රෝෂේන් චානක මරණයේ සැකකරුවන්ගේ ඇප අයදුම සලකා බැලීම නැවත අගෝස්තු 17 ට කල් යයි.

0
69

පෞද්ගලික විශ‍්‍රාම වැටුප් ක‍්‍රමයට එරෙහිව  කටුනායක පැවති උද්ඝෝෂනයේදී පොලිසිය තැබූ වෙඩි පහරකින් මිය ගිය වෙළ`ද කලාප සේවක රෝෂේන් චානක ගේ මරණයට සම්බන්ධ සැකකාර පොලිස් නිලධාරීන් දෙදෙනාගේ ඇප අයදුම් පත සලකා බැලීම නැවතත් පසුගිය  අගෝස්තු 04 වැනි දින ද මීගමුව මහාධිකරණයේදී විභාග විය.
මෙම මරණය සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ සීදුව පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.එම්. රත්නායක සහ එහි පරිසර ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්.පී.කේ.එල්. රණසිංහ යන නිලධාරීන් දෙදෙනායි. මෙම සැකකරුවන් දෙදෙනා හෙවත් වග උත්තරකරුවන් වෙනුවෙන් මෙදින ද මහාධිකරණයට මෙම ඇප අයදුම් පත නැවත වරක් ඉදිරිපත් කරන ලද්දේ ශානක රණසිංහ, ඉන්දික සිල්වා සහ මහින්ද සුගතදාස යන ජේ්‍යෂ්ඨ නීතිඥයින් තිදෙනායි. මෙහිදී එම නීතිඥයින් , මහාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න මහතා ඉදිරියේ ප‍්‍රකාශ කලේ මෙම වග උත්තරකාර පොලිස් නිලධාරීන් දෙදෙනා පෙර වැරදි කිසිත් නොමැතිව මෙම සිදුවිමේදී රාජ්‍ය දේපල ආරක්ෂා කිරීමේ සහ නිරායුධ පොලිස් නිලධාරීන්ව ආරක්ෂා කිරීමට කටයුතු කිරීමේදී මෙම මරණය ඉතා අවසනාවන්ත ලෙස සිදු වී ඇති බවයි. ඒ නිසා මානුෂිකව සලකා බලා මෙම පොලිස් නිලධාරීන් දෙදෙනාට ඇප ලබා දෙන ලෙස එම නීතිඥයින් මහාධිකරණයෙන් ඉල්ලා සිටියහ.
මෙහිදී මෙම සිදුවීම සම්බන්ධව විමර්ෂන කටයුතු මෙහෙයවන අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරයා අමතා මහාධිකරණ විනිසුරුවරයා මෙම සිදුවීම සම්බන්ධව සි්දුකල විමර්ෂන කටයුතු අවසන් දැයි ප‍්‍රශ්න කලේය. එහිදී  අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරයා  එම විමර්ෂන කටයුතු තවම අවසන් වී නැති බව පැවසීය. එහිදී ස්ථානාධිපතිවරයා වැඩි දුරටත් පැවසුවේ තවත් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුගෙන් ප‍්‍රකාශ සටහන් කර ගත යුතු බවකි. ඒ අවස්ථාවේදී  මහාධිකරණ විනිසුරුවරයා අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරයාගෙන් ප‍්‍රශ්ණ කලේ එම ප‍්‍රකාශ සටහන් කර ගත යුතු පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවට වගකිව හැකිද යන්නයි. එවිට ස්ථානාධිපතිවරයා පැවසුවේ එම පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වගකීමට නොහැකි බවයි. ඉන්පසු මහාධිකරණ විනිසුරු අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරයා වෙත නියෝග කලේ ඉතා ඉක්මනින් මෙම සිදුවීම සම්බන්ධ විමර්ෂන කටයුතු අවසන් කර එම වාර්තාව නීතිපතිවරයා වෙත යොමු කරන ලෙසයි . එලෙසම එම විමර්ෂන වාර්තාව පිලිබ`ද මහාධිකරණයද දැනුවත් කරන ලෙස ද නියෝග කලේය.
ඒ අනුව මෙම ඇප අයදුම්පත සලකා බැලීම ලබන අගෝස්තු 17 වැනිදා දිනට නියම කරන ලද අතර වග උත්තරකාර පොලිස් නිලධාරීන් දෙදෙනා එදින දක්වා යලිත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.