රුක්මණී දේවි මිය ගොස් වසර 34 සපිරෙද්දී , කඩා දැමු ස්මාරකය තවමත් එලෙසමයි.

0
506

හෙලයේ මහා ගීත කෝකිලාවිය ලෙසද එලෙසම  අග්‍රගන්‍ය සිනමා නිළියක් ලෙසද නොමද ජනතා ගෞරවාදරයට  පාත්‍රවු  වූ රුක්මණිදේවිය මියගොස් පසුගි්ය ඔක්තෝබර් මස 28 වැනි ඉරු දිනට වසර 34 ක් සපිරුණි.

එලෙසම පසුගිය වසරේ අගෝස්තු 12 වැනි දින මීගමුව මහ නගර සභා ප්‍රධාන සුසාන භූමියේ පිහිටි රුක්මනීදේවියගේ සිරුර භූමදානය කර තිබෙන ස්මාරකය කඩා බිද දමා තිබිණි. එම ස්මාරකය නීති විරෝධීව එලෙස කඩා බිද දමා තිබුනේ මීගමුවේ හිටපු නගරාධිපතිවරයෙකු සහ පාර්ලිමේන්තු මන්ති‍්‍රවරයෙකු වු ආනන්ද මුණසිංහ නැමැත්තා ඇතුළු පුද්ගලයින් 07 දෙනෙකි. එහිදී ආනන්ද මුණසිංහ නැමැත්තා ප්‍රකාශ කර තිබුනේ එම ස්මාරකය පිහිටි  භූමි කොටස ඔහුගේ බිරිදගේ පවුලට නීත්‍යානුකූලව අයත් බවත් , ඔහුගේ බිරිදගේ පවුලේ සමාජිකයන් දෙදෙනෙකු මිය යාමට සිටින බවත් ඒ අනුව ඔවුන් මිය ගිය පසු ව ඔවුන්ව භූමදානය කිරීමට මේ භුමි කොටස අවශ්‍ය නිසා මෙලෙස මෙම ස්මාරකය කඩා බිද දැමු බවයි.

කෙසේ වෙතත් මීගමුව පොලිසිය විසින් ආනනන්ද මුණසිංහ ඇතුළු පිරිසට විරුද්ධව නඩු පැවරූ අතර එහිදී පසුගිය වසරේ අගෝස්තු 15 දින අධිකරණය විසින් නියම කර තිබුනේ රුක්මණිදේවියගේ ස්මාරකය යලි ඉදිකිරිමට එම ස්මාරකය තැනූ රුක්මණිදේවී සංසදයට රුපියල් ලක්ෂ 05 ක වන්දියක් ගෙවන ලෙසයි.

ඒ අනුව අධිකරනය තීන්දු කල එම රුපියල් ලක්ෂ 05 ක වන්දි මුදල ලබා ගැනුනේ රුක්මණි දේවි සංසදයේ අධ්‍යක්ෂිකා ශිරානි අමලා දිසානායක නැමැති රුක්මණි දේවියගේ ගීත ගයනා කරන තැනැත්තියක් විසිනි. එම වන්දි මුදල ලබා ගැනීමේ අවස්ථාවට එම සංසදයේ ලේකම් ලෙස කොපිකඬේ කුරුංගුරුං හෙවත් කේ.. පියකරු නැමැත්තාද සහභාගී විය. එලෙසම එම සංසදයේ සමජිකයෙකු වන අර්නස්ට් සොයිසා නැමැති ප්‍රකට  ගිටාර් වාදන ශිල්පියාද සහභාගී විය.

එහිදී මෙම සංසදයේ මේ තිදෙනාම ප්‍රකාශ  කලේ රුක්මණිදේවිය මිය ගොස් වසර 33ක් සැමරීම සදහා පසුගිය වසරේ ඔක්තෝබර් 28 වැනි දිනට කලින් එම ස්මාරකය කෙසේ හෝ යලි ගොඩනංවන බවයි. එහෙත් මේ වන විට වසරකටත් වැඩි කාලයක් ඉක්ම ගොස් තිබේ. රුක්මණිදේවිය මිය ගොස් 34 වැනි වසරද පසුගියාදා සැමරනු ලැබුවත් ආනන්ද මුණසිංහ ඇතුළු පිරිස කඩා බිද දැමු ආකාරයටම ස්මාරකය තවමත් එලෙසම පවතී. එහි කිසිම අ`ඵත්වැඩියාවකට මෙතෙක් කිසිවෙක් මුල පුරා නොතිබීම ඇත්තෙන්ම කනගාටුවට කරුණකි.