රන්ජන් යළිත් මැතිවරණ දේශපාලනයට !

0
125

රන්ජන් රාමනායක යනු දේශපාලනඥයෙකුටත්, කලාකරුවෙකුටත් වඩා පුවත් මවන්නෙකු බවට පත්වූයේ අද ඊයේ නොවේ . පසුගිය කාලයේ පොදු ජනතාව අතර ඔහු පිළිබඳව වඩාත් කතාබහට ලක් වූයේ ඇත්ත ඇති සැටියෙන්, හැංගි හොරා නොමැතිව එළිපිට කතා කරන, නිර්භය පුද්ගලයෙකු ලෙසයි. මේ හේතුව නිසාවෙන්ම අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වූ ඔහුට පසුගිය රාජපක්ෂ පාලන කාලයේදී සිව් වසරක සිර දඬුවමකට යටත් වන්නට ද සිදු විය.. එම සිර දඬුවමට යටත්ව බන්ධනාගාරගතව සිටියදී ඉන් පසු වසරකුත් මාස 09 ක් සහ දින 14 ක් ගත වෙද්දී රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව ඔහුට ජනාධිපති සමාව හිමි විය. ඉන් අනතුරුව ඔහු ක්‍රියාකාරී දේශපාලනයෙන් ඈත් ව සිටියේය.

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව, පලමු වතාවට රන්ජන් රාමනායක ඉකුත් ඔක්තෝබර් 01 වැනිදා (2024/10/01) දින කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ සිටියේය. ජනාධ්පති ලේකම් කාර්යාලයෙන් පිටතට පැැමිනි පසු පිටත සිටි මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් රන්ජන් රාමනායක ප්‍රකාශ කර සිටියේ තමන් විඳිමින් සිටි සිරදඬුවම සඳහා ජනාධිපති සමාව ලැබුණු මුත් ඒ සඳහා අවශ්‍ය නිසි නීතිමය ලියකියවිලි තමන්ට තවමත් නොලැබුනු බවයි. එනිසා අද දවසේ ඔහු ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණියේ එම ලියකියවිලි රැගෙන යාමට බවයි, ඔහු එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

එහිදී මාධ්‍යවේදියා ඔහුගෙන් ප්‍රශ්න කර සිටියේ මෙවර මැතිවරණය සඳහා තරග කර නැවත පාර්ලිමේන්තුවට පැමිණීමට අදහස් කරන්නේ ද යන්නයි ඒ සඳහා රන්ජන් රාමනායක මෙලෙස පිලිතුරු ලබා දෙන ලදී.

” දැනට තියෙන තත්වය අනුව ජනතාවට ලොකු වගකීමක් තියෙනවා. මල්ලි, ඇත්තටම අපි රංගන ශිල්පීන් හැටියට ඇයි අපිට දේශපාලනයට එන්න වෙලා තියෙන්නේ, .පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායකයේ ඉන්න අය ,මෙම්බර්ස්ලා ඒ ඩියුටිය හරියට කරන්නේ නැති හින්දනේ නැත්තම් අපිට පුළුවන්නේ කලාව කරන් ඉන්න . එතකොට ඒ අය මම කිව්වා වගේ කුඩුකාරයෝ ,ගංජාකාරයෝ, එතනෝල්කාරයෝ , කුකුල් හොරු, හරක් හොරු එතනට ගිහිල්ලා වනසද්දී තමයි අපිට සිනමාව දාලා මෙතනට එන්න සිද්ධ වෙලා තියෙන්නේ.

ඉතින් දැන් අලුත් රජයක් යටතේ ව්‍යවස්ථාදායකයේ උත්තරීතර පාර්ලිමේන්තුවට පත්විය යුතු අය ජනතාව පත් කරලා එවනවානම්, අපිට ආයේ පරණ රැකියාවට යන්න පුළුවන්. මං දැක්ක මේ ලඟදි හොඳ කතාවක් කියලා තියෙනවා ක්‍රිකට් ගහන අය ක්‍රිකට් ගහන්න, ඇක්ට් කරන අය ඇක්ට් කරන්න,සින්දු කියන අය සින්දු කියන්න, දේශපාලනය හරියට කරන අය ඒක ෆුල් ටයිම් ජොබ් එකක්. ඒක බැහැලා කරන්න, ඉතින් මට හිතෙනවා, ඒ මතය හරි.

ඉතින් ඒක නොවෙනවනම් තමයි මල්ලි අපි එන්න ඕනේ. මේක හරියට කෙරෙන්නේ නැත්නම් තමයි අපි ඇවිල්ලා හොරු අල්ලන්නේ නැත්තේ ඇයි කියලා අර වගේ කෑගහලා බෝඩ් ගහලා ,හිරේ යනවා වගේ ප්‍රශ්න ගොඩකට මම මැදි වුනේ. ඉතින් මේක හරියට කෙරෙනනවා නම් මගේ දායකත්වයක් අවශ්‍ය නෑ කියලයි මට හිතෙන්නේ.එතකොට මට හිතෙනවා මම කලාකාරයෙක් වගේ එළියේ ඉන්න එක හොඳයි .අපි බලමු මේ අයට වසර 05 ක් වත් දෙන්න ඕන නේ. දැන්මම කියන්න බෑ. දැන් තියෙන තත්ත්වය ඉතාම හොඳයි.මොකද අනුර කුමාර සහෝදරයා, ගරු ජනාධිපතිතුමා ආවේ හොරු අල්ලනවා ,හොරුන්ව නීතියේ ඉදිරියට ගේනවා සහ ඒ අය නීතිය ඉදිරියට ගෙනල්ලා විතරක් මදි, ඒ අය හොරාකාපු මුදල් ටික නැවත ට්‍රෙෂරියට ගේන්න ඕන. ඒ අය ඒක කරයි කියලා දැඩි විශ්වාසයක් තියෙනවා.

මම විශ්වාස කරනවා. මම මීට කලිනුත් කතා කරලා තියෙනවා.පසුගිය ටිකේම මම වෙන පක්ෂයක ඉන්නැද්දිත් ඔවුන්ගේ භූමිකාව, ඔවුන්ගෙන් රටට තියෙන අවශ්‍යතාවය,කියාපු කෙනෙක් මම. මම මේ ලඟදි කියපු කෙනෙක් නෙමෙයි ඒ ගැන.ඉතින් මගේ හඬ පට අරන් බැලුවත්, වීඩියෝ පටන් අරන් බැලුවත්, මම කෙලින්ම කියනවනේ මල්ලි මේක රෙකෝඩ් කරලා තියාගන්න, මේ අය එන්න ඕනේ කියලා මම කියලා තියෙනවා. ඉතින් ඒ අය ගැන ජනතාවත් ලොකු බලාපොරොත්තුකින් ඉන්නවා මමත් ලොකු බලාපොරොත්තුවකින් ඉන්නවා. ඒ අය නොකළොත් තමයි එන්න වෙන්නේ. මම හිතන්නේ නෑ එහෙම එන්න අවශ්‍යතාවයක් අයේ ඇති වෙයි කියල.

මම අද ආවේ ඡන්දේ ඉල්ලන ප්‍රශ්නෙකට නෙමෙයි. මගේ මේ සිවිල් අයිතිවාසිකම් නැතිවීම ගැන ප්‍රශ්න.ඒවා ආපහු ලබාගන්න. මොකද මේ ඒවා නැතුව මට පිටරට යන්න විදිහක් නෑ වීසාවල ප්‍රශ්න ,හෙල්ත් ඉන්ෂුවරන්ස්, ලයිෆ් ඉන්ෂුවරන්ස් , ගන්න විදිහක් නැතුව ඉන්නේ.”

පසුගිය ඔක්තෝබර් 01 වෙනිදා මාධ්‍ය හමුවේ සිය අදහස් එසේ පළකළ රන්ජන් අද ඔහුගේම නව පක්ෂයක් පිහිටුවා ගනිමින් මැතිවරණ දේශපාලනයට පිවිස සිටි.

රංජන්ගෙන් අලුත් පක්ෂයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජනප්‍රිය නළුවකු වන රංජන් රාමනායක මහතා නායකත්වය දරණ “එක්සත් ප්‍රජාන්ත්‍රවාදී හඩ” නමින් දේශපාලන පක්ෂයක් එළි දැක්වීම අද (09) දින සිදුවු බව ලංකාදිප වෙබ් අඩවිය වාර්තා කර තිබේ

එළඹෙන මහ මැතිවරණය සදහා මෙම පක්ෂය තරග කිරීමට බලාපොරොත්තු වන අතර ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක තිලකරත්න දිල්ෂාන් මහතා ද එම පක්ෂයට එක් වූ අතර ඒ මහතා එම පක්ෂයේ ජාතික සංවිධායකවරයා ලෙස පත් කර ඇතැයි වැඩිදුරටත් එම පුුවතේ සදහන්ය.

තිලකරත්න ඩිල්ෂාන් පසුගිය ජනාධිපතිවරණයේදි සමඟි ජන බලවේලය හා එක්ව සිටියේය

මේ අතර ඇතැම් යුටියුබ්කරුවන් රන්ජනගේ මේ  දේශපාලන ආගමනය ගැන විවිධ විග්‍රහයන් ඉදිරිපත් කරමින් හිට්ස් වැඩිකරගැනිමට ගනු ලබන විවිධ උත්සාහයන්ද දැනටමත්  සයිබර් අවකාශය තුල විද්‍යාමාන වන්නට පටන් ගෙනය.
මුදල් හම්බ කිරිම අරමුණ කර කථා ගොතමින් සිටින අතිබහුතරයක් වන යුටියුබ්කරුවන් සමාජ මාධ්‍ය ආවකාශය සැබැ පාඨකයන් හට සයිබර් අවකාශයද එපා කරවමින් සිටිති.