රිෂාඩ් සිරගතව සිටිමින් පොතුවිල් ප්‍රාදේශීය සභාවේ අයවැය පරදවයි. – ශ්‍රීලනිප දෙදෙනෙකුත් එක්වේ

0
169
සමස්ත ලංකා මක්කල් කොන්ග්‍රසයේ (ACMC) නායක, හිටපු අමාත්‍ය රිෂාඩ් බදුයුදීන්
රිමාන්ඩ් බන්ධනාගතව සිටිමින් ම පොතුවිල් ප්‍රාදේශීය සභාවේ අයවැය පරාජය කිරීමට මැදිහත්ව ඇතැයි වාර්තාවේ.
පොතුවිල් ප්‍රාදේශීය සභාවේ සමස්ත මන්ත්‍රීවරුන් ගණන 21ක් වන අතර සභාපතිවරයා විසින් අද (18) ඉදිරිපත් කළ අයවැයට එරෙහිව මන්ත්‍රීවරුන් 11 දෙනෙකු ඡන්දය ප්‍රකාශකර ඇත.
කොට්ඨාස සීමා නිර්ණයෙන් පසු 2018 පැවැත් වූ පළාත් පාලන මැතිවරණයේ දී පොතුවිල් ප්‍රාදේශීය සභාවේ සභික ධුර සංඛ්‍යාව විසි එකක් විය. එය තිබුණට වඩා සභිකයන් 12ක වැඩිවීමකි.
කොට්ඨාස අනුව 2018දී පැවැත් වූ පළාත් පාලන මැතිවරණයේදී  ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සමග ඉදිරිපත් වූ  එක්සත් ජාතික පක්‍ෂයට සභිකයන් 6ක් ද, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට සභිකයන් 5ක් ද, ඉලංකෙයි තමිල් අරසුකච්චි (TNA ) සඳහා සභිකයන් 3ක් ද, රිෂාඩ් බදියුදීන්ගේ සමස්ත ලංකා මක්කල් කොන්ග්‍රස් සඳහා සභිකයන් 4ක් ද, ගජේන්ද්‍රන් පොන්නම්බලම් නායකත්වය දරන අහිල ඉලංකෙයි තමිල් කොන්ග්‍රස් සඳහා සභිකයන් 1ක් ද, ජනතා විමුක්ති පෙරමුණට සභිකයන් 1ක් ද, ස්වාධීන කණ්ඩායමකට සභිකයන් 1ක් ද ලෙස නියෝජිතයෝ තේරී පත්වූහ.
මැතිවරණ එකඟතාව කඩමින් …
එම මැතිවරණයේදී ඇතිකර ගත් එකඟතාවය මත අම්පාර දිස්ත්‍රීක්කයේ නින්දවූර් හා සමන්තුරේ පළාත්පාලන ආයතනවල සභාපති ධුර සමස්ත ලංකා මක්කල් කොන්ග්‍රසය වෙත ලබාදීමටත් පොතුවිල් ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබාදීමටත් එකඟත්වයක් තිබුනද දෙමල ජාතික සන්ධානයේ සහය එජාපය වෙත හිමිවීමත් සමග පොතුවිල් ප්‍රාදේශීය සභාවේ බලය එක්සත් ජාතික පක්‍ෂයට හිමිවිය.
ඒ අනුව සභාපති ධුරයට පත්වුයේ ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ ඒ.එස්. අබ්දුල් බාසික්ය.
කෙසේවුවද ඔහුට එරෙහිව දිගින් දිගටම වංචා දුෂණ චෝදනා එල්ල වී තිබු අතර ඒ සම්බන්ධයෙන් ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ අත්සනින් යුතුව නැගෙනහිර ආණ්ඩුකාරිය වෙත පසුගිය දා පෙත්සමක් ද යොමුකර තිබිණ.
එම තත්වය යටතේ අද (18) පෙරවරුවේ පැවති පොතුවිල් ප්‍රාදේශීය සභාවේ අයවැය ඡන්ද විමසීමේදී රිෂාඩ් බදියුදීන්ගේ පක්ෂයේ මන්ත්‍රීවරුන් 04 දෙනාත්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු, ගජේන්ද්‍රන් පොන්නම්බලම් ගේ පක්ෂයේ මන්ත්‍රීවරයා හා  ජවිපෙ මන්ත්‍රීවරයා ද ස්වාධින මන්ත්‍රීවරයා ද අයවැයට එරෙහිව ඡන්දය ප්‍රකාශකර ඇත.
බැසිල්ට සහය දුන් මුෂාරෆ් ගේ වැඩක් !
අප වෙත වාර්තා වන පරිදි, අයවැය පරාජය කිරීමේ මෙම මෙහෙයුම සංවිධානයකර ඇත්තේ සමස්ත ලංකා මක්කල් කොන්ග්‍රසයේ දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ මන්ත්‍රී එස් එම් එම් මුෂාරෆ් ය.
ඒ සඳහා එම ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී එම්.එස්. අන්වර් සදාත් විශාල කාර්යභාරයක් ඉටුකර ඇතයි වාර්තාවේ.
අද දිනයේ මෙසේ අයවැය ඡන්දය පරාජය කිරීමට මැදිහත් වූ  එස් එම් එම් මුෂාරෆ්  පසුගිය දා ආන්දෝලනාත්මක චරිතයක් බවට පත්වුයේ, විසිවන සංශෝධනයට අදාලව පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයන්ට මැතිවරණ සඳහා ඉදිරිපත්වීමට අවසර ලැබෙන වගන්තියට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම නිසාය.
බැසිල් රාජපක්ෂ යනු රාජපක්ෂ පවුලේ සිටින සියලු ජන කොටස් සමග සංහිඳියාවෙන් කටයුතු කරන පුද්ගලයකු බවත්,  ඔහු පාර්ලිමේන්තු පැමිණීමෙන් කිසිවෙකුට හානියක් නොවන බව තමා සිතන බවත් එහෙයින් තමා ස්වාධීනව මෙම තීන්දුව ගත් බවත් හෙතෙම පසුව මාධ්‍ය වෙත කියා සිටියේය.