශන යාපා, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන, නව සමසමාජ පක්ෂයේ නායක වාසුදේව නානායක්කාර හා හිටපු අමාත්‍ය කුමාර් වෙල්ගම ආදීහු මෙම රැස්වීමට සහභාගීව සිටියහ.

බදාදා සවස් වරුවේ ශී‍්‍රලංකා මධ්‍යම කාරක සභාවේ හදිසි හමුවක් පැවැත්විය යුතුයැයි එහිදී තීරණය විය. එය පැවැත්විය යුත්තේ ඩාර්ලි පාරේ ශී‍්‍රලංකා නිදහස් පක්ෂ ප‍්‍රධාන කාර්යාලයේදීයැයි දිනේෂ් ගුණවර්ධන යෝජනාවක්ද ඉදිරිපත් කළේ ය.

වහාම යාපා තම දුරකථනයෙන් ජනපති සිරිසේන ඇමතී ය. උද්ගතව ඇති තත්ත්වය පැහැදිලි කළ ඔහු මධ්‍යම කාරක සභාවේ රැස්වීමක් පැවැත්වීමට සිදුව ඇති බව කී ය. පසුව රාජපක්ෂ ඇමතූ යාපා පස්වරු 8.00 ට රැස්වීම පැවැත්වීමට ජනපති සිරිසේන අවසර ලබාදුන්නේයැයි ඔහුව දැනුම්වත් කළේ ය. නමුත් සවස් යාමයේ යාපාට ජනපති සිරිසේන ගෙන් ලැබුණු දුරකථන ඇමතුමකින් දැනුම් දෙනු ලැබූයේ රැස්වීම අවලංගු කරන ලෙස ය. ජනපතිවරයා එස්.බී දිසානායක අමාත්‍යවරයාට ද මේ බව දන්වා තිබුණි. මේ සියල්ල සිදුවූයේ ජනපතිවරයා හා යාපා අතර විශේෂ ලිපි හුවමාරුවක් ද සිදුවන අතරේදී ය.

නිල් පැහැ පසුබිමක ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ නිල ලාංඡනය සටහන්ව තිබූ ජූලි මස 15 වැනිදා දාතමින් යුතු විශේෂ ලිපියක් අනුර පි‍්‍රයදර්ශන යාපා, මහ ලේකම්, ටී.බී.ජයා මාවත කොළඹ 10 යන ලිපිනයට ගෙනවිත් භාරදෙනු ලැබුණි. එහි සටහන් තබා තිබුණේ ජනපති සිරිසේන ය.

අද දින රාතී‍්‍ර පක්ෂ මූලස්ථානයේ දී මධ්‍යම කමිටු සාමාජික හමුවක් පැවැත්වෙන බවට දැනුම්දීමක් සිදුකර තිබෙන අතර කෙසේවුවත් එවන් හමුවක් පැවැත්වීමට මම මේ දක්වාම අවසරයක් ලබාදී නොමැති බව මෙයින් දැනුම් දී සිටිමි. පක්ෂ ව්‍යවස්ථාවේ 14 හතර වගන්තිය හා 15 වැනි කොටසේ 1ඒ කොටස අනුව පක්ෂ නායකයාගේ අනුමැතිය නොමැතිව මධ්‍යම කාරක සභා හමුවක් පැවැත්විය නොහැක. එනිසා මධ්‍යම කාරක සභා හමුවක් පැවැත්වීමේ කටයුතු වහාම නවතා දමන මෙන් මම ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි. හදිසියේවත් මාගේ අවසරයකින් තොරව එවන් රැස්වීමක් පැවැත්වුවහොත් එය අධිකරණය හමුවේ විභාගයට ලක් කළ හැකි කරුණක් වන බව ද දැනුම්දීමට මම කැමැත්තෙමි. අත්සන් කළේ මෛති‍්‍රීපාල සිරිසේන. යැයි එහි සදහන් විය.මෙම ලිපියේ පිටපතක් එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් සුසිල් පේ‍්‍රමජයන්තටද භාර දී තිබුණි.

යාපා මෙම ලිපියට එදිනම පිළිතුරු ලිපියක් සකස් කළේ ය.එය ද ජනපතිවරයාගේ ලිපිනයට වෙනම ගෙනගොස් භාරදීම සිදු විය.
ගරු ජනපතිතුමනි මම ඔබ සමඟ සිදුකළ දුරකථන සංවාදය ඔබගේ මතකයට නඟන්නට කැමැත්තෙමි.එම සංවාදය අතරතුරදී පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෝ ඉදිරි මැතිවරණය සම්බන්ධ විශේෂ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා මධ්‍යම කාරකසභා හමුවක් පැවැත්වීමට ඔබගෙන් අවසර ඉල්ලා සිටින ලෙස මට දැනුම්දී ඇති බව මම ඔබ හා පැවසූයෙමි.ඒ ඇසූ ඔබ රැස්වීම අද පස්වරු 8.00 ට පවත්වන්නැයි මට උපදෙස්ද ලබාදුනි. ඔබ එසේ අවසරය ලබාදීම නිසා මම රැස්වීම පැවැත්වීමට අවශ්‍ය වැඩකටයුතු සංවිධානය කිරීමේ කටයුතු වල යෙදුණෙමි. නමුත් ඔබ රැස්වීම අවලංගු කරන්නයැයි මට ලිපියකින්ම දැනුම්දී ඇති නිසා මම එසේ කිරීමට වහාම පියවර ගත්තෙමි. මේ ලිපිය ඔබ වෙත එවන්නේ ඔබගේ උපදෙස් පරිදි මා කටයුතු කළ බවට සහතිකයක් ලෙස ය. අත්සන් කළේ අනුර ප‍්‍රියදර්ශන යාපා.

යාපා වෙත ජනපතිවරයා යැවූ ලිපියේ සඳහන් වූ ලෙසම රැස්වීමක් පැවැත්වීම වළක්වමින් නීතිමය කි‍්‍රයාමාර්ගයකට එළැඹීමේ හැකියාවක් පක්ෂ නායකයා ලෙස ඔහුට තිබේ. පෙර සූදානමක් ලෙස ජනපතිවරයා ඔහුගේ නීති උපදේශක ෆයිසර් මුස්තාෆාට ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරකසභා හමුවක් පැවැත්වීමට වළක්වමින් අධිකරණයෙන් තහනම් නියෝගයක් ලබාගැනීමට අවශ්‍ය ලියකියවිලි පිළියෙළ කරන්නැයි උපදෙස්ද ලබා දී තිබුණි. ඒ අනුව කටයුතු කළ මුස්තාෆා කොළඹ දිස්ති‍්‍රක් විනිසුරු හර්ෂ සේතුංගගෙන් පක්ෂ නායක ජනපති මෛති‍්‍රපාල සිරිසේනගේ අනුදැනුමකින් තොරව ශී‍්‍රලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරකසභා හමුවක් පැවැත්වීම වැළැක්වීමේ තහනම් නියෝගයක් ලබාගත්තේ ය. එම නියෝගය ජූලි මස 29 වැනිදා දක්වා වලංගු ය.

තමන්ට ලැබෙන්නට ගත් පරස්පර විරෝධී වාර්තාවන් නිසා වහාම මධ්‍යම කාරකසභා රැස්වීමක් පැවැත්වීම වැළැක්වීමට ජනපති සිරිසේන පියවර ගත් බව සිතිය හැකි ය. එසේ ඉක්මන් තීරණයක් ගැනීමට ජනපතිවරයා පොළඹවන්නට ඇතැයි සැක කළ හැකි තොරතුරු මේ වන විට අනාවරණයව තිබෙන අතර එම තොරතුරුවලට අනුව පක්ෂයේ රාජපක්ෂ හිතැති කණ්ඩායම් ජනපති සිරිසේන පක්ෂ නායකත්වයෙන් ඉවත් කිරීමේ වෑයමක නිරතව සිටී.මේ සදහා පක්ෂ ව්‍යවස්ථාව වෙනස් කළ යුතුහෙයින් එවැනි වෑයමක් ඇතත් එය ඵල දැරීමට දීර්ඝ කාලයක් ගතවනු ඇත.රටේ නායකයා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයෙන් පත්වන්නේනම් ඔහු පක්ෂයේ නායකයාද වන්නේ ය ලෙස පක්ෂ ව්‍යවස්ථාව වෙනස් කෙරුණේ මහින්ද රාජපක්ෂ පාලන සමයේදී ය.

ජනපති සිරිසේන ජනතාව අමතමින් කළ ප‍්‍රකාශයේ හැටියට අපිට පක්ෂයේ නායකයා වෙනස් කිරීමේ කිසිම වුවමනාවක් නැහැ.නමුත් ඇත්ත, අපිට අවශ්‍යයි මහින්ද රාජපක්ෂ අගමැති අපේක්ෂකයා ලෙස හා අපේ මැතිවරණ ව්‍යාපාරයේ නියමුවා ලෙස නම්කරන්න. ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ සන්ඬේ ටයිම්ස් හා අදහස් දැක්වූයේ එලෙස ය. රාජපක්ෂ ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධාන නායකයෝ දිවයින පුරා පැවැත්වෙන මැතිවරණ රැලිවලට සහභාගීවනු ඇතැයිද හෙතෙම කී ය. ජනපති සිරිසේන කිසිදු මැතිවරණ කටයුත්තකට සහභාගීවන්නේ නැතැයි ප‍්‍රකාශ කර ඇති හෙයින් එම කටයුතු දැන් ඉබේටම පැවරී තිබෙන්නේ මහින්ද රාජපක්ෂට බවද ඔහු පැහැදිලි කළේ ය.

බ‍්‍රහස්පතින්දා රැයේ ජනපතිවරයා ඇමතූ විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා උද්ගතවී ඇති තත්ත්වය සම්බන්ධයෙන් කරුණු දැක්වී ය. ඔහු සිටියේ තැතිගැන්මට ලක්ව ය. නව රජයේ ඇමති තනතුරු ලබාගත් සන්ධාන සාමාජිකයන් වන සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ, ලසන්ත අලගියවන්න, එරික් අලූවිහාරේ තමන් හට ජනපති සිරිසේන යටතේ කටයුතු කළ නොහැකි බව පවසා ඉල්ලා අස්වීමේ ලිපි භාරදීමට කටයුතු කර තිබේ. ජනපතිවරයාගේ උපදේශකයකු ලෙස පත්කෙරුණු හිටපු අගමැති දි.මු.ජයරත්න මහතා ගෙවුණු සිකුරාදා දිනයේ අනුරාධපුරයේ පැවැත්වුණු එක්සත් ජනතා නිදහස් සන්ධාන රැලියේ වේදිකාවට ගොඩවී සිටිනු දැකගත හැකි විය.

අඟහරුවාදා ජාතිය ඇමතීමට පෙර සිටම ජනපතිවරයා සිටියේ දැඩි ප‍්‍රතිපත්තියක් අනුගමනය කරමිනි. ඉරිදා සවස් වරුවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් සුසිල් පේ‍්‍රමජයන්ත කැදවූ හෙතෙම ඔහු හා එක්ව එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තුව සීරුවෙන් පරීක්ෂා කළේ ය. හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ, හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා, හිටපු තානාපති දයාන් ජයතිලක යන තිදෙනා ගේ නම් ඉන් ඉවත් කිරීමට ඔහු උපදෙස් දුනි. ඒ වෙනුවට වෙනත් පුද්ගලයන්ගේ නම් යෝජනා කිරීමට ජනපති සිරිසේන කටයුතු කළේ ය. එම අවස්ථාවේදීත් එක්සත් වාමාංශික පෙරමුණේ නායක ලෙස තමන් හඳුන්වාදෙන ජයම්පති වික‍්‍රමරත්නගේ නම සන්ධාන ජාතික ලැසිස්තුවේ සඳහන්ව තිබුණි.

ගෙවුණු සතියේ සන්ඬේ ටයිම්ස් වෙළද පොළට නිකුත්වූ පසු ඊමේල් මාර්ගයෙන් සන්ඩේ ටයිම්ස් හා සම්බන්ධවූ ජයම්පති
අද ඔබ පුවත්පෙත් පළව තිබෙන වාර්තාවෙන් මගේ නමට විශාල කැළලක් එක්ව තිබෙනවා. ඔබ එහි සඳහන් කර තිබෙනවා මගේ නම එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තුවේ තිබෙනවාය කියා. යැයි සඳහන් කළේ ය.

ඉරිදා උදයේ ඔහු අරලියග මැදුරේ පැවති එක්සත් ජාතික යහපාලන පෙරමුණ පිහිටුවීමේ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ උත්සවයට සහභාගී විය. ඔහුට එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්තී‍්‍රධූරයක් හිමි විය.පසුදින,එනම් සඳුදා දින ඔහු එතෙක් දරමින් සිටි ජනපති උපදේශක තනතුරින් ඉවත් විය. මොන පැත්තෙන් බැලූව ද ඔහු දිනුම් ය.

ජයම්පති වික‍්‍රමරත්න 19වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ කැබිනට් මණ්ඩල සාකච්ඡා පැවැත්වෙමින් තිබියදී එයට ඇතුළත් විය යුතු විවිධ සංශෝධන සම්බන්ධයෙන් ද යෝජනා ඉදිරිපත් කරමින් සිටි අයෙකි. වරක් කැබිනට් මණ්ඩල අමාත්‍යවරයකු ජයම්පති හැදින්වූයේ ශී‍්‍රලංකාවේ සෝල්බරි සාමිවරයා ලෙස ය. ජයම්පති ඉදිරිපත් කළ ව්‍යවස්ථා සංශෝධන යෝජනා අද කාලය හා සැලකීමේදී යල්පැන ගොස් ඇති බව එම අමාත්‍යවරයා ම පැවසී ය. නව රජයේ යහපාලන ප‍්‍රතිපත්තීන් කි‍්‍රයාත්මක කිරීමට තමන් ඇපකැප වන බව නිතරම පවසන ජයම්පති වික‍්‍රමරත්න විදේශයක සිට කි‍්‍රයාත්මක වන එක්සත් ජාතික පාක්ෂික වෙබ් අඩවියකට සන්ඩේ ටයිම්ස් දේශපාලන තීරුවේ පළව තිබූ කරුණු සම්බන්ධයෙන් දක්වා තිබූ අදහස් එම වෙබ් අඩවියේ පළව තිබූණේ මෙලෙස ය.

සන්ටේ ටයිම්ස් දේශපාලන තීරුවේ සටහන්ව තිබූ පරිදි තමා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තුවට ඇතුළත් ව නොමැති බව ජනපති සිරිසේනගේ උපදේශකවරයකු වන එක්සත් වාමාංශික පෙරමුණේ ප‍්‍රධානී ජයම්පති වික‍්‍රමරත්න මහතා පවසයි. එක්සත් ජාතික යහපාලන පෙරමුණෙන් තමන්ට ජාතික ලැයිස්තු මන්තී‍්‍රධූරයක් වෙන්ව තිබෙන බව ද තම පක්ෂයේ සාමාජිකයකු වන රාජා උස්වැටකෙයියාවට ද එසේ ජාතික මන්තී‍්‍රධූරයක් හිමිව තිබෙන බව ද ඔහු කියයි. තමන් ජනපතිවරයා ගේ උපදේශක ධූරයෙන් ඉල්ලා අස්වන බවත් එම අස්වීමේ ලිපිය ජනපති ලේකම්වරයාට ජූලි මස 13 වැනිදා භාරදෙන බවත් ඔහු පවසයි.

සන්ඩේ ටයිම්ස් දේශපාලන විශ්ලේෂක තමන් ගැන අසත්‍ය තොරතුරු ප‍්‍රචාරය කර ඇති බවට චෝදනා කරන ඔහු සිංහල හා ඉංගී‍්‍රසි පුවත්පත් රැසක් තමන් රාජපක්ෂවරුන්ට විරුද්ධ පක්ෂයකින් පාර්ලිමේන්තුවට පැමිණෙන බව සදහන් කර තිබිය දී නිසි විමසීමක් සිදුනොකර සන්ඩේ ටයිම්ස් දේශපාලන විශ්ලේෂක මෙසේ අසත්‍ය තොරතුරු පළ කර ඇතැයි කියා සිටී. මේ බැව් අසමින් නිමක් නොමැතිව ලැබෙන දුරකථන ඇමතුම් නිසා තමන් ඉතාම ලැජ්ජාවට පත්ව සිටින බව ද ඔහු පවසයි.
සන්ඩේ ටයිම්ස් හා සම්බන්ධව තමන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තුවේ සිටින බවට පවසා සිටියේ වික‍්‍රමරත්නම ය. මෙය එදින අපගේ අන්තර්ජාල පුවත් අඩවිය ඔස්සේ ප‍්‍රසිද්ධ කෙරුණි. ඒ සමඟ ම ඔහු තවත් වෙබ් අඩවියකට මේ හා සමානවම අදහස් දක්වා තිබිණි. වික‍්‍රමරත්න ගේ නම එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තුවේ තිබෙන්නට ඉඩහරින්නැයි උපදෙස් දී තිබෙන්නේ ජනපතිවරයා බව දැන් පැහැදිලි ය. ඉරිදා අරලිය ගහ මන්දිරයේ දී යුරෝපයේ සේවය කළ ශී‍්‍රලංකා රාජ්‍ය තාන්ති‍්‍රකයකු සන්ඩේ ටයිම්ස් ලිපියේ තොරතුරු සම්බන්ධයෙන් විමසූ විට වික‍්‍රමරත්න, එසේ තමන්ගේ නම සඳහන් වූයේ මුලින්ම සකස් කෙරුණු සන්ධාන නාමයෝජනා ලැයිස්තුවේ යැයි පිළිතුරු දී ඇත.

වික‍්‍රමරත්නගේ නම සන්ධාන ලැයිස්තුවෙන් ඉවත් කෙරුණේ ඉරිදා සවස්වරුවේදී ය. අනෙක් අතට පසුගිය සතියේ දේශපාලන තීරුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන නාමයෝජනා ලැයිස්තුව තවදුරටත් වෙනස් කම් වලට ලක්වීමට ඉඩ ඇතැයි ද සදහන් වීම නිසා පදනම් විරහිත චෝදනා එල්ල කිරීමේ අවශ්‍යතාවක් නැත.

පසුගිය ඉරිදා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාමයෝජනාවල අවසන් සංශෝධන සිදුවූයේ උද්වේගකාරී වාතාවරණයක් මධ්‍යයේ ය. කටයුතු සිදුවෙමින් පැවතියේ මහවැලි කේන්ද්‍රයේ ය. නාමයෝජනා ලැබූ අපේක්ෂකයෝ එකිනෙකා පැමිණෙමින් නාමයෝජනා අත්සන් තබමින් සිටියහ. දිවා ආහාර වේලාව එළැඹීම නිසා සන්ධාන මහලේකම් සුසිල් පේ‍්‍රමජයන්ත මඳ වේලාවකට පිටතට ගිය අතර ඔහුට නැවත ඇතුළට පැමිණෙන්නට නොහැකි විය. හිටපු එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමෙන්තු මන්තී‍්‍ර දුමින්ද සිල්වාට නාමයෝජනා ලබාදෙන්නැයි පවසමින් විශාල ජනකායක් මහවැලි කේන්ද්‍රයේ දොරටුව අවහිර කරගෙන උද්ඝෝෂණය කරමින් සිටියහ. ඒ අනුව පේ‍්‍රමජයන්ත විපක්ෂ නායක නිල නිවසට ගියේ ය. කෙසේ හෝ එය කන වැකුණු උද්ඝෝෂකයෝ එම ස්ථානය වටලෑමට පැමිණිය හ. නමුත් ඔවුන් එන බව කලින්ම දැනගෙන සිටි ප්‍රෙම්ජයන්ත ඒ වන විට එතැනින් ඉවත්ව ගොස් තිබුණි. ඔහු ගොස් සිටියේ පැජට් පාරේ පිහිටි ජනපති සිරිසේන ගේ නිල නිවසට ය. දෙදෙනම එකතු වී සන්ධාන නාමයෝජනා ලැයිස්තුවේ අවසන් සංශෝධනයන් සිදුකිරීමේ යෙදුණි. පස්වරු 10.30 පමණ වන විට ප්‍රෙමජයන්ත හා පිරිවර ජනපතිවරයාට සමුදී විශේෂ ව්‍යාපෘති අමාත්‍ය ෆීලික්ස් පෙරේරා මහතාගේ කොළඹ කැප්පෙටිපොල මාවතේ පිහිටි නිවසට පැමිණියහ.

එතැන් සිට පැවැත්වුණු සාකච්ඡාවලදී කරුණු 3 ක් සම්බන්ධයෙන් අවධානය යොමු විය.පළමුවැන්න වූයේ හිටපු පාර්ලිමෙන්තු මන්තී‍්‍රනි සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ තමන් තරගකරන කටාන ආසනයට ජාතික නිදහස් පෙරමුණේ අපේක්ෂකයකු ද ඉදිරිපත් කිරීමට පළ කර තිබූ විරෝධයයි. ජාතික නිදහස් පක්ෂයේ සාමාජිකයකුට නොව සමසමාජ පක්ෂයේ සාමාජිකයකුට එම අවස්ථාව ලබාදීමට තමන්ගේ විරෝධයක් නැතැයි ඇය පවසා තිබුණි. දෙවැන්න වූයේ මෙවර මැතිවරණයට ගම්පහ දිස්ති‍්‍රක්කයෙන් තරගවදින බස්නාහිර පළාත් සභා අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග තමන්ට හැර ගම්පහින් තවත් අයකුට තරගවැදීමට අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් දක්වා තිබූ නොමනාපයයි. ඔහුට එය වෙනස් කිරීමට අවැසිව තිබුණි. ඔහු සමඟ ගම්පහින් එකට තරගයට එළැඹීමේ අවස්ථාව හිමිව ඇත්තේ ලසන්ත අලගියවන්නට ය. තෙවැන්න කොළඹ දිස්ති‍්‍රක්කයේ ආසන බෙදීම සම්බන්ධයෙන් විය.ආසන දෙකක් මහජන එක්සත් පෙරමුණට හිමි ව තිබෙන අතර ඉන් එකක් පක්ෂ නායක දිනේෂ් ගුණවර්ධනටත් අනෙක මොරටුව නගරාධිපති සමන්ලාල්ටත් වෙන්ව තිබේ. නමුත් හිටපු අමාත්‍ය ජීවන් කුමාරතුංග සමන්ලාල්ට නාමයෝජනා ලබාදීමට විරුද්ධ වීම නිසා එය ද වෙනස් කිරීමට සිදු ව තිබුණි.

අතිශය කෝපයට පත්ව සිටි ප‍්‍රසන්න රණතුංග තම සගයින් සමඟ පිටත්ව යෑමට සූදානම් වෙමින් සිටියේ ය. ෆිලික්ස් පෙරේරා ඔහු  සන්සුන් කිරීමට උත්සාහ කළද ඉන් ඵලක් නොවුණි. දෙදෙනා ගේ වචන හුවමාරුව අතපය දිගුකිරීමක් දක්වා දුර යන ලකුණු පෙනෙන්නට විය. කලබලවූ දිනේෂ් ගුණවර්ධන වහාම රාජපක්ෂට දුරකථන ඇමතුමක් ගත්තේ ය. ඔහු ඒ වන විට පිළියන්දල ප‍්‍රදේශයේ ජනහමුවකට සහභාගීව සිටිනවායැයි එහා කොනෙන් පැවසුණි.ඒ අනුව ගුණවර්ධන එම හමුවට සහභාගීව සිටි ගාමිණී ලොකුගේ අමතා වහාම දුරකථනය රාජපක්ෂ අතට දෙන ලෙස ඉල්ලා සිටියේ ය. ජනතාව අමතමින් සිටි රාජපක්ෂ අසලට ළංවූ ලොකුගේ ඔහුගේ කනට යමක් මිමිණී ය. ඒ සමඟ හදිසි දුරකථන ඇමතුමක් ලබාගැනීමට තිබෙනවායැයි ජනතාව ගෙන් අවසර ඉල්ලා සිටි රාජපක්ෂ, ගුණවර්ධන හා සම්බන්ධ වී කරුණු විමසා සිටියේ ය. ගුණවර්ධන තත්ත්වය පැහැදිලි කළ පසු රැස්වීම ඉක්මනින් අවසන් කර දැමූ හිටපු ජනපතිවරයා වහාම ෆීලික්ස් පෙරේරා ගේ නිල නිවසට පැමිණීයේ ය. ඒ වන විටත් ගැටුම සිදුවෙමින් පැවතුණි. ඔහු පේ‍්‍රමජයන්ත හා කතා කළේ ය. ගහ මරා ගැනීමට ඔන්න මෙන්න සිටි දෙදෙනා කෙසේ හෝ දෙපසට කිරීමට පේ‍්‍රමජයන්තට හැකිව තිබුණි. හදිසියේ ම පපුව අල්ලාගත් පේ‍්‍රමජයන්ත වේදනාවෙන් කෑගැසී ය. හිටපු අමාත්‍ය ඩිලාන් පෙරේරා හා හිටපු මාධ්‍ය අමාත්‍යංශ ලේකම් චරිත හේරත් වහාම සන්ධාන මහලේකම්වරයා මෝටර් රථයක නංවාගෙන නවලෝක රෝහලට ගෙනගියේ ය. ඔහුට ඉක්මනින්ම ප‍්‍රථමාධාර ලබාදීමට වෛද්‍යවරු කටයුතු කළ අතර පසුව නේවාසික ප‍්‍රතිකාර ලබාදීම සදහා යොමු කෙරුණි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාමයෝජනා ලැයිස්තුව ෆීලික්ස් පෙරේරාගේ නිවහනේ අනාරක්ෂිතව තිබෙන බව දෙදෙනාට සිහිවූයේ මේ කලබලය අවසානයේ ය. වහාම එහි ගිය පෙරේරා හා හේරත් අපේක්ෂකයන් අත්සන් තබා තිබුණු නාමයෝජනා ලැයිස්තු නවලෝක රෝහලට ගෙන ආහ. හදිසියේවත් පිටස්තර කිසිවකු හෝ මෙම ලැයිස්තු දුටුවේනම්, එම තොරතුරු ප‍්‍රසිද්ධ කළේ නම් එය කොළඹ හා ගම්පහ දිස්ති‍්‍රක්ක වලින් සන්ධානයට ඒකාන්ත පරාජයක් අත්කරදෙන්නක් වන්නට ඉඩ තිබුණි.රෝහලේ දෙවන මහලේ 6 වැනි කාමරයේ ප්‍රෙම්ජයන්ත නේවාසිකව ප‍්‍රතිකාර ලබමින් සිටි අතර ඩිලාන් හා චරිත නැවත වරක් ඔහු හමුවට පැමිණෙන විට ඔහුගේ ඇද වටා නීතිඥවරුන් කිහිපදෙනකු ද විය.එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාමයෝජනා සකස් කිරීමේ අවසන් කටයුතු කි‍්‍රයාවට නැංවුනේ මෙම කණ්ඩායම හමුවේය.මහලේකම්වරයා ඇඳෙහි වැතිර අවශ්‍ය උපදෙස් ලබා දුන්නේය. අවසන ගම්පහින් එක් මන්තී‍්‍රධූරයක් අඩු කරනු ලැබුණු අතර එය වෙනුවට කැලණිය ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍ර ප‍්‍රසන්න රණවීරට නාමයෝජනා හිමි විය. ප්‍රෙම්ජයන්ත අසනීප තත්ත්වයෙන් සිටි නිසා නාමයෝජනා සකස් කිරීමේ කටයුතු අවසානයක් කිරීම පැවරුනේ ඩිලාන් පෙරේරාට ය. මේ වන විට වේලාව අලූයම 3.00 පමණ වී තිබිණ.

පෙරේරා විපක්ෂ නායක නිල නිවසට ගොස් නාමයෝජනා ලැයිස්තුව සකස් කිරීමේ කටයුතු වල නිරත විය.පේ‍්‍රමජයන්ත ඔහුට නම් ලබාදී තිබුණ මුත් එම නම්වලට අදාළ ජාතික හැඳුනුම්පත් අංක ලබාදී තිබුණේ නැත. ඒ අනුව අදාළ පුද්ගලයින් අමතා ඔවුන්ගේ හැඳුනුම්පත් අංක ද ලබාගෙන ලැයිස්තුව අවසානය කරන විට වේලාව පෙරවරු 11.40 වී තිබිණ.නාමයෝජනා භාරගැනීම අවසාන වන්නට තිබුණේ තවත් විනාඩි 20 ක පමණ කාලයකි. වාහන තදබදය නිසා මෝටර් රථයකින් යා නොහැකි තැන ඩිලාන් ඔහුගේ සහයෙකුගේ යතුරුපැදියේ නැගී නියමිත වේලාවට කෝට්ටේ මැතිවරණ ලේකම් කාර්යාලයට ළගාවීමට අවසානයේ සමත්වුණි.

අරලිය ගහ මැදුරේ ද තත්ත්වය මීට නොදෙවනි විය. කලූතර දිස්ති‍්‍රක්කයේ කණ්ඩායම් නායක ලෙස පත්කළ යුත්තේ කවුදැයි ගැටලූවක් මතුව තිබුණි. ඒ සඳහා අමාත්‍ය රාජිත සේනාරත්නගේ නම යෝජනා කෙරුණද පිරිසක ගේ විරෝධය හමුවේ එක ඉවත් කිරීමටද, ඊට විරෝධය පෑ තවත් පිරිසක් හමුවේ අමාත්‍යවරයාගේ නම නැවත එක් කිරීමටද සිදු විය. අනෙක් දිස්ති‍්‍රක්ක වලද තත්ත්වය මේ හා සමාන විය.

කෙසේ නමුත් ජනපති සිරිසේන ජාතිය අමතා කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් කුමන ගැටලූ තිබුණ ද එක්සත් ජාතික පක්ෂ සාමාජිකයෝ සියලූදෙනා උද්දාමයෙන් සිටිනු දැකගත හැකි විය.
රාජපක්ෂට නාමයෝජනා ලබාදීමට ජනපති සිරිසේන කටයුතු කිරීම නිසා ඔහුගේ ආධාරකරුවන් ඔහු ගැන තබා තිබූ බලාපොරොත්තු බිඳ වැටුනේ එක රැයින්.එක්සත් ජාතික පක්ෂයේ ආධාරකරුවන්ටත් වුනේ ඒක.නමුත් අඟහරුවාදා ජනතාව අමතමින් ජනපති සිරිසේන කීවා රාජපක්ෂට නාමයෝජනා ලබාදීම ගැන ඔහුගෙත් මනාපයක් නැතිය කියා.මේක ඇසීමත් එක්ක එක්සත් ජාතික පාක්ෂිකයින්ට ආයෙමත් ශක්තිය ලැබිලා.ඒ එක්කම ජනපති කීවා ඔහුගේ පාලනය යටතේ රාජපක්ෂට ඉස්සර වගේ කටයුතු කරන්න අවස්ථාව දෙන්නේ නැතිය කියලත්,ඒ එක්කම ඔහුව අගමැති ලෙස පත්කරන්නේ නැතිය කියලත්.මේක අපට ඉතාම සතුටුදායක ආරංචියක්.අගෝස්තු 17 වැනිදා එක්සත් ජාතික පක්ෂයේ ජයග‍්‍රහණය දැන් ස්ථීරයි.
හිටපු එක්සත් ජාතික පක්ෂ ගම්පහ දිස්ති‍්‍රක් පාර්ලිමෙන්තු මන්තී‍්‍ර ජෝෂප් මයිකල් පෙරේරා සන්ඬේ ටයිම්ස් හා අදහස් දැක්වූයේ එසේ ය.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ එයාගේ නිල කාලය ගෙවෙන්නත් ඉස්සෙල්ලා ජනාධිපතිවරණයක් කැදවලා පරාජය වුනා.මේ සැරේ එයා පාර්ලිමෙන්තු මැතිවරණයට ඉදිරිපත් වෙලා එදා පරාජය වුනාටත් වඩා අන්ත පරාජයක් ලබාගන්නයි මේ හදන්නේ.ජනතාව අමතමින් කළ කතාවේදී ජනපතිවරයා කීවා ජනවාරි මස 8 වැනිදා ඇතිකළ වෙනස දිගටම කරගෙන යන්න පුලූවන් පිරිසක් පාර්ලිමෙන්තුවට පත්කළ යුතුව තිබෙනවාය කියා.මහින්ද රාජපක්ෂට රජයකට එකතුවීමේ හැකියාවක් නැහැ.ඔහු නැවත වරක් පරාජය වෙනවා.ජනපතිවරයා කී ලෙසට ඔහුට අගමැතිධූරය කොහෙත්ම හිමිවන්නේ නැහැ.ඊළග රජය අනිවාර්යයෙන්ම එක්සත් ජාතික පක්ෂ රජයක් තමයි.
ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා අදහස් දැක්වී ය.

විපක්ෂයට වුවමනානම් මහබැංකු බැදුම්කර සිද්දිය මුල්කරගෙන අපට මඩගහන්න ඔවුන් ඒක කරපුවාවේ.මෙච්චර ඉක්මනට වාර්තාවක් ගේන්න කටයුතු කළේ කවුද,ඒ අයගේ අරමුණ වුනේ මොකක්ද කියන එක අපි ජනතාවට හෙළි කරනවා.වුනේ මොනවද කියලා දන්නේ නැතිව මේ අය බැදුම්කර සිද්ධිය ගැන කෑගහන්නේ ඒ සද්දෙට එයාලා බලයේ ඉන්නකොට කරපු ඔක්කොම වංචා දුූෂණ වහගන්න පුලූවන් කියලා හිතාගෙන.අප ඒක කරන්න ඉඩ දෙන්නේ නැහැ.මේ වාර්තාව ඉදිරිපත් කරලා තියෙන්නේ උප කමිටුවේ අනුමැතියක් නැතිව.මේ සියලූ කරුණු ඉදිරියේදී අප ජනතාවට හෙළි කරනවා.
සන්ඬේ ටයිම්ස් හා සම්බන්ධ වූ ප‍්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා කී ය.

මහ බැංකු බැදුම්කර පිළිඹද කෝප් උපකමිටුව පිළියෙල කළ කෙටුම්පත ප‍්‍රසිද්ධියට පත්කිරීම හා බෙදාහැරීම වළක්වමින් තහනම් නියෝගයක් නිකුත් කිරීමට කොළඹ දිස්ති‍්‍රක් විනිසුරු සුමිත් පෙරේරා පසුගිය බ‍්‍රහස්පතින්දා කටයුතු කළේය.මෙම නියෝගය ලබාගැනීමට අධිකරණයට කරුණු දැක්වූයේ සූජීව සේනසිංහය.ඔහුද මෙම වාර්තාව සකස් කළ කෝප් උප කමිටුවේ සාමාජිකයෙකි.

සේනසිංහගේ මෙම ක‍්‍රියාකලාපය ගෙවුනු දිනවලදී පැවැත්වුනු විපක්ෂ මැතිවරණ රැස්වීම්වලදී නැවතත් ඉස්මතු කෙරුණි.මෙසේ තහනම් නියෝගයක් ලබාගෙන තිබෙන්නේ අදාළ වාර්තාවේ එක්සත් ජාතික පක්ෂයට අවාසි සහගත වන කරුණු තිබෙන නිසාවෙන් බවට විපක්ෂ දේශපාලඥයෝ ජනතාවට තර්ක ගෙනහැර දක්වමින් සිටිති.
එක්සත් ජාතික පක්ෂය,ශී‍්‍රලංකා නිදහස් පක්ෂය යැයි කියා නමින් වෙනස් වුවද පක්ෂ දෙකෙහි කි‍්‍රයාකලාපයේ වෙනසක් නැති බව කියන ජනතා විමුක්ති පෙරමුණ නිහඩ නමුත් කි‍්‍රයාකාරී මැතිවරණ ව්‍යාපාරයක නියැළී සිටිති.ප‍්‍රධාන පක්ෂ මෙන් බලය අත්පත් කරගැනීමේ වුවමනාවෙන් නාමයෝජනා ලැයිස්තු පිරවීමේ වුවමනාවක් ඔවුන්ට නොමැති අතර ඔවුන් ඉල්ලා සිටින්නේ මෙවර පාර්ලිමෙන්තුවේ වඩාත් ප‍්‍රබල හඩක් නගන්නට අවැසි තරම් නියෝජනයකි.මේ සියලූ පක්ෂ කෙසේ මනාප ලබාගනීදැයි තව සති කිහිපයකින් බලාගැනීමට හැකි වුනු ඇත.මැතිවරණ උණුසුම නිසා ශී‍්‍රලංකා වාසීන් මෙන්ම ලෝකයා ද සිටින්නේ උද්වේගයෙනි.

සන්ඩේ ටයිම්ස් විශේෂ දේශපාලන විශ්ලේෂක,
පරිවර්තනය – කෝවිද ගුණසේකර
©http://www.lankadeepa.lk/

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here