ලංකා ඊ නිව්ස්: මහේස්ත්‍රාත්වරිය ගැන පරීක්ෂණයක් ඉල්ලති

0
73

sadaruwanලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ කතෘ සඳරුවන් සේනාධීර අත්අඩංගුවට ගන්නා මෙන් ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය පසුගියදා ජාත්‍යන්තර වරෙන්තු නිකුත් කළේය

ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් කාවින්ද්‍රා නානායක්කාර විවේචනය කරමින් ලිපි පළ කළ ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ කතුවරයා අත්අඩංගුවට ගන්නා මෙන් ඇය විසින්ම නියෝග නිකුත්කරනු ලැබීම පිළිබඳව විමර්ශනයක් පවත්වන මෙන් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය අධිකරණ සේවා කොමිසමෙන් ඉල්ලීමක් කරයි.

කොමිසමේ ලේකම් ජීඑම්ඩබ්පී ජයතිලක වෙත දීර්ඝ ලිපියක් යොමු කරන එම සංගමය, රිවිර පුවත්පතේ හිටපු කතෘ උපාලි තෙන්නකෝන්ට පහරදීම සම්බන්ධ නඩු විභාගය අතරතුරදී මහේස්ත්‍රාත්වරිය, ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය පිළිබඳව කරුණු සොයා බලන මෙන් රහස් පොලිසියට නියෝග කිරීම ගැටලු සහගත තත්වයක් බව පෙන්වා දෙයි.

විශේෂයෙන්ම මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන්ට පහරදීම සම්බන්ධ සැකකරුගේ ඡායාරූපය පළකරනු ලැබුවේ ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය පමණක් නොවන බව සිය ලිපියෙන් පෙන්වා දෙන ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, එම ඡායාරූපය පළකළ පුවත්පතකට එරෙහිව මහේස්ත්‍රාත්වරිය වෙනස් ක්‍රියාපිළිවෙතක් අනුගමනයකර ඇති ආකාරය පැහැදිලි කරයි.

මාධ්‍ය මර්දනය

මේ අතර අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ අය වැය විවාදයේදී වෙබ් මාධ්‍ය පිළිබඳව කළ සඳහන මාධ්‍ය මර්දනය පිණිස පසුබිම සකස් කිරීමේ උත්සාහයක් බව පවසන වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය, එවන් පසුබිමක් තුළ ලංකා ඊ නිව්ස් කතුවරයාට එරෙහිව ජාත්‍යන්තර වරෙන්තුවක් නිකුත් කිරීම බරපතල තත්වයක් බව සඳහන් කරයි.

විශේෂයෙන්ම ලංකා ඊ නිව්ස් යනු රාජපක්ෂ පාලනය පෙරලා දමා යහපාලන ආණ්ඩුව පත්කරගැනීම පිණිස ප්‍රබල කාර්යභාරයක් ඉටු කළ වෙබ් අඩවියක් බව සංගමයේ කැඳවුම්කරු ෆ්‍රෙඩී ගමගේ බීබීසී සංදේශයට පැවසීය.

රාජපක්ෂ පාලනය යටතේ වාරණයට ලක් කර තිබුණු වෙබ් අඩවිවල වාරණය ඉවත් කිරීමට වත්මන් ආණ්ඩුව ක්‍රියා කිරීම යහපත් ප්‍රවණතාවක් වන නමුත්, ඉන් අනතුරුව වත්මන් ආණ්ඩුව වෙබ් මාධ්‍යවේදීන් සම්පූර්ණයෙන්ම අමතක කර දමා ඇතැයිද ඔහු පැවසීය.

සිය සංගමය දිගින් දිගටම ඉල්ලීම් කළත්, ජනාධිපතිවරයා සහ අගමැතිවරයා විසින් මෙතෙක් කැඳවන ලද මාධ්‍ය ප්‍රධානීන්ගේ රැස්වීම්වලට කිසිදු වෙබ් මාධ්‍යවේදියකු කැඳවා නොමැති බව ද ඔහු පැවසීය.

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක සියලු වෙබ් අඩවි පිළිගත් ආචාරධර්මවලට අනුකූලව කටයුතු කළ යුතු බව සිය සංගමයේ ප්‍රතිපත්තිය බව ද ෆ්‍රෙඩී ගමගේ වැඩිදුරටත් සඳහන් කළේය.
(බිබිසි- සංදේශය )