ලංකාවේ වඩාත් වෛරයට පාත්‍රවු මිනිසා මා වුණේ කෙසේද ? – කැලම් මැක්රේ

0
100

220px-Callum_Macrae_at_Chatham_House_2013හැම මොහොතකම ඔවුහූ අපේ පස්සෙන් එති. මෝටර් බයිසිකල්වල, වහල ඇරිය වාහනවල නැගී අපේ පස්සෙන් පන්නති. ශ්‍රි ලංකාවේ බුද්ධි නිලධාරීන් වනාහී ලෙහෙසියෙන් අතනාරින වර්ගයකි. ඊටත් වඩා ඇලීමෙන් අපව හඹා එන තවත් පිරිසක් වෙත්. එනම්, ආණ්ඩුවට පක්ෂපාත, ‘ස්වයංජාත’ විරෝධතාකරුවන් ය.
‘චැනල් 4’ කණ්ඩායම සහ මා ගුවන් තොටුපළට එන විට එම පිරිස් එහි සිටියහ. එදා ? අපේ හෝටලය ඉදිරියේ ද සිටියහ. උතුර බලා අප දුම්රියෙන් යන විට ද ඔවුහූ සිටියහ. හදිසියේ ලියාගත් බව පෙනෙන විරෝධතා සටන් පාඨ පුවරු ඔසවාගෙන සිටි සීයක් දෙසීයක් පමණ පිරිසක් අප දෙමළ කොටි හිතවාදීන් යැයි චෝදනා කළහ. අපේ දුම්රිය මාර්ගය අවුරා සිටි ඔවුහූ අප උතුරට යමින් සිටි ගමන නතර කොට අපට ආපසු කොළඹ බලා ඒමට සිද්ධ කළහ.
ප්‍රශ්නය මෙයයි: සියවස් කාලකට ආසන්න කාලයක් පැවති ශ්‍රි ලංකාවේ සිවිල් යුද්ධයේ අවසාන මාස කිහිපයේ දී, සමහර විට 40,000 ක් හෝ ඊටත් වැඩි අහිංසක සිවිල් දෙමළ වැසියන් ප‍්‍රමාණයක් මියයන්නට ඇතැ යි සිතන, මහා විනාශයකට සහ ක්ෂතියට පත් උතුරු නැගෙනහිර පළාත ගැන අර්ථකථන දෙකක් තිබේ.
ආණ්ඩුව සහ එහි ආධාරකරුවන් කියන්නේ එම ප්‍රදේශ දියුණු කොට ඇති බවයි: අළුත් පාරවල් එහි තිබෙන බව, අළුත් පාසල් එහි තිබෙන බව කියති. හිටපු සටන්කරුවන් ‘පුනරුත්ථාපනය’ කොට ඇති බව, මැතිවරණ පවත්වා ඇති බව සහ නව හෝටල් ගොඩනැගෙමින් තිබෙන බව කියති.
එහෙත් එම පළාතේ වෙසෙන දෙමළ ජනයා කියන්නේ වෙනම කතාවකි: එක දිගට විඳවන දුක්ඛිත භාවය, හමුදාව හතර වටින් අරක් ගැනීම සහ භීතිය රජයන වාතාවරණය ගැන ඔවුහූ කතා කරති. ඒ පළාතේ දහස් ගණනකට උන්හිටි තැන් අහිමිව ගොසිනි. ඔවුන්ගේ ඉඩකඩම් හමුදාව එක දිගටම බලෙන් අත්පත් කර ගනිති. ආගිය තොරතුරක් තවම නැති, අතුරුදහන් වූ තරුණයෝ දහස් ගණනකි. ඉතිරිව සිටින බොහෝ ගැහැනුන්, මර්දනයේ අවියක් වශයෙන් ක්‍රමානුකූල ලිංගික අපයෝජනයකට ලක්කෙරේ.

මාධ්‍යවේදීන්ට සත්‍යය දැනගත හැක්කේ, තමන්ම එහි ගොස් මේ කියන දේවල් ඇත්ත දැ යි සොයා බැලීමෙන් බව අමුතුවෙන් කිව යුතු නැත. එහෙත් අපට රිසි පරිදි රටේ ඕනෑම තැනක යාමට ඒමට නිදහස ඇතැ යි ජනාධිපතිවරයාම සහතික කොට කියා ඇතත්, මෙවර ඇත්තෙන්ම සිදුවුණේ එහි අනිත් පැත්තයි. කලහකාරී දෙතුන් සීයක් ආණ්ඩුවේ ආධාරකරුවන් ලවා එම නිදහස අපෙන් උදුරා ගැනුණි.

සත්‍යය වසං කිරීමට වළිකන කාටත් වන ඇබැද්දිය එයයි. ගල් පැලෙන බොරු කියන්නේ කවුරුන් දැ යි දැන ගැනීමට ඔබට අවශ්‍ය නම්, එය පසක් කරගත හැකි එක ක‍්‍රමයක් තිබේ. එනම්, ඔබේම දෑසින් දේවල් දැකබලා ගැනීම වළක්වන්නේ කවුරුන් දැ යි සොයා බැලීමෙනි. ඒ සඳහා මෙන්න ඔබට ඉඟියක්: අපව වැළැකුවේ දෙමළ ජනයා නොවේ.

පොදුරාජ්‍ය මණ්ඩලීය මේ නායක සමුළුව, ශ්‍රිලංකාවේ ආණ්ඩුවට මෙන්ම පොදුරාජ්‍ය මණඩලයටත්, මහජන සම්බන්ධතා අංශයෙන් ගත් කල, රුදුරු ප‍්‍රයෝගයක තත්වයට ඉතා සීග‍්‍රයෙන් පත්වෙමින් තිබේ. ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් සහ ප්‍රකාශනයේ නිදහස වැනි සාරධර්මවලට කැපවුණු අතිවිශේෂ අපේක්ෂාවේ නායක හමුව, ඒවා නිතිපතා උල්ලංඝනය කරන රටක් විසින් හොබවනු ලැබීමම විහිළුවකි. ඊටත් වඩා එය, යුද අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ චෝදනාවන්ට අදාළව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය මගින් ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා සිටින විත්තිකාර රටක් වීම, පොදුරාජ්‍ය මණඩලයේ විශ්වසනීයත්වයට දිරවා ගත හැක්කක් වන්නේ ද නැත.

ශ්‍රි ලංකාවේ ජනාධිපතිවරයාගේ අපේක්ෂාව අනුව ඔහුට ස්වර්ණමය කුසලානයක් විය යුතුව තිබූ පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුව ඉතා සීග‍්‍රයෙන් හලාහල විසක් වෙමින් තිබේ. එහි වගකීම ආණ්ඩුවේ ආධාරකරුවන් විසින් ‘චැනල් 4’ නාලිකාව මත පැටවීම විකාරයකි. විශේෂයෙන්, ‘චැනල් 4’ ප්‍රවෘත්ති නාලිකාව සහ, කැකෑරෙන වෛරයකින් දැවෙමින්, එම ක්‍රෝධය මා වෙත පැටවීම විකාරයකි.

මෑතක දී මා විසින් නිෂ්පාදනය කොට මීට සති දෙකකට කලින් විකාශය කළ ‘නෝ ෆයර් සෝන්’ චිත‍්‍රපටය තමා නැරැඹූ බවත්, එහි ප්‍රතිඵලයක් වශයෙන්, ලංකාවේ ජනාධිපතිවරයාගෙන් ඇසීමට තමාට බරපතල ප්‍රශ්න ගණනාවක් ඇති බවත්, බි‍්‍රතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන් ප‍්‍රකාශ කොට සිටීම, ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත‍්‍රික සම්ප්‍රදාය තුළ අපූර්වත්වයක් දරණ කාරණයක් වන අතර, එය අපේ සතුටට ද හේතුවන්නකි. එය ඉතා වැදගත්, එසේම විස්මය දනවන ප්‍රකාශයකි. එහි අවාසනාවන්ත පැත්ත වන්නේ, ඒ හේතුවෙන් අපව ලංකාවේ දී තව තවත් අප්‍රසාදයට සහ වෛරයට පාත්‍ර වීමයි.

ශ්‍රි ලංකාවේ රූපවාහිනිය මා කොටි හිතවාදියෙකි යි හැම රැකම දිව්රා කියයි. රජයේ ප්‍රකාශකයෝ ද එම අදහසම ප්‍රතිරාව කරති. මා ඇතුළු ‘චැනල් 4’ නාලිකාව, විනාශයට පත් කොටි සංවිධානයෙන් නඩත්තු කෙරෙති යි කියති. යුද අපරාධ සම්බන්ධයෙන්, මරාගෙන මැරෙන බෝම්බකරුවන් යොදා ගැනීම සහ සිවිල් වැසියන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් අප විසින් නිරතුරුව කොටි සංවිධානයටත් චෝදනා කොට තිබීම ඔවුන්ගේ අවධානයට ලක් නොවේ. මේ අභූත චෝදනා ඉතා අප‍්‍රසන්න ය. ඒ මගින් අප වෙත එල්ල කෙරෙන මරණ තර්ජනවලට ද අනුබල සපයා තිබේ. මේ මොහොතේ ශ‍්‍රී ලංකාවේ සිටින වඩාත් වෛරයට ලක්වන මිනිසා මා විය හැකිය. මා දැන් කීර්තිමතෙකි. ඔවුන්ට අවශ්‍ය කරන්නේ මාව රටින් පන්නා ගැනීමටයි.

එහෙත් මේ තර්ජන ගර්ජන සහ පිස්සුවට පස්සෙන් ඇති, ‘කැලම් මැක්රේගේ ගමනක අවසානය’ වැනි පුවත්පත් සිරස්තල පස්සෙන් ඇති, වෙනස් තත්වයක් ද පෙනෙන්ට තිබේ. එය මුලින්ම දුටුවේ ‘චැනල් 4’ ප‍්‍රවෘත්ති අංශයේ ජොනතන් මිලර් ය. අප පසු කර යමින් සිටි වාහනයක ගමන් ගත් කෙනෙක් අපව හඳුනාගෙන සෙස්සන්ට හොරෙන් අපට ප‍්‍රශංසාත්මක සංඥාවක් කෙළේය. එය නැවත වතාවක් සිදු විය. තවත් අවස්ථාවල, සැක කටයුතු පිටස්තර අය නැති තැන්වල අපව දකින අය අප වෙත පැමිණ තමන් සමග ඡායාරූපයක් ගැනීමට ආරාධනා කළහ. දිනෙන් දින අත්තනෝමතිකත්වයට යමින් සිටින පාලක පවුලක් පිටස්තර වශයෙන් හෝ මට්ටු කිරීම දැකීමෙන් සතුටට පත්වන විශාල ජනකායක් රටේ වෙසෙන බව ඉතා පැහැදිළි ය.
2013 නොවැම්බර් 16 වැනි දා ‘ද ගාර්ඩියන්’ වෙබ් අඩවියේ පළවූ
A Film of Alleged War Crimes.. How I became Sri Lanka’s Most Hated Man
ලිපියේ සිංහල පරිවර්තනය
‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙන්