රසකැවිලි නිෂ්පාදන සඳහා වර්ණ සංකේත ක්‍රමයක්

0
490

sweetශ්‍රී ලංකාවේ රසකැවිලි නිෂ්පාදන සඳහාත් සීනී මට්ටම දැක්වෙන වර්ණ සංකේත ක්‍රමයක් හඳුන්වාදීමට නියමිත බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරයි.

අමාත්‍යවරය මේ බව සඳහන් කළේ අද (17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවක දී ය. ඒ අනුව බිස්කට් වර්ග, ටොෆි වර්ග, කේක්, දොදොල්, බූන්දි වැනි සියලුම රසකැවිලි සඳහා ද ඉදිරියේ දී මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක වෙනු ඇත. ඒ අනුව මෙම නිෂ්පාදන ග්‍රෑම්100 ක් සඳහා ග්‍රෑම් 11 කට වැඩි ඉහළ සීනි මට්ටමක් අඩංගු නම් රතු වර්ණය ද ග්‍රෑම් 02 සිට ග්‍රෑම් 11දක්වා මධ්‍යම සීනි මට්ටමක් අඩංගු නම් කහ වර්ණය ද ග්‍රෑම්02 කට වඩා අඩු සීනි මට්ටම සඳහා කොළ වර්ණය ද සඳහන් වීමට නියමිතය.

1980 අංක 26 දරන ආහාර පනත යටතේ නිකුත් කළ ආහාර ශ්‍රේණි මට්ටම් සඳහා වන වර්ණ සංකේතවත් කිරීමේ ක්‍රියාවලියක් හඳුන්වා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මීට ඉහත පියවර ගෙන තිබුණි. එම තීරණය2016 වසරේ අගෝස්තු මස සිට ක්‍රියාත්මක වූ අතර ආහාර පාලන පනතේ විධි විධාන යටතේ සෑම පැණි බීම වර්ගයක් සඳහා ද මෙම ක්‍රමය ක්‍රියාත්මක විය.

මීට අමතරව සීනි භාවිතය අඩු කිරීම පිණිස වර්ණ සටහන් කිරීම පමණක් ප්‍රමාණවත් නොවන බැවින් නියමිත ප්‍රමාණයට වඩා සීනි,ලුණු සහ මේදය අඩංගු ආහාර වෙනුවෙන් විශේෂ බද්දක් පැනවීමට ද සිදු වෙනු ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

බීම වර්ගවල සහ ආහාරවල අඩංගු සරල සීනි හෙවත් සුක්‍රෝස් වර්ග හරහා දීර්ඝකාලීනව දියවැඩියාව සහ විවිධ රෝග ඇති විය හැකි බව වෛද්‍ය මතයයි. වර්තමානයේ රෝහල්වලට ඇතුළත් වන රෝගීන්ගෙන් සියයට70ක් පමණ දියවැඩියාව, අධිරුධිර පීඩනය වැනි බෝ නොවන රෝග හේතුවෙන් ඇතුළත් වන රෝගීන්බව සෞඛ්‍ය අංශ වාර්තා පෙන්වා දෙයි.

කෙසේ වෙතත් ස්ථූලභාවය, දියවැඩියාව සහ දත් දිරායාම අවම කිරීම සඳහා පලතුරු සහ කිරිවල අඩංගු ස්වාභාවික සීනි හැරුණු විට ආහාරයේ අඩංගු අනෙක් සියලුම ආකාරයේ සීනි පරිභෝජනය අවම කිරීමට පියවර ගත යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවල ද දැක්වේ