“ලම්ප්‍රයිස් කතාවක්”

0
740

ශ්‍රී ලාංකික නවකතා කලාවේ සංකේතය වන මාර්ටින් වික්‍රමසිංහ පරම්පරාවෙන් උරුමව එන දකුණේ සූප ශාස්ත්‍රකලාව තුල තිබූ රසයන්, අද මම බ්‍රිතාන්‍යයේ ලිවර්පූල් නගරයේදී රස වින්දෙමි.

ලිවර්පූල් නගරයට මෑතකදී පදිංචියට පැමිනි ලාංකික පවුලකි ලලන්ත සෙනෙවිරත්න Lalantha Art Craft සහ පූර්නිමා රත්නායක Poornima Rathnayaka යුවල. දරුවන් තිදෙනෙකු සහ පූර්නිමාගේ සහෝදරයාද ඇතුළු පවුලම සම්ප්‍රධායික ලාංකික නැටුම් කලාවටත් චිත්‍ර සහ පිළිම කලාවට සම්බන්ධ බැවින් ලිවර්පූල් නගරයේ නව විහාරයේ පිලිම නිර්මාණය කිරීම් සඳහා ඔවුන්ගේ දායකත්වය යොදා ගැනීම සඳහා ඔවුන්ව ලිවර්පූල් නගරය වෙත ගෙන්වා ගන්නා ලදි. ලලන්ත ලිවර්පූල් බෞද්ධ විහාරයේ පිළිම නෙලීමේ යෙදෙන අතර පූර්නිමා වැඩිහිටි නිවාසයක Activity coordinator කෙනෙකු හැටියට සේවයේ යෙදෙන්නීය. එයට අමතරව ඇය ඉරිදා දිනයේ ලිවර්පූල් විහාරයේ නැටුම් ගුරුවරිය ලෙස ස්වේඡ්ඡා සේවයේ යෙදෙමින් ලිවර්පූල් ලාංකික සමාජය වෙනුවෙන් සම්ප්‍රධායික ලාංකික නැටුම් කණ්ඩායමක් ගොඩ නැගීමේ යෙදෙයි. බ්‍රිතාන්‍යයේ පවතින ආර්ථික උද්ධමනයත් සමග තම පවුල් වල එදිනෙදා කටයුතු සඳහා සහායක් පිනිස අමතර ආදායම් මාර්ගයක් සොයන හැම දෙනාම මෙන්ම ඔවුන්ද, සෙනසුරාදා දින සඳහා තම නිවසේ සිට කල හැකි කුඩා ආහාර ව්‍යාපාරයක් “Lakrasa Food Liverpool” නමින් පසුගිය දා ආරම්භ කලේය. ලංකාවේ දකුණු පලාතේ ගැමි සූපශාස්ත්‍රයෙහි හසළ සහ මාර්ටින් වික්‍රමසිංහ පරම්පරාවේ සාමාජිකාවක් වන තම මවගෙන් තමාට උරුම වූ සූප ශාත්‍ර දැනුම සහ අත්දැකීම් ඇය මේ සඳහා උපයෝගී කර ගන්නීය. “Lakrasa Food Liverpool” විසින් ඉදිරිපත් කරන Lamprais කෑම වේලක රස විඳීමට ඇය අද අපට ආරාධනා කලාය. ඇගේ ආරාධනාව පිලිගත් අප ඒ සමග දරුවෙකු ලැබීමට සිටින අපගේ හිතවතියකට ගෙන යාමටද Lamprais මුලක් ඉල්ලා සිටියෙමු. මෙහි පලවන්නේ කෑමට මා ගත් පූර්ණිමාගේ Lamprais මුලක ඡායාරූපයකි.

සිදුවිය යුතු ලෙසම පූර්නිමාගේ Lakrasa Food Liverpool ව්‍යාපාරයේ Lamprais මුලද, යාන්තම් තවන ලද කෙසෙල් කොළයක ඔතන ලද කහ පැහැති බතක බදින ලද ළුණු තීරු මිශ්‍ර කර තිබුනි. පුරවා බදින ලද කොල පාට මාළු මිරිස්, රතු පාට සීනි සම්බල්, උයන ලද ඌරු මස්, දුඹුරු පාටට බැද උයන ලද වම්බටු, බදින ලද අළු කෙසෙල්, බදින ලද අමු මිරිස් සහ රතුමිරිස් කරල්, තම්බා බදින ලද බිත්තර, කට්ලට් සහ පපඩම් පිරිවරා තිබුනි. එම ලම්ප්රයිස් මුල ඉතා සිත් ගන්නා සහ ආහාර රුචිය වර්ධණය කරන සංයුතියකින් යුත් විය. එකිනෙක වෙන් වශයෙන් ගෙන රස බලන විට හැම ආහාර අංගයකම එකිනෙකට අනන්‍ය වු රසයන් විය. දකුණු ආසියානු ආහාර සංස්කෘතියට ආවේනික සම්පූර්ණ ආහාර වේලක රසයන් ගොඩ නගන්නට දක්ෂ කෝකියෙකුට හැකි වන්නේ ඉතා සියුම් ලෙස තමා යොදා ගන්නා කුළු බඩු වල සංයුතිය සහ පිසීමේ උශ්ණත්ව පාලනය යන සාධක දෙක යොදා ගැනීමේ හැකියාව මතය. ඒ හැකියාව පූර්නිමා සතුව ඇති බව මට නිසැකය.

Lamprais අද ලාංකික සම්ප්‍රදායික ආහාර වේලක් ලෙස හඳුවන මුත් එය ලන්දේසි යටත් විජිත සමයේ ලංකාවට පැමිනියේ බර්ගර් ප්‍රජාවගෙන් බව බොහෝ දෙනෙකු නොදනිති. නෙදර්ලන්තයට ආවේනික නොවන එය ජාවානු ආහාරයක් වන ලෙම්පර් නැතහොත් කෙසෙල් කොළයක ඔතා පුළුස්සන ලද පදම් කල මස් සහ බත්ය. “ලැම්ප්‍රයිස්” යන පදය ව්‍යුත්පන්න වී ඇත්තේ ලන්දේසි වචන වන “ලොම්ප්” (එනම් ගැටිත්ත) සහ “රිජ්ස්ට්” (බත් යන්නෙන් අදහස් වන) සහල්වල සංයුතිය සහ විවිධ අතුරු කෑම වලින් පිළිබිඹු වේ.

ඉහත ඉතිහාසය කෙසේ වෙතත්, පූර්නිමාගේ Lamprais මුල දිවට ගෙන ආවේ රසයන් පමනක් නොව, නොස්ටලොජියානු හැඟීම් සමුදායක්ද මට ගෙන ආවේය.
නව යොවුන් වියේදී මා කියවූ ලීලා, සෝමා, අයිරාංගනී, සීතා, මිරිඟු දිය, උන්මාද චිත්‍රා, රෝහිනී, ගම්පෙරලිය, මඩොල්දූව, යුගාන්තය, විරාගය, කළියුගය, කරුවළ ගෙදර, භවතරණය, මගේ කතාව සහ වහල්ලු වැනි නවකතා තුල පූර්නිමාගේ මුත්තා වන මාර්ටින් වික්‍රමසිංහ ඉදිරිපත් කල චරිතත්, ඒ චරිත ජීවත් වූ විසිවන ශතවර්ෂයේ මුල් අවධියේ ලාංකික ගැමි ගෙවල් වල කුස්සියත් මා ගත් සෑම ආහාර කටකදීම මගේ මතකයට ආවේය.

ඇගේ අතීත පරම්පරාවේ වැඩිහිටියෙකු වූ මාර්ටින් වික්‍රමසිංහ සිංහල භාෂාවේ ව්‍යාකරණ උපයෝගී කර ගනිමින් නවකතා කලාවේ රස භාවයන් උද්ධීපනය කල අතර ඔහුගේ නව කතාවන් විසින් පශ්චාත් යටත් විජිතවාදී ලාංකික ජන සමාජයේ කම්පනය, ඒ තුල හැසිරෙන ජන ජීවිත වල සියුම් සවිස්තරාත්මක හැසිරීම් හරහා පිළිවිඹු කලේය. මේ වන විට එයින් දශක ගනනාවක් ගෙවී ගොස් ඇති අතර ඔහු එදා ගෙන හැර දැක්වූ, පශ්චාත් යටත් විජිත වාදයෙන් පසු නව දේශීය වෙළඳ පැලැන්තියේ පාලනයට සංක්‍රමණය වූ ලාංකීය සමාජය විසින් ප්‍රතික්ශේප කල අප වැන්නන්, මාර්ටින් වික්‍රමසිංගේ ඥාති මිණිබිරියකගේ Lamprais මුලක් තුලින් හෝ බ්‍රිතාන්‍ය තුලදී අපගේ අක් මුල් දකින්නට උත්සාහ කරන්නෙමු.

  • අනුරුද්ධ ලොකුහපුආරච්චි