රෝගී ධීවරයෙකු බේරාගැනීමේ නාවික හමුදා මෙහෙයුම ගැන හිමිකරු කියන කථාව !

0
136

IMG-20190822-WA0048IMG-20190822-WA0047මුහුදේදී  සිදුවන  ආපදාවන්  බොහෝයැයි  අප  මුහුදු  රැකියාවේ  යෙදෙන  ධීවරයින්ගෙන්  අසා  ඇත්තෙමු.  සමහර විට   එය  ජීවිතයත්  මරණයත්  අතර  සටනක්ය.  සමහර  අය  රෝගීවී  මරණයට  පත්වුවහොත්  එම  මලසිරුර  මුහුදට  දමනවා  හැරෙන්නට  වෙන  විකල්පයක්  නැති බව  මේ  ගැන  අත්දැකීම්  ඇති  ධීවරයින්  අප  සමඟ  පවසා  ඇත. ඒ  නිසා  මෙවැනි  අවස්ථාවක   ජීවිතය  බේරාගැනීමට  හැකිවීම  ලොකු  වාසනාවක්  යැයි  ඔවුන්  පවසති.   එසේ  දිවිබේරා  ගත්  අයෙකුගේ  මේ  කතාව  අපට  පැවසුවේ  මුහුදු  ගිය  මඩුකුමාරි -7  නම්වූ  බෝට්ටුවේ  හිමිකරු  වන  මයිකල්  මහතාය.

IF

රැකියාවට  යාම  සඳහා  මීගමුවේ  නැංගුරම්ලා  ඇති   මඩුකුමාරි  -7  බෝට්ටුව    ජුලි  24 වන දින  සූදානම්  කරමින්  තිබිණ.  ස්කීපර්  ඇතුළු  බෝට්ටුවේ  යන   අනෙක්  6දෙනා    26  වනදා  තෙක්   බෝට්ටුවට  අවශ්‍ය  බඩු සහ  වෙනත්  උපකරණ  පටවා  ගන්නා  ලදී.  26 වනදා  සවස  4.00ට  පමණ   බෝට්ටුව  තම  මුහුදු  ගමන  ආරම්භ  කරන  ලදී.  පරක්  තෙරක්  නොපෙනෙන  ඉන්දියන්  සාගරයේ  අක්ෂාංශ  77-  79  පෙන්නුම්  කරන  ස්ථානයේදී කුමාර  නම්වූ  බෝට්ටුවේ  ස්කීපර්ගේ  කකුලේ  සෑදී  තිබුනු  තුවාලයකට  විෂබීජ  ඇතුල්වීමෙන්   ඔහු  ඉවසාගත නොහැකි  වේදනාවකින්  පසුවිය.  පසුව  කකුල   ඉදිමෙන්නට විය.  දැඩි  අපහසුතාවයට  පත්වූ  ඔහු  මුත්‍රා  කරනවිට  ලේ  මිශ්‍රවී  තිබිණ.

ඒ  නිසා  ගොඩට  එන  වෙනත්  බෝට්ටුවකින්  ඔහුව  රැගෙන ඒමට  උත්සාහ  කරන ලදී.  නමුත්  කාලය  ප්‍රමාණවත් නැත. තත්වය  ඉතා  බරපතලය.  මේ  අනුව  මීගමුව  පනිවිඩහුවමාරු  මධ්‍යස්ථානයට   මෙම  පනිවිඩය  ලැබී   අගෝස්තු   14 වන දින  එම  පනිවිඩය  අපට  ලැබින.  ඔවුන්  ප්‍රකාශකළේ   රෝගියා  රැගෙන ඒමට  දින  3ක්  යන බවයි.  මීගමුව  පනිවිඩ  මධ්‍යස්ථානයෙන්  වරායටත්,    එතනින්  නාවික හමුදා  මූලස්ථානයටත්  දැනුම් දෙන  ලදී.    රෝගියා  රැගෙන එන  බෝට්ටුවේ  විස්තර  අපෙන්  අසා  දැනගත්  ඔවුන්   රෝගියා  බේරා ගැනීමේ  කටයුත්තට   නාවික  හමුදාවේ  ගජබා  නැව  සූදානම් කළා.  මුහුදේ  පැවති  සුළං  සැර  නිසා  ඉක්මණින්  ගමන් කිරීමේ  අපහසුතාවයක්  තිබුනු  නමුත්  ඔවුන්  ගමනට  පිටත්වුනේ   බෝට්ටුව  ගමන්කරන  දිසාව  ආදිය  නිවැරදිව  හඳුනා  ගනිමින්.  මේ  වනවිට  රෝගීවූ  ධීවරයා  රැගත්  බෝට්ටුව  නාවික  සැතපුම්  200ක  දුරක  සිටි  අතර කෙසේ  හෝ    ගජබා  නැව  ඒ  අසලට  පැමිණී  තිබිණ.  නැවට  ඒ  ආසන්නයට  යා  නොහැකි බැවින්  කුඩා  බෝට්ටුවක්  ඒ  සඳහා  යොදා ගත්  අතර  මේ  ආකාරයෙන්  කුඩා  බෝට්ටුවට  නංවා  ගත්  රෝගියා  නැවත  නැවට  නංවා  ගනිමින්  ඉක්මණින්ම  ගාල්ල    කරාපිටිය  රෝහලට  රැගෙන  එන  ලදී..  එහි  ප්‍රතිකාර  කිරීමෙන්  පසුව  මීගමුව  රෝහලටත්  නැවත   මාරවිල  රෝහලටත්  මාරුකරමින්  ප්‍රතිකාර  කරමින්  ඔහුගේ  ජීවිතය  බේරා ගැනීමට  හැකිවිය.

මේ  පිළිබඳව   අපට  වාර්ථා කළ  මෙම  මඩුකුමාරි  බෝට්ටුවේ  හිමිකරු වන  මයිකල්  මහතා  ප්‍රකාශ  කළේ  ගජබා  නැවෙන්  කරන ලද  මෙම  මෙහෙයුම   කිසිදා  අමතක  කළ  නොහැකි  එකක් බවය.   මේ  අවස්ථාවේ  ඔවුන්  මගහැර  සිටියේ නම්  මෙම  ධීවරයාගේ  ජීවිතය  අවසන්  වන  අතර  ඒ  නිසාම  දරුපවුලක්ද  අනාථවන බවය.  මෙය  වචනයෙන්  විස්තර  කළ  නොහැකි  උපකාරයක්  බව  ඔහු  පවසයි.  මෙකී  කතාව  ඇසූ  අපටද  නාවික  හමුදාවේ  මෙම  සත්ක්‍රියාව  ගැන  මෙවැනි  සටහනක්  තැබීම  වැදගත්  යැයි  හැඟින.  ඒ නිසා  මෙම  කටයුත්තට  දායකවූ  නාවික  හමුදාවේ  සියළු  දෙනාට  අපගේද  හදපිරි  ස්තුතිය  පිරිනමමු.