මෛත්‍රීටත් වෙබ් එපා වෙලා ? : ජනපතිට අගමැතිට අවසන් නිවේදනය

0
33
මෛත්‍රීටත් වෙබ් එපා වෙලා ? : ජනපතිට අගමැතිට අවසන් නිවේදනය

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා පුවත්පත් කතුවරුන් හා මාධ්‍ය ප්‍රධානීන් ඊයේ (27) ජනාධිපති මන්දිරයේදී හමුවුද ඒ හමුවට වෙබ් මාධ්‍ය ප්‍රධානීන්ට අරාධනා ලැබී නොමැත.

පැවැති රාජපක්ෂ ආණ්ඩුව පෙරළා දැමීමට ප්‍රධාන මෙහෙවරක් සිදු කළ වෙබ් අඩවි ප්‍රධානින්ට පසුගිය වසරේ සැප්තැම්බර් 18 වැනිදා ජනපති මෛත්‍රිපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මාධ්‍ය ප්‍රධානීන්ගේ හමුවට ආරාධනා ලැබී නොතිබිණි.

රාජපක්ෂ සමයේදී ප්‍රධාන ධාරාවේ මාධ්‍යවලින් විපක්ෂයට ලැබුණේ ඉතා අඩු සැලැකිල්ලක් වන අතර, වෙබ් අඩවි හා සමාජ ජාලා විපක්ෂය වෙනුවෙන් එසමයෙහි දැඩි කැපවීමකින් පෙනීසිටියේය.

සමීක්ෂණ අනුව හෙළිවූයේ මෛත්‍රීපාල මහතා ජනපති වූ ජනපතිවරණයේදී ඡන්දය දෙන පාර්ශවය තීරණය කිරීමට 31% ක් අන්තර් ජාලය හේතුවූ බවයි.

එම සමීක්ෂණයට අනුව රූපවාහිනිය නිසා වෙනස් වූ ප්‍රමාණය 59%ක් බවත්, පත්තර හේතුවෙන් තම මතය වෙනස් වූ බව පැවසූ සංඛ්‍යාව 1% කි. ගුවන්විදුලිය හේතුවෙන් මතය වෙනස් වූ පිරිස 0.05% ක් තරම් ඉතා අඩු අගයක වූ බවයි.

හිටපු ජනපතිවරයා තම පරාජයට හේතුව වෙබ් හා සමාජ වෙබ් අඩවි බව ප්‍රසිද්ධියේ පිළිගත්තේය.

ජනපතිට අගමැතිට අවසන් නිවේදනය

මේ සම්බන්ධයෙන් වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති ෆ්‍රෙඩී ගමගේ මහතාගෙන්  ශ්‍රී ලංකා මිරර් කළ විමසීමකදී ඔහු කියා සිටියේ පසුගිය රජය සිදු කළ ආකාරයටම වෙබ් වලට තුන්වැනි පන්තියේ (third class) සැලැකිල්ලක් නොදක්වන ලෙස මීට පෙර අගමැතිවරයා සමඟ සිදු කළ සාකච්ඡාවකදී ඉල්ලා සිටි බවයි.

ඔහු එහිදී පොරොන්දු වූයේ වෙබ් මාධ්‍යවේදීන්ට සෙසු මාධ්‍යවේදීන්ට ලැබෙන සියලු වරප්‍රසාද ලබාදෙන බව යැයිද ඔහු කියා සිටියේය.

මේ අතර, මෑතකදීම නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා හමුවූ බවත්, එහිදී රජයේ කැබිනට් මාධ්‍ය හමුව හා රජයේ වැදගත් මාධ්‍ය හමු සඳහා ලියාපදිංචි ප්‍රවෘති වෙබ් අඩවිවලට ආරාධනා කිරීම සිදුකරන බවට පොරොන්දු වුවද එයද මෙතෙක් සිදු නොවන බව පැවසීය.

තවත්, එක් වරක් මේ කරුණ සම්බන්ධයෙන් ජනපති හා අගමැතිවරයාට ලිපියක් යොමුකරමින් දැනුවත් කරන බවත් එය අවසාන නිවේදනය බවද ඔහු කියා සිටියේය.

වත්මන් ජනපතිවරයා බලයට පත්වී වසරකුත් මාස 3ක් ගතවී ඇතත් මෙතෙක් ජනපතිවරයා ඔහු හමුවීමට වෙබ් මාධයවේදීන්ට අවස්ථාවක් ලබාදී නොමැති බවද ගමගේ මහතා හෙළි කළේය.

ඇතැම් වෙබ් මාධ්‍යවේදීන් රාජපක්ෂ රෙජීමය පලවා හැරීමට කටයුතු කරනු ලැබුවේ හිරේ විලංගුවේ වැටෙමින් බවත්, ඔවුන් සිය ජීවිත පවා පරදුවට තබමින් මෙම සටනේ නියැලී සිටි බවද ඔහු කීය.

මාධ්‍ය හමුව සංවිධානය කළේ ශිරාල්

මේ අතර, ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තාවන්නේ අදාළ මාධ්‍ය හමුව සංවිධානය කිරීමට මූලික වී ඇත්තේ ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් ශිරාල් ලක්තිලක මහතා බවයි.

රාජපක්ෂ රෙජීමය පැවැති සමයේදී වෙබ් සමග ඉතා කිට්ටුවෙන් කටයුතු කළ ඒ මහතාට වෙබ් අමතකවීම ගැනද වෙබ් මාධ්‍යවේදීන් කිහිපදෙනෙකු සිය කනස්සල්ල මිරර් වෙත පලකර සිටියේය.

Home