රිමාන්ඩ් කළ හිටපු ඇමති චම්පික විශේෂ සිරමැදිරියක: අද යළි අධිකරණයට!

0
86
අධිකරණ නියෝගයක් මත ඊයේ (18) රාත්‍රීයේ රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මේ වනවිට කොළඹ මැගසින් බන්ධනාගාරයේ රඳවනු ලැබ සිටියි.

බන්ධනාගාර ආරංචි පැවසුවේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ විශේෂ සිරමැදිරියක නිලධාරියෙකුගේ විශේෂ ආරක්‍ෂාවද යටතේ හිටපු අමාත්‍යවරයා රඳවනු ලැබ සිටින බවයි. මෙම සිරමැදිරියේ රඳවා සිටින්නේ ඔහු පමණක් බවද බන්ධනාගාර ආරංචි සඳහන් කරයි.

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී රිය අනතුරක් සිදු කර පුද්ගලයෙකුට බරපතළ තුවාල සිදු කිරීම සහ අනතුරෙන් පසු රියදුරු මාරුකර පලා යාමේ චෝදනා මත හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ඊයේ පස්වරුවේ කොළඹ අපරාධ කොට්ඨාසටය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේය.

නීතිපතිවරයාගේ උපදෙස් මත බත්තරමුල්ලේ පිහිටි නිවසේදී පාඨලී චම්පික රණවක අත්අඩංගුවට ගෙන කොළඹ අපරාධ කොට්ඨාසය වෙත රැගෙන ආවේය.

පැය දෙකක පමණ කාලයක් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ඊයේ රාත්‍රි 10.00ට පමණ ඔහු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නෙරංජලා ද සිල්වා මහත්මිය වෙත ඉදිරිපත් කරනු ලැබුවේය.

එහිදී ඇය නියෝග කළේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.

ඒ අනුව අද දිනයේදී නීතිපති දෙපාර්තමේන්තුව විසින් අදාල සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.

“පලිගැනීමේ දේශපාලනය ආරම්භ වෙලා’ – හර්ෂ කියයි

කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් පිරිස සිය නිවසට ඇතුළු වූ අවස්ථාවේ එහි රැස්ව සිටි පිරිස අමතමින් හිටපු අමාත්‍ය චම්පික රණවක පැවසුයේ, කතානායකවරයාට හෝ අධිකරණයට කිසිදු දැනුම් දීමකින් තොරව තමන් අත්අඩංගුවට ගැනීම “නීති විරෝධී” බවයි.

මේ අතර හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීම පිළිබඳව අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂයේ හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා පවසන්නේ, චම්පික රණවක මන්ත්‍රීවරයාගේ රියදුරා “නීති විරෝධී ලෙසින් අත්අඩංගුවට ගැනීමේ” උත්සහයෙන් අනතුරුව “පලිගැනීමේ දේශපාලනය ආරම්භ වී ඇති” බවය.

Harsha twite

පාඨලී වෙනුවෙන් මහ සඟරුවනත් පෙරට:

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මහා සංඝරත්නය සිය අප්‍රසාදය පළ කරති.

ඊයේ (18) රාත්‍රියේ රණවක මහතා අත්අඩංගුවට ගැනීමත් සමඟ ඒකරාශී වූ මහා සංඝරත්නය අවධාරණය කර සිටියේ කොටි ත්‍රස්තවාදීන් විසින් සිදුකරනු ලැබූ සිංහල බෞද්ධ නායකයන් විනාශ කිරීමේ වගකීම වර්තමානයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් භාරගෙන ඇති බවයි.

කොටි ත්‍රස්තවාදීන් සමග මතවාදීව අරගලයක නිරත වෙමින්, යුද හමුදාව සමග යුද බිමට යමින් සටන් කළ සැබෑ බෞද්ධ නායකයකු වන පාඨලී චම්පික රණවකව විනාශ කිරීමට කිසිවකුටත් ඉඩ නොතබන බව උන්වහන්සේලා වැඩිදුරටත් අවධාරණය කර සිටියහ.
theleader.lk