අද දිනයේ මැතිවරණ කොමිසම රැස්වීමට නියමිත බව එහි සභාපති මහින්ද දේශප්‍රිය ‘සන්ඩේ ඔබ්සර්වර්’ පුවත්පතට ප්‍රකාශකර තිබුනද ‘ද ලීඩර්’ වෙත වාර්තා වන්නේ මහින්ද දේශප්‍රිය අබාධයකට ලක්වී නිවසට වී ප්‍රතිකාර ලබන හෙයින් අද දිනයේ කොමිසමේ සාකච්ජාව බොහෝදුරට අවලංගුවීමට ඉඩ ඇති බවයි.
රාජපක්ෂ පවුලේ සාමාජිකයන් පිරිසකගේ නම් ශ්‍රී ලාංකික පුරවැසිභාවය නොමැතිව 2005 ජනාධිපතිවරණයේදී ඡන්දහිමි නාමලේඛනයට ඇතුළත් කිරීම පිළිබඳව පරීක්ෂණයක් කරන ලෙස ලසන්න රුහුණගේ සිය පැමිණිල්ලෙන් ඉල්ලා තිබිණ.
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය වෙත එම පැමිණල්ල කර ඇත්තේ අගෝස්තු 13 වැනිදාය. පැමිණිල්ලෙහි පිටපත් මැතිවරණ කොමිසමේ අනෙක් සාමාජිකයන් දෙදෙනා වන මහාචාර්ය එස්. රත්නජීවන් හූල්, ජනාධිපති නීතිඥ එන්.ජේ. අබේසේකර මහත්වරුන්ටද යොමුකර තිබේ.
ඇමරිකානු රාජපක්ෂවරුත් ඡන්ද හිමි නාමලේඛනයේ !
මැතිවරණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයට පත්කර ඇති 2005 වර්ෂයට අදාළ ඡන්ද හිමි නාමලේඛනයේ මුල්කිරිගල මැතිවරණ කොට්ඨාසයේ වීරකැටිය මැදමුලන ප්‍රදේශයේ අංක 114 ලිපිනය යටතේ ශ්‍රී ලංකා පුරවැසියන් නොවන පිරිසක් ඡන්ද හිමියන් වශයෙන් ලියාපදිංචි වී ඇති බව එම පැමිණිල්ලෙන් පෙන්වා දී ඇත.
පි123 අංකය යටතේ රාජපක්ෂ නන්දසේන ගෝඨාභය, ගැ131 අංකයෙන් රාජපක්ෂ අයෝමි, ගැ132න් රාජපක්ෂ පුෂ්පා, පි133න් රාජපක්ෂ ඩඩ්ලි පියසිරි, පි139න් රාජපක්ෂ බැසිල් රෝහණ යන ශ්‍රී ලංකා පුරවැසියන් නොවන පිරිසකගේ නම් ඡන්දහිමි නාමලේඛනයට ඇතුළත් කර තිබෙන බව එම පැමිණිල්ලෙන් පෙන්වා දී ඇත.
2005 ජනාධිපතිවරණයේදී එම නම් සඳහන් ශ්‍රී ලංකා පුරවැසියන් නොවන පිරිස ඡන්දය භාවිතා කළාද නැද්ද යන්න පිළිබඳ පරීක්ෂණයක් කරන ලෙසත්, හිමිකමක් නොමැති ඡන්ද භාවිතා කිරීමක් කර ඇත්නම් එම අයට විරුද්ධව ගත හැකි පියවර ගන්නා ලෙසත් එම පැමිණිල්ලෙන් ඉල්ලා ඇත.
මෙලෙස ඡන්දහිමි නාමලේඛනයට නම් ඇතුළත් කරන්නේ නිවෙසක ගෘහමූලිකයා සම්පූර්ණකොට ග්‍රාම නිලධාරී වෙත බාරදෙන තොරතුරු අනුවය. එම තොරතුරු ඇතුළත් කර, එම තොරතුරු සත්‍ය බවට අත්සන් තබන්නේ නිවෙසක ගෘහමූලිකයායි. මෙම ලිපිනයෙහි ඡන්දහිමි නාමලේඛනයේ ඉහළින් තිබෙන නම චමල් රාජපක්ෂගේය. ගෘහමූලිකයා විය යුත්තේ ඔහුය. ජනාධිපති අපේක්ෂකයෙකු වූ පර්සි මහේන්ද්‍ර රාජපක්ෂගේ නමත් එම ඡන්දහිමි නාමලේඛනයේම ඇත.
පැමිණිල්ලක් කළේ ඇයි ?
ඉරිදා පුවත්පතක නියෝජ්‍ය කර්තෘවරයෙකු මෙවැනි පැමිණිල්ලක් කිරීමට හේතුව කුමක්දැයි කෙනෙකු විමසන්නට ඉඩ තිබේ. හේතුව සරලය. එවැනි පැමිණිලි සිදු නොකොට ක්‍රියාකාරීවීමේ නොහැකියාවක් මැතිවරණ කොමිෂන් සභාව වැනි ආයතනවලට ඇත. එය මැතිවරණ කොමිෂන් සභාවට කරන චෝදනාවක් නොවේ.
ලංකාවේ බොහෝ ආයතනවල ක්‍රියාකාරීත්වය එබඳුය. මාධ්‍යවලින් හෙළිදරව්කොට සමාජයේ දැවැන්ත සාකච්ඡාවට ලක්වන මාතෘකාවක් ගැන වුව පියවර ගන්නේදැයි විමසද්දී අපට ‘ පැමිණිල්ලක්’ ලැබී නැති බව එවැනි ආයතනවලින් පිළිතුරු ලෙස ලැබෙයි. ඒ නිසා මෙම සිදුවීම ගැන වාර්තා කිරීමෙන් එහාට ගොස් පැමිණිලි කිරීමට සිදුවිය.
පැමිණිලි පාර්ශවයට අවශ්‍ය වී ඇත්තේ, රටේ බලවත් පවුලක් ඡන්ද හිමි නාමලේඛනයකට අදාළව කූඨ ලේඛන සැකසීම වැනි බරපතල සිදුවීමක් පිළිබඳව මැතිවරණ කොමිසම ගන්නා පියවර කුමක්දැයි නිරීක්ෂණය කිරීමටය.
අවුරුදු 14කට පෙර ඡන්දයකදී වූ ‘සුළු’ සිදුවීමක් ගැන අප මේ තරම් කෑගසන්නේ මන්දැයි කෙනෙකු විමසන්නට ඉඩ ඇත. එහෙත් මැතිවරණයකදී ඡන්දහිමි නාමලේඛනයට අදාළව වංචා කිරීම යනු ලෙහෙසි පහසු අපරාධයක් නොවේ. කූඨ ලේඛන සැකසීම අපරාධයකි.
විශේෂයෙන්ම රටේ අනන්‍යතාවන්ට අදාළ ලිපි ලේඛන වලදී කූඨ ලෙස ක්‍රියාකිරීම බරපතළය. තවත් බොහෝ අපරාධවල ආරම්භය වන්නේ රජයේ විවිධාකාර ලේඛන කූඨ ලෙස සකස් කිරීමයි. විවිධාකාර අනන්‍යතාවලින් කූඨ ලෙස පෙනී සිටීමයි.
මැතිවරණයකදී එකම එක ඡන්දයක් වුව අවභාවිත කර ඇත්නම් එය ගැටළුවක් බව තේරුම් ගතයුතුය. එම අවභාවිත කර ඇත්තේ ජනාධිපතිවරණ අපේක්ෂකයෙකුගේ නිවසේදී නම් එය තවත් බරපතලය. මෙවැනි සිදුවීමක් ගැන පියවර නොගතහොත්, එය ඉදිරියේදී මෙවැනි වංචාවල දහස් ගණනකට පූර්වාදර්ශයක් විය හැකිය.
මැකෝත්, ගෝඨාට බිය වේද ?
මැතිවරණ කොමිෂන් සභාව මෙම පැමිණිල්ලට අදාළව කුමන පියවරක් ගනු ඇතිදැයි බලා සිටින්නෙමු. රටේ හිටපු ජනාධිපතිවරයෙකු, කතානායකවරයෙකු, ප්‍රබල අමාත්‍යවරයෙකු, ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයෙකුව සිට ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන බව කියන පුද්ගලයෙකු පදිංචිව සිටි පවුලක් වන නිසා එම පුද්ගලයන් නීතිය කැඩීම ගැන පියවර නොගැනීවිදැයි අප දන්නේ නැත.
ලංකාවේ ප්‍රධාන පෙළේ ආයතන බොහෝමයක්, රටේ අනෙකුත් පුරවැසියන්ට වඩා වෙනස් ලෙස රාජපක්ෂ පවුලට සලකන ආකාරය අපි දැක ඇත්තෙමු. මැතිවරණ කොමිසමේ ප්‍රතිපත්තියත් එයම දැයි අපට නිරීක්ෂණය කළ හැකිය.
ස්වාධීන ආයතනයක් වන මැතිවරණ කොමිෂන් සභාව රාජපක්ෂ පවුල නම් ලංකාවේ බලවත්ම පවුල ඉදිරියේ නිහඬව සිටිනු ඇතිදැයි අප දන්නේ නැත. කෙසේ වෙතත් මැතිවරණ කොමිෂන් සභාවේ ක්‍රියාකාරීත්වය මැනගැනීමට අවස්ථාවක් අප ඉදිරියේදී ඇත.
මැතිවරණ කොමිසම මේ සම්බන්ධයෙන් කුමන හෝ පියවරක් ගෙන කුමක් හෝ පිළිතුරක් ලබා දුනහොත්, ඒ ගැන ප්‍රජාතන්ත්‍රවාදය ගැන පතන පුද්ගලයන්ට සෑහීමට පත්විය නොහැක. මේ අපරාධයේ බරපතළකම ගැන කොමිසම තේරුම්ගත යුතුය. ඔවුන් අලස හා මන්දගාමී ලෙස ක්‍රියාකරනු ඇතිද, වේගවත්ව ක්‍රියාකරනු ඇතිද යන්න නිරීක්ෂණය කිරීම වැදගත්ය. නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත්පට්ටියක් ඉල්ලනු ඇතිද කියාත් නිරීක්ෂණය කිරීම වැදගත්ය.
ඉන්පසුව එය කොමිෂන් සභා සාමාජිකයන් අතර සාකච්ඡාවට ලක්කොට ගන්නා පියවර ගැන සාකච්ඡා කරන බව ඔහු කීය. බෝලය ඇත්තේ කොමසම අතේය. එයට කෙලෙස ප්‍රතිප්‍රහාර දෙනු ඇතිදැයි අපි බලා සිටින්නෙමු.
(උපුටා ගැනීම් – තරිඳු උඩුවරගෙදර)