රෝෂේන් චානකගේ මරණයේ සැකකරුවන්ගේ ඇප අයදුම සලකා බැලීම ජුලි 26 වැනි දිනට කල් තැබේ.

0
121

රජය විසින් යෝජනා කල  පෞද්ගලික  අංශයේ විශ‍්‍රාම වැටුප් ක‍්‍රමයට එරෙහිව පසුගිය මැයි 30 වැනි දින කටුනායකදී  පැවති උද්ඝෝෂනය අවස්ථාවේදී පොලිස් වෙඩි පහරින් මරුමුවට පත් වෙළද කලාප සේවක රෝෂේන් චානකගේ මරණයට සැක පිට දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති පොලිස් නිලධාරීන් දෙදෙනාගේ ඇප ඉල්ලීම සලකා බැලීම පසුගිය පසුගිය ජුලි 19 වැනි දින මීගමුව මහාධිකරණයේදී පැවැත්විණි .
එහිදී දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති මෙම මරණයේ ප‍්‍රධාන සැකකරුවන් දෙදෙනා වන සීදුව පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.එම්. රත්නායක සහ එහි පරිසර ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්.පී.කේ.එල්. රණසිංහ යන නිලධාරින් මෙදින මීගමුව
මහාධිකරණයට පැමිණ තිබිනි. මෙම සිදුවිමේ පැමිනිලි පාර්ශවයේ රජයේ අධිනීතිඥවරයා මෙදින මහාධිකරණයට නොපැමිනි සිටියේය. මීගමුව, මහාධිකරන විනිසුරුවරයා විසින් මෙම සැකකරුවන් දෙදෙනාගේ ඇප ඉල්ලිමේ අයදුම්පත සලකා බැලීම ලබන ජුලි 26 වැනි දින දක්වා කල් තබන ලදී.
මෙලෙස මෙම සැකකරුවන් දෙදෙනා තම ඇප අයදුම් පත් සලකා බැලීම සදහා මහාධිකරණයට යොමු කර තිබුනේ පසුගිය ජුලි 11 වැනි දින මීගමුව මහේස්ත‍්‍රාත් අධිකරණයේදී පැවති නඩු විභාගයකින් අනතුරුවයි. එදින මීගමුව මහේස්ත‍්‍රාත් අධිකරණයේදී පැවති මිය ගිය රෝෂේන් චානකගේ මරණ පරීක්ෂනයේ එම නඩු වාරය අතරවාරයේදී මෙම සැකකරුවන් දෙදෙනා තමන්ට ඇප ලබා දෙන ලෙස මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබිනි. එහිදී මීගමුව ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ඒ.එම්.එන්.පී. අමරසිංහ මහතා විසින් දැනුම් දී තිබුනේ අදාල සැකකරුවන් දෙදෙනාට ඇප ලබා ගැනීම කෙරෙහි සලකා බැලීමට එම ඇප අයදුම් පත මහාධිකරණයට යොමු කරන ලෙසටයි.