යුක්‍රේනය ආක්‍රමණය කිරිම සාධාරණීකරණය කරන්න පුළුවන් ම්ලේච්ඡයෙකුට පමණයි.

0
96
රුසියාව විසින් යුක්රේනය ආක්රමණය කිරීම සාධාරණීකරණය කරන්න හෝ ඒ ගැන සතුටු වෙන්න පුළුවන් ම්ලේච්ඡයෙකුට පමණයි.

මේ ආක්රමණයේ ස්වභාවය සහ පුටින් විසින් එය සාධාරණීකරණය කරන ආකාරය සළකලා බැලුවම ඔහු ඉතා ම භයානක සෙල්ලමක් ආරම්භ කර ඇති බව පැහැදිලියි.

මෙය ඇමෙරිකාව මෙයට පෙර මැද පෙරදිග සිදුකරන ලද සෙල්ලම ම එයට වඩා භයානක සහ අවදානම් සහගත ලෙස ඉදිරියට ගෙනයාමක්.

ලෝක ඉතිහාසය පුරා ම යුදකාමී උමතුවෙන් පෙළෙන බොහෝ නායකයන් මහා ඛේදවාචකයන්ට පාර කපා තිබෙනවා. ව්ලැද්මීර් පුටිනුත් ඔහු ගේ ආක්රමණික උමතුව නිසා විනාශයේ මාවත තෝරාගෙන තිබෙනවා.

පුටින් උත්සාහ කරන්නේ යුරෝපයේ ආරක්ෂක සැකැස්ම (security architecture) තමන්ට වාසි විදිහට සකස් කරගන්න. කාලයක සිට ඔහු ඒ සඳහා සූදානම් වුණා. එහෙත් ප්රශ්නය තියෙන්නේ යුරෝපයේ ආරක්ෂක සැකැස්ම තමන්ට වාසිදායක අන්දමින් සකස් කරගැනීම සඳහා ඕනෑම පරිමාණයක විනාශයක් කිරීමට ඔහු සූදානමින් සිටීමයි.

මේ වෙලාවේ පුටින් ගේ ක්රියාකලාපය ඉතා ම භයානක වෙන්නේ ඒ නිසයි.

ආර්ථික සම්බාධකවලින් පුටින් නවතන්නට පුළුවන්ද කියන කාරණය විවාදාත්මකයි. යම් කාලයක් තිස්සේ පුටින් මේ සම්බාධකවලට සූදානම් වුණා. ඒ නිසා ආර්ථික සම්බාධකවලින් යම් පීඩනයක් එල්ල කරන්න පුළුවන් වුණත් ආර්ථික සම්බාධකවලට ඔහු සහමුලින් ම නවතන්නට පුළුවන් වේදැයි සැකසහිතයි. ඒ වගේ ම යුරෝපය රුසියාවට සම්බාධක පැනෙව්වත් චීනය රුසියාවට ආර්ථික සහය ලබාදීම

නතර නොකරන බව පැහැදිලියි. ඒ නිසා ආර්ථික සම්බාධකවලින් පමණක් පුටින් පරාජය කරන්නට බැහැ.

මේ වෙනකොට මේ විනාශකාරී යුද්ධයට එරෙහිව රුසියාවේ වීදි සටන් ඇවිළී තිබෙනවා. විශාල වශයෙන් මහ ජනතාව පාරට බහිනවා. දහස් ගණනක් පිරිස දැනටමත් අත්අඩංගුවට ගෙන තිබෙනවා. යුද්ධයට එරෙහිව ඇවිළෙන වීදි සටන් හරහාත් පුටින් ට විශාල පීඩනයක් එල්ල වෙන්නට ඉඩ තියෙනවා. පුටින්ට එරෙහිව ශක්තිමත් විපක්ෂයක් නැති නිසා ඔහු රුසියාව තුළ දණ ගැස්විය හැකි එක ම ක්රමය වීදි සටන් ම පමණයි.

මේ මොහොතේ වඩාත් ම වැදගත් වන්නේ ලෝකයේ බලපෑම් කරන්න පුළුවන් හැම රටක් ම තීරණාත්මක විදියට පුටින්ට එරෙහිව පෙළගැසීම. පුටින් ගේ ආක්රමණයට එරෙහිව සහ යුක්රේනය බේරාගැනීම වෙනුවෙන් හැකි උපරිම විදියට ජාත්යන්තර සහයෝගිතාව ගොඩනැගීම. ඒත් ඒ හැම රටක් ම වගේ රුසියාවත් එක්ක සෘජුව සහ වක්රව බැඳුණු තමන් ගේ උපායමාර්ගික (strategic) අවශ්යතා නිසා වැඩි බරක් යොදලා එහෙම කරන්න පුළුවන් තැනක නැහැ.

යුරෝපය තමන් ගේ ගෑස් සහ ඉන්ධන සැපයුම වෙනුවෙන් රුසියාව මත රඳාපවතිනවා. ජර්මනියේ ස්වභාවික ගෑස් සැපයුමෙන් සියයට 50ක් පමණ පැමිණෙන්නේ රුසියාවෙන්. තවත් රටවල් රුසියානු වෙළෙඳපොළ මත රඳා පවතිනවා. ලංකාව වගේ ඉතා කුඩා රටක් ගැන හිතුවත් රුසියාවට සිදුකරන තේ අපනයනය නැවතුණොත් ලංකාවට එයින් ලොකු බලපෑමක් එල්ල වෙනවා. වසරකට දළ වශයෙන් ඩොලර් මිලියන 400ක පමණ ද්විපාර්ශ්වික ගනුදෙනු ලංකාවත් රුසියාවත් අතර සිදුවෙනවා.

මේ නිසා ලංකාවට කැමති වුණත් නැතත් මේ යුද්ධයට විරුද්ධව කටක් අරින්නට පුළුවන්කමක් නැහැ.

ලෝකයේ ලංකාවට වඩා බලවත් අනෙක් බොහෝ රටවලුත් මේ ප්රශ්නයේ දී ඉතා ම පරිස්සම් සහගත ලෙස කටයුතු කරන්නේ මෙවැනි හේතු නිසයි. මේ ප්රබල අන්තර්-සම්බන්ධය තුළ යුක්තියට, සාධාරණත්වයට හෝ හරි-වැරැද්ද කුමක්ද කියන දෙයට ඉඩක් නැහැ. ප්රජාතන්ත්රවාදය වෙනුවෙන්, නිරායුධ අහිංසක මිනිසුන් ගේ ආරක්ෂාව වෙනුවෙන්, නිදහස සහ මානව අයිතීන් වෙනුවෙන් කිසිවෙකුත් අනවශ්ය පරිදි ‘කරදර වෙන්නේ’ නැහැ.

බලපෑමක් එල්ල කරන්න පුළුවන් හැම රටක් ම වාගේ මේ වෙලාවේ ප්රමුඛතාව දෙන්නේ තමන් ගේ උපායමාර්ගික අවශ්යතාවන්ට පමණයි. අනෙක් හැමදේම ගණන් බැලෙන්නේ එයට පසුවයි. යුද්ධයටත් වඩා මේ මොහොතේ මානව සංහතිය මුහුණ දෙන ලොකු ම ඛේදවාචකය එයයි.

ගෝලීය මානුෂීයවාදය වගේ දේවල් ලස්සන වචන විදියට මිස මහපොළොවේ යථාර්ථයක් විදියට පවතින්නේ නැහැ. හැම රටකට ම අවශ්ය වන්නේ තමන් ගේ ඇපල් කරත්තය පෙරළා ගන්නේ නැතිව හැකිතරම් දුර ගමන් කරන්නට පමණයි.
යුක්ති සහගත බව, සාධාරණත්වය සහ නිදහස වෙනුවෙන් නැගී සිටීම මේ වෙලාවේ කොයිතරම් වැදගත් වුණත් ඒ සඳහා ගෙවිය යුතු මිල ගෙවන්නට කිසිවෙකුත් සූදානම් නැහැ.

ඒ බව අන් කාටත් වඩා හොඳට පුටින් දන්නවා.

පුටින් තමන් ගේ අරමුණ ඉටු කරගන්නා තෙක් මේ විනාශය ඉදිරියට ගෙනයන්නට සූදානම් බව පැහැදිලියි. ඔහු කොතරම් දුර යන්නට බලාපොරොත්තු වෙනවාදැයි කිසිවෙකුත් දන්නේ නැහැ.
යුක්රේනයට මේ වෙලාවේ රුසියානු හමුදා පළවාහරින්නට ශක්තියක් නැති බව පැහැදිලියි. කෙසේ වුවත් මනුෂ්යත්වයේ නාමයෙන් පුටින් නමැති ආක්රමණිකයා මේ මොහොතේ පරාජය විය යුතුයි.
අවසාන විග්රහයේ දී සියලු යුදකාමී ආක්රමණිකයන් ඉතිහාසයේ කුණු බක්කියෙන් සිය ගමන අවසන් කළ යුතුයි.
රසික ජයකොඩි
26 – 02 – 2022