යුක්තිය පතන මිනිසුනි, මේ ආයාචනය ඔබටයි !

0
147

අටුවා ටීකා ටිප්පණි අවශ්‍ය නැත. 2015 ජනවාරි 08 වැනිදා මිනීමරු ඒකාධිපති රාජපක්ෂ රෙජීමය පරාජය කළ ජනයාව, ජනපති සිරිසේන විසින් පිදුරන්ගලට නංවා, ප්‍රජාතන්ත්‍රවාදයට පස්සා පැත්ත පෙන්වා තිබේ. ඒ කැත නිරුවත ගැන තව දුරටත් වචන නාස්ති කළ යුතු නොවේ.

මේ වනවිටත් රාජ්‍ය මාධ්‍ය ස්වකීය හීන දීන වහල් භාවිතය දක්වා පසුබැස තිබෙන අතර පෞද්ගලික මාධ්‍ය බහුතරයක්, හිමිකරුවන්ගේ න්‍යාය පත්‍රයත් මාකටින් ඉලක්කයත් අතර ඔට්ටු සෙල්ලම් කරමින් සිටියි. සත්හඬ වෙබ් අඩවිය යළි සයිබර් අවකාශය වෙත එන්නේ එවන් නිමේෂයකය.එක පැත්තකින් පවතින නීතිය දෙපරැන්ද අස්සේ ගසාගෙන රටට හොරෙන් දිවුරුම් දුන් හොර අගමැතිවරයෙකි. අනෙක් පැත්තේ, ලෝක ඉතිහාසයේ ලොකු ම පාවාදීම කළ පර ජනපතිවරයෙකි. ඔවුහු ප්‍රජාතන්ත්‍රවාදය බිම පෙරළාගෙන ත්‍රීසම් ක්‍රමයට අතවර කරමින් සිටිති.

මේ අශීලාචාර දේශපාලන වටපිටාව විසින් නිර්මාණය කරනු ලබන්නේ කුමක්ද ? දැනටමත් මිනිස් ජීවිත කීපයක් මේ කාලකණ්නි ව්‍යවස්ථා කුමන්ත්‍රණයට බිළි වී තිබේ. මේ නීච ක්‍රියාදාමය වෙනුවෙන් තව මිනිස් ජීවිත කීයක් බිළිගන්නට මෛත්‍රී – මහින්ද අශුද්ධ හවුලට අවශ්‍ය ද ?

යුක්තිය පතන මිනිසුනි, මේ නින්දිත ලෙස කෙළෙසන්නේ ශිෂ්ට රටක් පිළිබඳ ඔබේ අපේක්ෂාවයි. යුක්තිය පතන මිනිසුනි, මේ ජඩ ලෙස විකුණන්නේ ජනවාරි 08 ඔබ කතිරය ගසා සලකුණු කළ බලාපොරොත්තුවයි. යුක්තිය පතන මිනිසුනි, මේ වියරු ලෙස විකෘති කරන්නේ ඔබ දිවිහිමියෙන් තැබූ විශ්වාසයයි.

තව දුරටත් ඔබ නිහඬව නොසිටිය යුතුය. මුළු මහත් සමාජයක බොටුව හිරවෙද්දී, ඔබේ ජාතිය ආගම හෝ පක්ෂය පාට අදාළ වන්නේ නැත. යක්ෂයා යළි උපදිමින් සිටියි. යක්ෂයා තිඹිරිගෙයිදී ම ආපසු හැරවීම වහ වහා කළ යුතුය. ඒ සඳහා ඔබ පෙරට ආ යුතුය.

යුක්තිය පතන මිනිසුනි, මේ ආයාචනය ඔබටයි ! ඉදිරි දශකය ලංකා ඉතිහාසයේ තවත් එක් රුධිරයේ දශකයක් නොකරන්න. මේ ව්‍යවස්ථා කුමන්ත්‍රණය උපන්ගෙයි ම පරාජය කිරීමට නොපමාව එක්වන්න. මිනීමරුවාටත් දේශපාලන අම්බරුවාටත් එරෙහිව කොන්ද කෙළින් තබාගෙන දෙපයින් හිටගන්න !!

ප්‍රධාන සංස්කාරක – www.sathhanda.lk