රාජපක්ෂලාගේ අපරාධ සම්බන්ධ නඩු දිනපතා අසා අවසන් කරනවා

0
135

රාජපක්ෂලාගේ අපරාධ සම්බන්ධ නඩු ඇසීමට ඉහළ අධිකරණයක් නම් කර දිනපතා නඩු අසා අවසන් කිරීමට කැබිනට් මණ්ඩලය තීන්දු කළ බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා අවධාරණය කළේය.

රජය වෙනස් වුවත් රාජ්‍ය වෙනස් වී නොමැති නිසා මෙම තීන්දුව ගැනීමට වසර දෙකක කාලයක් ගත වූ බවත් ලබන වසරේ මැයි දිනයට පෙර සියලුම වැරැදිකරුවන් සිරගත කිරිමට පියවර ගන්නා බවත් සේනාරත්න මහතා කියා සිටියේය.

විහාරමාහා දේවී උද්‍යානයේ ඊයේ (15) පැවැති හැට දෙලක්ෂයේ ජනතා සම්මුති ව්‍යාපරයේ සත්‍යග්‍රහ ව්‍යාපාරයට එක්වෙමින් එසේ කී ඇමැතිවරයා ඉදිරි වසර තුන තුළ යහපාලන රජය ලබාදුන් සියලු පොරොන්දු ඉටු කරන බවද අනාවරණය කෙළේය.

සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා

එදා ජනවාරි 08 වැනිදා අපේ රට වෙනස් කරන්නට. අපිත් එක්ක අලුත් රටක් හදන්නට එකතු වුණ ජන බලකාය ඉතා වැදගත් මෙහෙයක් කළා. පාර්ලිමේන්තුවට අලුතිනක් ගිහින් හෙටට වසර දෙකක් වෙනවා. ඒ අනුව තමයි අපි මෙය තීණ්දු කෙළේ. මේ වසර දෙකතුළ අපි නොයකුත් අංශවලින් සෑහෙන වැඩකොටසක් කළා. කිසිම ජනාධිපතිවරයෙක් ජනාධිපති ක්‍රමය අලුත් ව්‍යවස්ථා ගෙනවිත් නැහැ තමන්ගේ බලතල ලබාදෙන්නට. අපි ජනාධිපතිවරයෙක් බිහි කළා ඉතිහාසයේ පළමු වරට තමන්ගේ බලතල තමන්ම ප්‍රදානය කරන. එතැන් සිට ව්‍යවස්ථා සභා හදලා. මේ කාලකන්ණි මැතිවරණ ක්‍රමය වෙනස් කරලා. තොරතුරු පනත් ගෙනවිත්, ස්වාධීන කොමිසන් සභා පිහිටවමින් සියලු වැඩකටයුතු කළා. තවත් විශාල වැඩකොටසක් කළ යුතුව තිබෙනවා. එකක් තමයි ව්‍යවස්ථාව. ජනතාවට අපි පොරොන්දුවක් ලබාදුන්නා ව්‍යවස්ථාව වෙනස් කරන බවට. අපි මේ රටට අවශ්‍ය ව්‍යවස්ථායක් හදනවා. ජනතාවට අවශ්‍ය ව්‍යවස්ථාවක් හදනවා. කෙනෙකුගේ තිබෙන බලතල අහෝසි කරලා බලතල මේ රටේ මිනිසුන්ට බෙදිල යන ආකාරයට ව්‍යවස්ථාවක් අපි හදනවා. එම ව්‍යවස්ථාව අවසන් අදියරට ඇවිත් තිබෙනවා. මුළු පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා සභා මන්ත්‍රණ සභාවක් බවට අපි පත් කර තිබෙනවා. විමල් වීරවංශයේ පස්දෙනා හැරෙන්නට අනෙක් ඔක්කොම දැන් තවමත් ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයෝ. මහින්ද රාජපක්ෂත් ඒකේ සාමාජිකයෙක්. ඒකට විරුද්ධව කතා කරනව හැම කෙනොම සාමාජිකයෝ. ඒ අය ඉන්නවා ලේකම්වරු වෙලා. මෙයට යන්න තිබෙන්නේ ජනමත විචාරණයක්. අදවන විට අපේ ජනාධිපතිතුමා එකඟුවී තිබෙනවා ජනමත විදචාරනයකට යන්නට. ඒ ජනමත විචාරනයකට යනවා කියන්නේ අලුත් ව්‍යවස්ථාව පාර්ලිමේන්තු ක්‍රමය අගයන පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක රජයන තැනකදී අපි සියලුදෙනා එකට එකතු වෙනවා. එදා හංසයාට එකතු වුණා වගේ මේ සැරේ ලැබෙන ලාංඡනයට අපි ඔක්කොම එකතු වෙනවා. මොකද අපි සියලු දෙනාගේ අවශ්‍යතාවය තමයි මේක. එයට රජය එකතු වෙනවා. දෙමළ සන්ධානය එකතු වෙනවා. අනෙකුත් පක්ෂ එකතු වෙනවා. බලය බෙදීමේ යම් යම් දෝෂ තිබුණත් නව ව්‍යවස්ථාවකට එකතු වන බව ජනතා විමුක්ති පෙරමුණත් කියා තිබෙනවා. අපි එක බලවේගයක් මෙයට විරුද්ධ වෙනවා නම් වෙන්නේ මහින්ද ඇතුළු හොර බලකාය විතරයි. ඒ එකක්. එදා මිනීමැරූ තමන්ගේ දරුවන් පැහැරගෙන ගිය, මේ රටේ ධනය මංකොල් කාපු ඒ සියලුදෙනා අධිකරණය ඉදිරියට ගෙන එන්නට ජනතාට අවශ්‍ය වුණා. දිගින් දිගටම අපි රජය ඇතුළේ මේ සටන ගෙනගියා. මේ ගැන කතා කළා. අද මේ වන විට උග්‍ර තත්ත්නයට පත් වෙලා. වසර දෙකක් තිස්සේ ගෝඨාභය රාජපක්ෂගේ අත්සන හරිද කියා බලාගන්න බැරි වුණා. දවස් දෙකන් රවී කරුණානායක කතා කළ දුරකතන ඇමතුන් විසිදාහක් බැලූ නිතිපති දෙපාර්ත්මේන්තුවට ගෝඨාභයගේ අත්සන හරිද වැරදිද කියා සොයාගන්න වසර දෙකක් ගතවෙලත් කරන්න බැරි වුණා.එකම නීතිපති දෙපාර්තමේන්තුවයි. මේ ප්‍රශ්නය අද එක්සත් ජතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම තීන්දු කළා අවුලවන්නට. ඒ ඉල්ලා අස්වීම සඳහා මම කිව්වේ රවී අද ඔයා ඉල්ලා අස්වෙන්න. එය අපේ අරගලයට විශාල ශක්තියක් වේවි කියායි. එය ඒ විදහටම සිදුවුණා. එදා මා මාධ්‍ය ඉදිරියේ කිව්වේ මහින්දලා කරලා තිබෙන හොරකම් අනුව රවී කරුණානයක රලා තිබෙන්නේ ලූණු බිකක් කියායි. නමුත් මාධ්‍ය එය ගිහින් දැම්මේ රවී හොරකම් කර තිබෙන්නේ ලූණු බිකක් කියා විතරයි. එච්චරයි කතාව. යට තමයි තිබෙන්නේ ඇත්ත කතාව. මම කිව්වේ හොරකම හොරකකමයයි. මේ මාධ්‍යවේදීන් අංක ගණිතය දන්නවා. මාධ්‍යෙව්දීන් දන්නේ නැති වුණත් මාධ්‍ය අයිතිකරුවන් දන්නවා. එදා ඒ ආණ්ඩුවලින් මාධ්‍ය අයිතිකරුවන් ගත්ත වරප්‍රදාස අපි දන්නවා. එදා ආණ්ඩුවේත් මා ප්‍රබල ඇමැතිවරයෙක් ලෙස හිටියා. 2010 ජනාධිපතිවරයේ ප්‍රචාරණ කටයුතු භාර දුන්නේ මටයි විමල්ටයිත ඒ නිසා මේ පිළිබඳ අපි හොදට දන්නවා. ඒවා වූ ගනුදෙනු අපි දන්නවා. ඒ ගැන කතා කරන්න අවශ්‍ය නැහැ. මේ හොරු අල්ලන්න අපි ඕනෑම ක්‍රියාමාර්ග ගන්නවා. එජාපය තුළත් මෙය ක්‍රියාවට නැංවීමට කටයුතු කරනවා. අද අගමැතිවරයා සමඟ අපි සාකච්ඡා කළා. ඉහළ උසාවියේ නඩු පැවරීමට කටයුතුකරනවා. රාජපක්ෂලාගේ මීනිමැරුම් සොයන්න අපි ඉදිරියේදී ක්‍රියා කරනවා. කැබිනට් එකේ එක්තරා ඇමැතිවරයෙක් කියනවා මේකේ තිබෙන ව්‍යවස්ථා කරුණු වගන්ති ගැන. මම කිව්වා ඒ කෙහෙල්මල් ව්‍යවස්ථාවක් වැඩක් නැහැ කියා. මේකේ නඩු අහන්න පුළුවන්. අලුතෙන් අධිකරණ පිහිටුවන්න අවශ්‍ය නැහැ. කරන්න තිබෙන්නේ ඉහළ උසාවි දෙකක් අරගෙන දිනපතා නඩු ඇසීමට කටයුතු කරනවා. දැන් ගෝඨාභයලගේ නඩු යන්නේ කොහොමද? ලබන දෙසැම්බර්වලට යන්නේ. අනෙක් අයගේ නඩු අහන්නේ දින පතා. ගමේ එක්කෙනෙකුගේ ගල් කටස් එකක් අහුවුණාම කුදලගෙන ගිහින් කූඩුවේ දචානවා මාස හයක් විතර. ඇවන්ගාඩ් කාරයගේ ගිනිඅවි අහුවුණා ස්වංක්‍රීය ගිනි අවි 3600ක්. එයාට ඇප ලැබුණා. මොකද ඒකට යන්න තිබෙනවා නීතිපති දෙපාර්තමේන්තුට. මම කිව්වා හැම නඩුවක්ම නීතිපති දෙපාර්තමේන්තුවට යවන්න එපා. එහෙම උනොත්නේ කියන්නේ මෙච්චර ෆයිල් නැහැ කියාලා. සෑම නඩුවකම විත්තිකාරයා රිමාඩ් කලේ නීතිපතිගෙන් අහලද? මේ රටේ කෝටි ප්‍රාකෝටි ගාණක් හොරකම් කළ මදාවි හොරුන්ට උසාවි ගෙනහින් කිව්වනම් නඩු කරාතුමා මේ අය දානවා හිරේට. අද රවීට විරුද්ධව කතා කරන්නේ පට්ට හොරුයි. ඒ හොරු ගැන බලන විටත් මම කිව්වේ රවීගෙ එක ලූණ බිකක් විතරයි කියා. ඒ නිසා අපි තීන්දු කළා මේවට දැඩි පියවර ගන්න. හැබැයි ඒ තින්දු ගන්න ආණ්ඩුවට වසර දෙකක් ගියා. අදමේක සමරනවාට සතුටුයි. නමුත් ලැජ්ජයි. මොකද මේ පැත්තේ තිබෙන කරන්න තිබෙන වගන්ති බැලූ විට. මම කිව්වා අගෝස්තු මාසය තීරණාත්මකයි කියා. මම මැයි මාසෙ කිව්වා අපි විශාල වෙනසක් කරනවා කියා. මැයි දිනයට කිව්වා ලබන මැයි දිනය එන්න නම් මුන්ව ඇතුළට දාන්න ඕන කියා. මම උතුරට ගිහින් කිව්වා උතුරේ ජනතාවගේ මංකොල් කාපු ඉඩම්ටික නැවත අරන්දිලා මිසක් නැවත උතුරට එන්නේ නැහැ කියා කිව්වා. ඒ විදිහට අපි සටන ගෙන යනවා. අපිට ඡන්ද දුන්නේ දකණේ ජනතාව විතරක් නොවෙයි උතුරේ ජනතාවත් ඡන්දය දුන්නා. මම ගියා උතුරට මම ගියා නැගෙනහිරට ඒ අය අපිත් එක්ක හිටියේ. අපි ඒ ඉල්ලිම් කළ යුතුයි. මේක පංගු පේරුවට කළ එකක් නොවෙයි. තව මාසයක් දෙකක් යන විට සෑම ඉල්ලීමක්ම ඉටු කිරීමට කටයුතු කරන බව සෝභිත හිමියන්ගේ ආශිර්වාදය ඇතුව කරනවා. මේක පහසු නැහැ. ආණ්ඩුව වෙනස් වුණාට රාජ්‍ය වෙනස් වෙලා නැහැ. මුන්ගෙන් වරප්‍රසාද ගත් අය සැම තැනකම ඉන්නවා. සෝභිත හිමියන්ගේ ප්‍රාර්ථනය ජයග්‍රහනයකින් කෙළවර කිරීමට අප කටයුතු කරනවා. ලබන වසරේදී විහොරමාහා දේවිඑකේ පවත්වනේනේ මේ අය හිරේ දාලයි.

ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා ඇමැති මනෝ ගනේෂන් මහතා

අද උදේ කැබිනට් එක තිබුණා. ඉහළ අධිකරණය නඩු කඩිනමින් අසා නිම කිරිමට තීන්දු ගත්තා. නව ව්‍යවස්ථාව සම්මත කර ගැනීමටත් අපි තින්දුවකට ආවා. මේක බැහැ කියා බැහැ. අපි කවුරුත් එහිදී යෝජනා කළා. නව ව්‍යවස්ථාවේ වැඩකටයුතු අවසන් කරමින් ඉන්නවා. සැප්තැම්බර් මාසයේදී සම්මත වුණාට පසුව ජනමත විචාරණයකට යන්න පුළුවන්. පළාත් සභාව කැබිනට් එකේදී එකට තියන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකඟ වුණා. නමුත් ඔවුන් දැන් කියනවා මධ්‍යම කාරක සභාව එය ට අකමැතියි කියා. අද ජනාධිපතිවරයා සමඟ මේ පිළිබඳ අපි සාකච්ඡා කරනවා. ජනමත විචාරණයේදී 2015 අපිත් එක්ක එකතු වූ සියලු දෙනා එකතු වෙනවා. මේ ව්‍යවස්ථාව සම්මත කරගන්න පුළුවන් නම් එදාට තමයි මහින්ද නඩය කොන්වෙනවා. තනිවෙනවා. අපි ඡන්දයට ලැහැස්තියි. ඊට පෙර ප්‍රමුඛත්වය ව්‍යවස්ථාවට දිය යුතුයි. බලය බෙදීමට බය විය යුතු නැහැ. එය සම්මත කරගත්තනම් අපිට ජනමත විචාරණය දින්න පුළුවන්. එහිදි මහින්ද නඩය පරාය කරන්න අපට පුළුවන්. අපි ජනාධිපතිතුමාට මෙය යෝජනා කළා. කදුරට ජනතාව කලකිරීමෙන් ඉන්නවා. එය අවසන් කිරීමට රජය කටයුතු කළ යුතුයි. හැට දෙලක්ෂයේ ජනතා සම්මුති ව්‍යාපාරය එයට සීරුවෙනන් ඉන්නනවා.

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය ඇමැති අජිත් පී පෙරේරා මහතා

යහපාලන රජය පත්වී වසර දෙකක් ගතවී අපි පොරොන්දු ඉටු කරගැනීමට මහ මගට එන්නට සිදුවීමම දෛවයේ සරදමක් ලෙසයි මා දකින්නේ. හැට දෙලක්ෂයේ ලොකුම පංගුව හිමි එජාපය නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් හැටියට එජාපය හොරුන්ට අයිති කරගන්න දෙන්නේ නැහැ. එජාප පාක්ෂිකයින් වගේම පාට පක්ෂ නොමැතිව එකතුවී හැදූ මේ රජය හොරුන්ට අයිතිකර ගන්න දෙන්නේ නැහැ. අපිට සංඛ්‍යාව අවශ්‍ය විටක පෙන්වන්න පුළුවන්. ජනාධිපතිතුමාට අගමැතිතුමාට අපි පොරොන්දු පිළිබඳ අපි මතක් කර තිබෙනවා. හොරු ටික මිනිමරුවෝ ටික පණගහල ඇවිත් ජනතාව යටපත් කරගැනීමේ අනතුරුදායක තත්ත්වය ගැන අපි ඇතුළේ කතා කළා. එය බේරා ගැනවීමට නැවතවරක් අපි සමඟ අපේ මතය දරන එකතු වී සටන් මැදට බහින්නට තීරණය කළා. ආණ්ඩුව ජනප්‍රිය නැතිනම් පොරොන්දු ඉටු කරලා නැතිනම් මාධ්‍යම පාංතිකයින් මොන ජනමත විචාරණද මේ යථාර්තය තේරුම්ගන්නේ නැතින්ම් ජානධිපතිතුමවනි අගමැතිතුමනි අපි 2015 ලබපු ජයග්‍රහණය ඉටු කරගන්න බැහැ. අගමැතිතුමා දළදා මාළිගාවට ගිය වේලාවේ උපාසක අම්මා කෙනෙක් මොකක්ද කිව්වේ අගමැතිතුමා හොරු අල්ලන්න කියා. එය තමයි ජනතාවගේ බලාපොරොත්තුව. ඒ පොරොන්දුව අපි ඉටු කිරිමට කටයුතු කරනවා. අපේ මතවාදය එක්ක ඉදිරියට යනවා. දැනට තිබෙන අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ ඩේ ටුඩේ යටතේ නඩු අහන්න පුළුවන්. අඹේපිටිය ඝාතන නඩුව ඇහුවේ මාස අටකින් මේ විදිහටයි. කාටවත් බලපෑම් කරන්න උවමනා නැහැ. නීතියේ ක්‍රියාපටිපාටිය අනුව මේ හොරුන්ට දඩුවම් ලබාදෙන්න ශක්තිමත් නීතියක් තිබෙනවා. මහාධිකරණ නඩුවක් අසා අවසන් කරන්න වසර දහයක් යන බව කළ සමීක්ෂණයෙන් හෙළිවී තිබෙනවා. ඒ අනුව මේ හොරුටික තවත් ඉන්නවා. මේ නඩු අහන්න අකමැකති කොටස් ඉන්නවා. එකක් විත්තිකරුවෝ. අනෙක් කොටස ඔවුන්ගේ මිතුරන්. ඒ අය කැමැති නැහැ මේ නඩු වේගයෙන් අහන්න. ඒ අය රෑට රෑට තමන්ගේ දේශපාලන ව්‍යාපෘති කරගෙන යනවා. එජාපය හොරකමට විරුද්ධයි. අපේ ආණ්ඩුව ඇතුලේ හොකකම් කරන කෙනෙක් ඉන්නවා නම් ඌවත් අපි ඒ අධිකරණයට දාලා දඩුවම් දෙනවා. එය නොදන්න ඇමැතිවරු අපිත් එක්කත් ඉන්නවා. අපි මේ ලැස්තුව ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා. ඉදිරි වසර තුන හරහා අපි මෙය ක්‍රියාත්මක කරනවා. මේ ආණ්ඩුව වට්ටන්න බැහැ. ඒ නිසා බලාපොරොත්තු සහගතව අපි සටන් කරමු.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කතිකාචාර්ය දඹර අමිල හිමි

ජනවාරි 08 වැනිදා හා ඊට පෙර තිබුණු තත්ත්වයට සාපෙක්ෂ්වයි අපි අපේ සාකච්ඡාව කළ යුතුයි. ඒ වෙනස නොකළනම් අද තත්ත්වය මොකද වෙන්නේ. ණයබර තත්ත්වය. ඒ සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා මර්දනය කරන ක්‍රියාමාර්ග කොහොම වෙයිද? ජාත්‍යන්තර වශයෙන් රට කර තිබූ තත්ත්තය කොහොමද? බොදුබල සේනාව හදලා මුසල්මි හා සිංහල ජනතාව අතර ගැටුමක් ඇති කරලා තිබුණා. වසර තිහක් තිස්සේ බොරු යුද්ධයකට පටලවා තිබුණා වගේ සමන්තුරේ කල්මුනේ පැත්තෙන් යුද්ධයකට මුහුණ දෙන්න වෙනවා. දේශපාලන පක්ෂ කැඩුවා. සියම් නිකාය බෙදනවා කියා තර්ජනය කළා. ජනවාරි 08 පෙර තිබූ තත්ත්වය ඒක. හොකරම් කිරිමේ සීමාවක් නැහැ. මුළු පවුලම රටේ සම්පත් හොකරම් කළා. තොඟ සහ සිල්ලරට. ජනවාරි 08 වැනිදාට පෙර තිබුණ ත්ත්ත්වය ඒක. හැට දෙලක්ෂයක ජනතා ආඩම්රඩයට පත් වෙනවා. වෙන්න ගිය විනාශය නතර කර ගැනීම සම්බන්ධව. ඒ දෛර්යයේ හිටගෙන තමයි අපි අද ඉතිරි බාගය ජයග්‍රහණය කිරීමේ සටනට දිරිදෙන්නේ. දෙකට තුනට නැවිල නෙවෙයි ඊළඟ සටන කරගන්න ඕන. මහින්ද රාජපක්ෂ ඇතුළු ඒකබද්ධ විපක්ෂය මහ දවල් හොරකම් කළා. මිනීමරුවා. ඔවුන්ගේ හෘද සාක්ෂිය දන්නවා. ඒවා සොයා ගන්න ප්‍රමාද වුණත් ඒවායින් ගැලවෙන්න විදිහක් නැහැ කියා ඔවුන් දන්නවා. ඒ නිසා තමයි නුවර ඉදන් පාගමන් තියන්නේ. පාර්ලිමේන්තු වර්ජන කරන්නේ. නිකායන් මූලස්ථාන වලින් නිවේදන නිකුත් කරන්නේ ඒවායින් බේරිමටයි. දඩුවමින් බේරීමටයි අටමඟිල් අටවන්නේ. ඒ නිසා ආණ්ඩුව ආරක්ෂාකාරී පියවර ගත යුතු නැහැ. දැන් යා යුත්තේ හඹාගොස් පහරදීමේ මෙහෙයුමටයි. ඒ සඳහා සූදානම් විය යුතුයි. මහජනතාවගේ රතු කට්ට පැනලා තිබෙනවා. ඒකාබද්ධ විපක්ෂයේ කූට වැඩපිළිවෙළට යටනොවී අපරාධකතරුවන් අත්අඩංගුවට ගන්න. බිය වන්න එපා. හැට දෙලස්කෂය ඔබ සමගයි. මහ රජා කියා කූටාප්ප්‍රාප්ත කර තිබූ කෙනා මේ ජනතාවගේ එක පෑන් ඉරෙන් දෙගර යැව්වේ. අපිටත් පුළුවන් විනාඩි කිහිපයකින් කොළඹට ජනතාව ගෙන්වන්න. ඒ නිසා අපි කියන්නේ විශේෂ අධිකරණයක් පත් කරනු. එයට අමුතු දෙයක් කරන්න නැහැ. දිවා රාත්‍රී නඩු ඇසුවත් කමක් නැහැ. අපි සාදු නද දෙනවා. ඒ මහා දැවැවන්ත පූජාවට්ටියට අතගහනවා. මෙයට පරිපූරක ඇස්තමේන්තු අවශ්‍ය නැහැ. ඒ නිසා ජනාධිපතිතුමාට අගමැතිතුමාට අපි කියනවා කොන්ද කෙලින් කරගෙන ජින්තු ටිකක් දාගන්න. අපිටත් භාවන කරන්න වේලාවක් ලබාදෙන්න. මේ මෙහෙයුම ඉක්මනින් අවසන් කරන්න. එය සියලුදෙනාට එකඟයි. එසේ නොවන්නේ නම් හැට දෙලක්ෂයක් ජනයා සීරුවෙන් ඉන්නවා. තමන්ගේ පක්ෂ ගැන හිතහිතා ඉන්න එපා. ජනවාරි 08 වැනිදා ඡන්දය දුන්නේ පක්ෂ ගොඩනගන්න නොවෙයි. මේ ක්‍රියාවලිය අවසන් වුණාට පසුව පුළුවන් පක්ෂ ගොඩනගන්න.

ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ සී වැලිඅමුණ මහතා

සිවිල් හඩ පාගගෙන මතුවන අන්තවාදි පිස්සු බල්ලන්ට ඉහළට අවස්ථාවක් ලබාදිය යුතු නැහැ. ජනවාරි 08 වැනිදා සියළුදෙනා අපෙක්ෂා කළේ ජාතිවාදයෙන් තොර ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක්. අනෙක දූෂිතයින්ට දඩුවම් ලබාදිය යුතුයි කියා මතයක් තිබෙනවා. සෑම පක්ෂයකම දූෂිතයින්ට දඩුවම් ලබාදිය යුතුයි. රටේ ධනය කෙලකෝටි ගණන් නැති වුණේ රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලයේයි. ඒ අපරාධ සොයා බැලිය යුතුයි. එම විමර්හනයට සහයෝගය දීමත් කඩිනම් කිරිමත් අවශ්‍යයි. ලක්ෂ හැට දෙකක කණ්ඩායම එක තැනක නැහැ. එය අඩු වැඩි වෙන්න පුළුවන්. නමුත් මේ ලක්ෂ හැට දෙකම ප්‍රාර්ථනා කළේ සමාජ සාධාරණයයි.

සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ වෘත්තිය සමිති ව්‍යාපාරයේ සමන් රත්නප්‍රිය මහතා –

වර්තමාන ආණ්ඩුවට අපි බල කරනවා මැතිවරණවලදි දුන් පොරොන්දු ඉටු කරන්න කියා. මේ සත්‍යග්‍රහයේ අරමුන එයයි. යහපාලනය ගෙන්න කියන බලකීරීමයි මේ. ආණ්ඩුව යම් දෙයක් කළා. 19 වැනි සංශෝධනය ගෙනවා. තොරතුරු පනත ගේනවා. ඖෂධ මිල අඩු කළා. බඩුමිල පහත දැම්මා. විධාකයේ බලය අඩු කළා. සැලකිය යුතු දෙයක් කර තිබෙනවා. නමුත් ආණ්ඩුවට තවත් දෙයක් කරන්න තිබෙනවා. අපරාධ පිළිබඳ සොයන එක වේගය අඩු වෙලා තිබෙනවා. මේ රටේ ජනතාව ඉල්ලුවේ හොරු ඝාතකයෝ අල්ලන්න කියා. අද ඩේසි ආච්චිගෙ මැණික් මල්ල ගැන කතා කරනවා. අවසානයක් නැහැ. මාතර ඉඩම ගැන කතා කරනවා. මල්වානේ නිවස ගැන කතා කරනවා. නමුත් අවසානයක් නැහැ. මෙතන වැලිකඩ බන්ධනාගරයේ හිරකරුවෝ මැරුවා තවම පරීක්ෂණ නැහැ. රතුපස්වල මින්සුස මැරුවා. හලාවත ඇන්ටනි මැරුවා. කටුණායක රොෂේන් මැරුවා. ඒ අයට සාධාරණය ඉටු කරන්න. තාජුඩීන් ඝාතනය කළා ඒ මැරූ අය අල්ලගත්තේ නැහැ. රවී ඉල්ලා අස්සුනා. තිලක් මාරපන අස්සුනා. නමුත් මහදවල් මංකොල්ල කාපු අය තවමත් ලැජ්ජාවක් නැතිව මන්ත්‍රීකම්වල ඉන්නවා. ආණ්ඩුව හොඳ දේවල් කළාට අපි බලාපොරොත්තු වූ දේවල කරලා නැහැ. මේ අපරාධ සෙවීමට ප්‍රමුඛතාව ලබාදෙන්න.

මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන ජයම්පති වික්‍රමරත්න, ආශු මාරසිංහ, වික්‍රමබාහු කරුණාරත්න, අසාද් සාලි, ගාමිණි වියන්ගොඩ මහත්වරුඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නිරෝෂ් බටේපොළ
www.dinamina.lk