යාපනයේ තරුණ යුවලකගේ ප්‍රංශ සිහිනය කටුනායකදි තිත වැටුන හැටි..

0
309
රට පත්ව ඇති අර්බුදය හමුවේ බොහෝ දෙනා කල්පනා කරන්නේ කෙසේ හෝ මේ රටින් පැන ගත  හැකිනම් ජිවිතය ගොඩනගා ගැනිමට එය පැහැදිලි මාර්ගයක් වනු ඇති බවය.මේ නිසාම පොදු ජනයාගේ මෙම සිහිනය අද මිනිස් ජාවාරම්කරුවන්ට මුදල් හම්බකරගැනිමට ඉල්ලමක් බවට පත් කර තිබේ.

පසුගිය 9 වෙනිද ada.lk වෙබ් අඩවිය විසින් වාර්තා කර තිබු මෙම පුවත මිනිස්ජාවාරම්කරුවන්ගේ උප්පරවැට්ටි ගැන තවත් එක් කදිම නිදසුනකි.

ස්ථිර ගමනාන්තයක් නොදැන තැරැව්කරුවෙකුගේ උපදෙස් මත ශ්‍රී ලංකාවෙන් පළා යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි යාපනය ප්‍රදේශයේ තරුණයෙකු සහ තරුණියක 11/09 දින පස්වරුවේ ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

යාපනය ප්‍රදේශයේ පදිංචි ඔවුන් අතරින් තරුණයා 27 හැවිරිදිය . තරුණිය 19 හැවිරිදිය. ඔවුන් සංචාරක වීසා මත 11/09 දින පස්වරු 01.30 ට ඩුබායි බලා පිටත්ව යාම සදහා ෆිට්ස් එයාර් ගුවන් සේවයේ 8 ඩී.821 දරන ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

ගුවන් සේවා නිලධාරීන් ඔවුන්ගේ ලියකියවිලි ලබා ගෙන නිශ්කාශන කටයුතු සිදු කරමින් සිටියදී , ඔවුන්ගේ සැක කටයුතු හැසිරීම මත ඔවුන් ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත භාර දී තිබේ .

එහිදී ඔවුන්ගේ ගමන් මලු නිරීක්ෂණය කිරීම් වලදී ඔවුන්ගේ ගමන් මලු තුළ තිබී ප්‍රංශයට සහ ජපානය වෙත යාම සදහා ව්‍යාජ තොරතුරු ඇතුළත් කර කූඨ ලෙස සකස් කළ වීසා බලපත්‍ර දෙක බැගින් ඔවුන් සන්තකයේ තිබී සොයා ගෙන තිබුණි.

ඒ පිළිබඳ වැඩිදුරටත් තොරතුරු විමසීමේදී , ඔවුන් තැරැව්කරුවෙකුට රුපියල් ලක්ෂ 06 ක මුදලක් ගෙවා මෙම වීසා බලපත්‍ර සකස් කර ගත් බවත් , ඒවා මීගමුව ”  ලොජ් ” තාවකාලික නවාතැන් පළක දී ඔහු තමන්ට භාර දුන් බවත් , තමන් ඩුබායි වෙත ගිය පසු තමන්ට ඊළඟට පිටත් විය යුතු ගමනාන්තය දැනුම් දෙන බවත් එම තැරැව්කරුවා තමන්ට ප්‍රකාශ කළ බවත් ප්‍රකාශ කර තිබේ.

එතෙක් තමන්ගේ ගමනාන්තය පිළිබඳව තමන් කිසිවක් නොදන්නා බව ද ඔවුන් එම නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර තිබේ. ඒ අනුව මොවුන් දෙදෙනා අත් අඩංගුවට ගත් ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී තිබේ.

මෙම අත් අඩංගුවට ගැනීම සහ මේ පිළිබඳ විමර්ශන කටයුතු ප්‍රධාන ආගමන විගමන නිලධාරීන් වන ආර්.ආර්.ජී.බී. රණසිංහ සහ ටී.එච්.රත්නායක යන මහත්වරුන්ගේ උපදෙස් සහ අධීක්ෂණය යටතේ ආගමන විගමන නිලධාරී කේ.වී.ආර්.බණ්ඩාර මහතා විසින් සිදු කර තිබේ.