රතුෂර්ට්කාරයා සහ ලංකාවේ කුලප්පු මාධ්‍යකාරයෝ !

0
144

දෙරණ නිව්ස්(1.05 pm ) මීගමුව කටුවපිටිය දෙව්මැදුරේ බෝම්බ පිපිරියාමෙන් පසු මේ රටේ ඇතැම් මාධ්‍ය හැසිරුණ ආකාරය ඇත්තටම පිළිකුල් සහගතය .මේ ඇතැමුන් සිය මාධ්‍ය වෘත්තියට එහා යමින් පොලිස් රාජකාරි වලට පවා අතපොවා තිබුණා සේය.
මේ අතර මිගමුවේ සිදුවිම ගැන ලැබුන CCTV දර්ශන වල සිටි රතුෂර්ට් කාරයා ඇතැම් මාධ්‍යවලට ලොකු මාතෘකාවක් විය.
ඒ වන විටත් මීගමුවේ පොලිසිය සහ ඔත්තු සේවවාන් විසින් මේ රතුෂර්ට් කාරයා කව්දැයි දැනගෙන තිබුණි. ඔහු ඇත්තටම කටුවාපිටියේ මිසමේ කිතුණුවකු වු අතර දිව්‍ය පුජාවෙන් පසු යාමට නියමිතව තිබුණ පෙරහැර කටයුතු වලට අදාලව පියතුමෙකුගෙන් ලැබුණ දුරකථන ඇමතුමකට පිළිතුරු දිම සදහා පල්ලියෙන් පිටතට පැමිණ තිබුණි.
එහෙත් ඔහු ගැන මාධ්‍ය කියා ඇති ටොන් පච නිසා ඒ පවුලම මහත් අසහනයකට පත්ව සිටිති.

පහත පළවන්නේ ඒ ගැන තබා තිබුණු  අගනා මුහුණු පොතේ සටහනකි.

 

 

#Breaking
බෝම්බකරුවාට ඔත්තු බැලූ රතු ෂර්ට් කාරයා හමුවෙයි.

CCTV දර්ශන වල පෙන්වූ කටුවපිටිය දේවස්ථානයේ ඔත්තු සැපයූ රතු කමීසය හැඳගත් පුද්ගලයා සොයා ගැනේ.

රට තුළ ත්‍රස්ත ප්‍රහාරය සිදුවී සතියකට ආසන්න කාලයක් ගත වුවත් , ලාංකීය ජන සමාජය එලෙසින්ම මරබියෙන් තැති ගනිමින් සිටියි. විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය වලත් , සමාජජාලා තුළත් හුවමාරැ වන ඇතැම් වගකීම් විරහිත, පිළිකුල් සහගත පුවත් මේ තත්වය තවත් තීව්‍ර කර ඇති බවක් පෙනේ.

දිනය – 24/04/2019
කොළඹ – මීගමුව අධිවේගී බස් රථයක් තුළ.

24 වන දින පෙරවරැවේ,මා කොළඹින් පිටත් වූයේ කටුවපිටිය ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් වියෝවූවන් ගේ අවමඟුල් උත්සවයට සහභාගී වීම හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සහ තුවාල වූවන්ගේ සුව දුක් විමසීමටත් ය.

බස් රථයේ වූ බොහෝ දෙනෙක් ඇතිවූ සිද්ධීන් හා රටේ පවතින තත්වය පිළිබඳව එකිනෙකා හා කතා බස් කරමින් සිටියහ. එහිදී මා අසල වූ කාන්තාවක්,

කාන්තාව – “පුතා කොහෙද යන්නෙ..??”
මම – ” මම මීගමුවෙ යාළුවෙක්ගෙ ගෙදර යනවා ඇන්ටි”

කාන්තාව – ” බලාගෙන පුතා මීගමුවෙ යන්නෙ, අර ඔත්තු දීපු රතු ෂර්ට් කාරයා ගැන තාම කිසි ආරචියක් නෑ, #ල් හැතිකරේ, ඕකුන් තව මොනවා plan කරනවද දන්නෙ නෑ මේ වෙලේ “,,,

අපේ කතාබහට තවත් කිහිප දෙනෙකු එක් වූයෙන්, මීගමුවට එන තුරැම රතු ෂර්ට් කාරයාගේ කතාව දිගැස්සුනි.

මාධ්‍ය වල කිහිප විටක්ම අදාළ රතු ෂර්ට් කාරයා ඔත්තුකරැවකු සේ පෙන්වීමත්, බසයේ වූ කතාබහත් නිසා මීගමුවට පා තැබුවේ දැඩි අවිනිශ්චිතතාවයකිනි. හදවතේ නොතිබූ නොසන්සුන්තාවයකිනි.

මා මුලින්ම ගියේ , බෝම්බ ප්‍රහාරයට මුහුණ දුන් මා මිතුරැ පවන් සොයුරාගේ නිවසටය,

මම – ” උඹලා බලාගෙන , තාම වැඩිය එළියට බහින්න එපා, අර ඔත්තු බලපු රතු ෂර්ට් කාරයා තාම ඇල්ලුවෙ නෑනෙ”,

පවන් – එක් වරම, ශබ්ද නගා සිනා සෙමින්, ඒ රතු ෂර්ට් එක ඇඳන් හිටියෙ, මේ එහා පැත්තෙ අයියා කෙනෙක්, පව් ඒ මනුස්සයට එළියටවත් බහින්න විදියක් නෑ, ඒ අක්කටත් බෝම්බෙන් සෑහෙන තුවාල…,

පවන් රතු ෂර්ට් කාරයා ගැන මෙලෙස කරැණු දිග හරින විට ” අහෝ ලාංකීය තුච්ච , අධම , වගකීම් වි⁣රහිත මාධ්‍ය” මටම මුමුණ ගතිමි.

එසැණින් ම මා පවන් සමඟ ඒ ආසන්නයේ වූ රතු ෂර්ට් කාරයා සොයා ඔහුගේ නිවස වෙත ගියෙමි. ඒ මොහොතේ ඔහු රැකියාව සඳහා හම්බන්තොට ගොස් තිබූ බැවින්, තුවාල සහිතව බිරිඳ මෙසේ අප සමඟ සිද්ධිය විස්තර කරන්නට විය.

බලන්න මල්ලි අපට ⁣උනේ අර “ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ” වැඩක්, මායි මහත්තයයි, දරැවො දෙන්නයි , අපි හතර දෙනාම එදා පූජාවෙ හිටියෙ. පූජාවෙ අන්තිම හරියෙදි පොඩි ෆාදර්ගෙන් කෝල් එකක් කියලා ඒක ආන්සර් කරන්න මහත්තයා එළියට ගියා. මිනිත්තු කිහිපයකින් ආයෙ මහත්තයා අපි ළඟට එනවා විතරයි මට මතක. සිහිය එද්දි මම හිටියෙ ඉස්පිරිතාලෙ. හැම තැනම ලේ පෙරා ගතිපු මගෙ ගමේ මිනිස්සු , මල මිනී,.. ඇගේ රෑරා වැටෙන කඳුළු අපවද සසල කරන්නට විය.

බලන්නකො මල්ලි මේ දැං වෙලා තියෙන දේ, අපි කොහොමද පාරෙ බැහැලා යන්නෙ, මහත්තයා පුදුම හිතේ අමාරැවෙන්, ලැජ්ජාවකින් ඉන්නෙ. මගෙ දරැවො කොහොමද ඉස්කෝලේ යන්නෙ, ඉස්කෝලේ ළමයි හෙට මගෙ දරැ පැටව්න්ට ත්‍රස්තවාදියො කියයි. මේවා දාන්න කලින් ඇයි පොඩ්ඩක් මේ මිනිස්සු හොයලා බලන්නෙ නැත්තෙ.

දින දෙකකට පසුව ඔවුන් මීගමුව පොලීසිය වෙත ගොස්, ඔවුන්ගේ අනන්‍යතාව තහවුරු කර, තමන්ට වූ අසාධාරණය නිවැරැදි කරන ලෙස ඉල්ලීමක්ද කර තිබුණි. නමුත් 26 වන දින විටත් ඔවුන් එය නිවැරැදි කර ඇති බවක් පෙනෙන්නට නොතිබිණි.

පසුව මා මේ සිද්ධියට මුහුණ පෑ,
රතු පැහැති කමිසයෙන් සැරසී සිටි, ඇරෝෂන් ජූඩ් සොහොයුරාව දුරකතනය ඔස්සේ සම්බන්ධ කර ගත්තේය.

ඇරෝෂන් ජූඩ් – පූජාව ඉවර වෙන්න ඔන්න මෙන්න තියලා පොඩි ෆාදර්ගෙන් මට කෝල් එකක් ආවා, පල්ලිය ඇතුලෙ හොඳ නැති නිසා මම කෝල් එක ගන්න එළියට ආවෙ.

මම දැක්කා සන්ග්ලාස් 2ක් දාගෙන ඔය මනුස්සයා ඉස්සරහට යනවා, කව්ද දන්නෙ දෙයියනේ මෙහෙම දෙයක්.

කොල් එක ඉවර වෙලා නෝනයි, දරැවො දෙන්නයි ඉන්න තැනට ලං උනා විතරයි, සද්දෙත් එක්ක මගෙ නෝනා උඩින් විසිවෙලා මගෙ කකුල් දෙක මුල ලේ පෙරාගෙන වැටුනා. මගෙ දරැවො දෙන්නට දෙයියන්ගෙ පිහිටෙන් කිසි කරදරයක් උනේ නෑ.

ඒත් මේ දැං වෙලා තියෙන දේ බලන්න, ම⁣ගෙ දරැවො ගෙදරින් එළියට බහින්නෙ නෑ ලැජ්ජාවට. මගෙ ෆෝන් එකට එක දිගටම කෝල් එනවා , ඒ ගොඩක් කෝල් එන්නෙ අවිශ්වාසෙන්. මගෙ ළඟම හිටපු මිනිස්සු පවා මේ නාලිකා වල පෙන්නපු පුවත නිසා මාව අවිශ්වාස කරා. එහෙන් මගෙ ගමම මළ ගෙයක්, නෑදෑයො යාළුවො කී දෙනෙක් අපිව දාලා ගිහින්ද, මෙහෙන් මගෙ නෝනා තුවාල වෙලා පුදුම කම්පනේකින් ඉන්නෙ. මේවා අස්සෙ මේ මාධ්‍ය කරපු බලු වැඩේ නිසා මට තියෙන පීඩනේ දරා ගන්න අමාරැයි. මෙ වෙලාව වෙද්දි මගෙ ගෙදර හාල් ඇටයක් නෑ, දරැවන්ට කන්න එළවළුවක් නෑ, බඩුවක් ගන්න කඩේකට යන්න විදියක් නෑ, අපි ත්‍රස්තවාදියො කියලා කව්රැත් ගෙදරට ගොඩ වෙන්නෙ නෑ…… ?????

අහෝ මෙම අසත්‍ය පුවත් මුදාහළ මාධ්‍ය කරැවෙනි.,

ඔබ මෙම ජූඩ් ඇරෝෂන් සොයුරාට සහ ඔහුගේ පවුලට වූ අසාධාරණය වෙනුවෙන් කුමක් කරන්නෙහිද?

ඔවුන්ට අත්වූ මානසික පීඩා කෙසේ සුවපත් කරන්නෙහිද?

එම දරැවන්ට පාසැල් වල ඉදිරියේදී එල්ල වන උසුළු විසුළු ඔවුන් කෙසේ දරා ගන්නද?

ජනතාවගේ ජීවිත බිල්ලට දෙමින්, දිගින් දිගටම සිදුවන මෙවැනි වගකීම් විරහිත ශ්‍රී ලංකාවේ අසික්කිත මාධ්‍ය හැසිරීමට කවදා නම් තිත තැබේවිද…???

-ශෙහාන් මාලක ග⁣මගේ-
Shehan Malaka Gamage

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here